කතුවැකි

බැසිල් ආවේ අවසාන පන්දුවට ලකුණු 06ක් ගහන්න

බැසිල් ආවේ අවසාන පන්දුවට ලකුණු 06ක් ගහන්න

නව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (08දා) දිවුරුම්දී වැඩ භාර ගත්තේය. ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිත බව වාර්තා වූ මොහොතේ සිට ඒ ගැන විවිධ මත පළ විය. විරුද්ධ පක්ෂ හා එම කඳවුර නියෝජනය කරන ඇතැමුන්ගේ මතය වූයේ ඔහුට ඒ සඳහා නීතිමය අවසරයක් නොමැති බවය. එහෙත් පාර්ලිමේන්තු මහමැතිවරණ අපේක්ෂකයකු හෝ ජාතික ලැයිස්තුවේ නම සඳහන් නොවුණත් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පළමු පුද්ගලයා බැසිල් රාජපක්ෂ නොවන නිසා එම මතය බලපෑමක් නැති මතයක් බවට පත්ව තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් විපක්ෂ මතධාරීන් ඉදිරිපත් කළ තර්කයට වලංගුතාවක් තිබුණා වුවත් රටේ බහුතරයක් ජනතාව එය පිළිගත් බවක්ද දක්නට තිබුණේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ බැසිල් රාජපක්ෂ රටේ මුදල් අමාත්‍යවරයා වනු දැකීමය. මේ නිසා බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීම හුදෙක් නව අමාත්‍යවරයකු පත්වීමට වඩා ජනතා අපේක්ෂාවන් ඉටු වීමක් බවට පත්ව තිබේ. තම අපේක්ෂාව ඉටුවීම සම්බන්ධයෙන් රට පුරා ජනතාව සතුට පළ කළේ රතිඤ්ඤා දල්වා ප්‍රීති ඝෝෂා නගමිනි.

ජනතාව මේ ආකාරයට බැසිල්ව ඉල්ලා සිටියේත් ඒ ඉල්ලීම ඉටුවීම නිසා සතුටෙන් උදම් අනන්නේත් ඔවුන් බැසිල් යනු කවුදැයි දන්නා නිසා විය යුතුය. ගමේ ජනතාවට ආණ්ඩුවට හෝ රටට බරක් නොවී ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීම සඳහා දිවි නැගුම ව්‍යාපෘතිය සැලසුම් කොට ක්‍රියාත්මක කළේ බැසිල්ය. තිස් වසරක විනාශකාරි යුද්ධයෙන් පසු උතු​රත්, නැගෙනහිරත් සංවර්ධනය වූයේ බැසිල්ගේ සැලසුමෙන් හා මග පෙන්වීමෙනි. වාහනයක තබා දෙපයින් ඇවිද යන්නවත් බැරි මට්ටමට තිබූ රටේ මාර්ග පද්ධතිය රට ගැන ආඩම්බරයක් ඇති වන අන්දමට නවීකරණය කරවූයේද බැසිල්ය. යුද්ධය අවසන් වී වසර පහක් යන විට ශ්‍රී ලංකාව ආසියාවේ වේගවත්ම ආර්ථික සංවර්ධනයක් හිමි රට බවට පත්වීමට බැසිල් රාජපක්ෂ විශාල දායකත්වයක් දැක්වූ බව ජනතාවට හොඳින්ම මතක තිබෙන බව නිසැකය.

වසර 2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත්වීමට හේතුවූ කරුණු බොහෝ තිබුණේ නමුත් ඒ සියල්ලේ වගකීම භාර ගත්තේ බැසිල්ය. වැරද්ද භාර ගැනීමෙන් නොනැවතුණු ඔහු වසර පහක් යන්නට පෙර යළි ඒ බලය ලබා ගන්නටද නායකත්වය දුන්නේය.

නව පක්ෂයක් නිර්මාණය කර ඊට බලය ලබාදී තිරය පිටුපසට වී සිටි බැසිල්ව යළිත් වේදිකාවට ගෙන එන්නට ජනතාවට අවශ්‍ය වූයේ ඇයි? රටේ ආර්ථිකය ගොඩ ගන්නටය. 2015දී අහිමි වූ රාජ්‍ය බලය යළි ලබා ගත්තා සේ බිඳ වැටී ඇති ආර්ථිකය යළි ගොඩ ගන්නට පුළුවන්කම ඇත්තේ බැසිල්ට පමණක් බව ජනතාවගේ විශ්වාසය වී තිබේ. ජනතාව පමණක් නොව ආණ්ඩුවේ බහුතරයක් මැති ඇමැතීන් දරන්නේද ඒ මතය බව පසුගිය දිනවල ඔවුන් කියූ කෙරූ දේවලින් පැහැදිලි විය.

මේ වන විට මෙරට අයවැය පරතරය රුපියල් බිලියන දෙදහස් අසූපහකි. එය ප්‍රතිශතයක් ලෙස රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට සෘණ 13.9%කි. උද්ධමනය සියයට 5.2%කි. ඩොලරයේ අගය රුපියල් දෙසීය ඉක්මවා ඇත. රත්‍රන් සංචිතයද සමග විදේශ සංචිත ඇත්තේ ඩොලර් මිලියන 4032යි දශම 8කි. රටේ ආර්ථිකයේ තත්ත්වය පෙන්නුම් කරන දත්තයන් මෙසේ වෙද්දී ඉදිරි වසරක කාලය තුළ පමණක් අප විදේශ ණය වාරික හා පොලිය ලෙස ඩොලර් මිලියන හයදහස් හයසිය අනූ හයක පමණ මුදලක් (6696.6) ගෙවිය යුතුව තිබේ.

වසර දෙකකට ආසන්න කාලයක් රට මුහුණ පා තිබෙන කොවිඩ් වසංගතය මෙම ආර්ථික පරිහානියට සැලකිය යුතු තරම් වගකිවයුතු නමුත් කොවිඩ් වසංගතය ආරම්භ වනවිටත් ර​ටේ ආර්ථිකය යහපත් තත්ත්වයක නොපැවතුණු බව කවුරුත් දන්නා කරුණකි. කොවිඩ් වසංගතය නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දහස් ගණනක් බිඳ වැටී ඇති අතර පෞද්ගලික අංශයේ ලක්ෂ ගණනකට රැකියා අහිමි වීම නිසා ර​ටේ රැකියා වියුක්තියද ඉහළ ගොස් තිබේ.

මෙම සාර්ව ආර්ථික දත්තයන් ගැන බහුතරයක් පොදු ජනතාවට අවබෝධයක් නැත. ඒ නිසා ඔවුන් ඒ ගැන තැකීමක් කරන්නේද නැත. ඔවුන්ට ඒවායේ බලපෑම එල්ල වන්නේ ජීවන වියදම ලෙසය. මේ වන විට රටේ ඇත්තේ දවසින් දවස ඉහළ යන ජීවන වියදමකි. කොවිඩ් වසංගතය නිමාවන දවසක් ගැන හිතන්නට හෝ නොහැකි තත්ත්වය තුළ ජීවන වියදමේ ඉහළ යෑමේද නැවතීමක් ගැන හිතන්න බැරිය.

මෙම තත්ත්වය තුළ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් හමුවේ ඇති අභියෝගය සුළු පටු නැත. අපට වැටහෙන අන්දමට නම් දැන් රට තුළ පවතින්නේ යුද්ධය අවසන් වන විට තිබුණාට වඩා බරපතළ තත්ත්වයකි. මෙම අභියෝගය ජය ගන්නට සිටින එකම පුද්ගලයා ලෙස ආණ්ඩුව ඉදිරිපත් කර ඇත්තේ බැසිල්ය. ජනතාවද එක හඬින් එම තෝරා ගැනීම අනුමත කර තිබේ. එහෙත් ඉන්ධන මිල අඩු කිරීම වැනි ජනප්‍රිය තීරණවලින් පමණක් ආර්ථික අභියෝගය ජය ගන්නට හෝ ජනතාව සතුටු කරන්නට හැකි වනු ඇතැයි කල්පනා කළ නොහැකිය.

බැසිල් රාජපක්ෂ නව මුදල් අමාත්‍යවරයාද මෙම අභියෝගයේ දිග පළල ඉන්ධන මිල අඩු කිරීමට වඩා දිග පළලින් බොහෝ වැඩි බව දන්නා බව අපට විශ්වාසය. මුදල් ඇමැතිවරයා ලෙස තමන්ට පියෙකු සේ දැඩි තීරණද ගන්නට සිදුවනු ඇතැයි නව තනතුරේ වැඩ භාර ගනිමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඒ නිසා විය යුතුය. පවුලක පියා තීරණ ගන්නේ අද ගැන සිතා නොව හෙට ගැන සිතාය.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස රටේ ආර්ථිකය භාර ගැනීම සමාන කළ හැක්කේ ක්‍රිකට් කණ්ඩායමක ජයග්‍රහණය සඳහා අවසාන විකට්ටුවේ අවසන් පන්දුවෙන් ලකුණු හයක් ලබා ගත යුතු තත්ත්වයකය. අවසාන පිතිකරුවා ලෙස පිටියට පැමිණෙන ක්‍රීඩකයා අවසන් පන්දුවෙන් ලකුණු හයක් ලබා ගත හොත් කණ්ඩායමට ජයග්‍රහණ අත් වන්නා සේම ඔහුද වීරයෙක් බවට පත් වන්නේය. ඒ අනුව බැසිල් රාජපක්ෂට රට හමුවේ ඇති ආර්ථික අභියෝගය ජය ගත හැකි වුවහොත් රටත් දිනුම්ය. ඔහුත් දිනුම්ය. එසේ නොවුණහොත් එය රටේ අනාගතයට පමණක් නොව ඔහුගේ අනාගත දේශපාලනය කෙරෙහිද තීරණාත්මක බලපෑමක් වීම වළක්වනු නොහැකිය.

එහෙත් අපට ප්‍රශ්නය ඇත්තේ ඔහුගේ දේශපාලන අනාගතය ගැන නොව රටේ අනාගතය ගැනය. ඒ නිසා රටේ ආර්ථික අර්බුදය ගෙඩිය පිටින් බැසිල්ගේ කර මත නොපටවා ඔහුගේ උත්සහය සාර්ථක කර ගැනීමට සහාය වීම පළමුව ආණ්ඩුවේත් දෙවනුව ඔහුව පත් කර ගන්නට උනන්දු වූ සැමගේද වගකීමය. තම කාර්යය කර ගෙනයෑමේදී සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය වන බව බැසිල් රාජපක්ෂ නව මුදල් අමාත්‍යවරයාද වැඩ භාර ගනිමින් ප්‍රකාශ කළේය.