විශේෂාංග

බැබළි බැබළී පා‌රේ ගිය දම් රැජිණිගේ ගමනාන්තය

තරුණ ව්‍යාපාරිකයකු වන සුපුන් විජේසිංහට රථගාය වැලඳුණේ කුඩා අවධියේමය. තම වයසේ බොහොමයක් අය කාර්, වෑන්, ජීප් පසුපස දුවද්දී කුඩා සුපුන් බස්රථ කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීය.

සුපුන් බස් රථවලට ‌මෙසේ ඇල්මක් දැක්වූවත් පාරේ දුවන බස්රථ ගැන සෑහීමකට පත් වූයේ නැත. නිතරම ඔහු නෙත ගැටුණේ කිසිදු සුවපහසුකමක් නැති, නිතර කාර්මික දෝෂයන්ට ලක්වී මග නතරවෙන, අබලන්, තිබහට බොන්නට වතුර පොදක්වත් නැති, දහදියෙන් තෙත්ව ගමන් කරන මගීන් සහිත බස් රථය. ඒවා කෙරෙහි අකැමැත්තෙන් පසුවූ සුපුන් මීට වඩා සුවපහසුකම් ඇති බස් රථ තම සිතින් මවා ගත්තේය.

හෙමි හෙමින් ළමා විය පසුකර තරුණ වියට එළැඹි සුපුන්ට බස් රථයක් මිලදී ගැනීම අපහසුවක් නොවීය. සුපුන් මිලදී ගත් බස් රථය වලස්මුල්ල – කොළඹ මගී ප්‍රවාහනය සඳහා යෙදවිණි.

කුඩා කාලයේ පටන් සුපුන්ගේ සිතෙහි පැළපදියම්ව තිබුණු බස් ‘වෙනස’ක බීජය, දලු දමා වැඩෙන්නට වූයේ මේ කාලයේය. හිටි ගමන් සුපුන් විජේසිංහගේ වලස්මුල්ල – කොළඹ බස් රථය අතුරුදන් විය. අනෙක් බස්කරුවන් සිතා සිටියේ සුපුන්ගේ බසය දවස් දෙක තුනක විනෝද චාරිකාවක් යන්නට ඇති බවය. එහෙත් එම බස් රථය හොර රහසේම බරපතළ විපර්යාසයකට ලක්වෙමින් තිබුණි.

සුපුන් කුඩා කල පටන් තම සිතෙහි මෝදු වෙමින් තිබුණු වෙනස්ම ආකාරයේ බස් රථ සංකල්පයට පණ දෙමින් සිටියේය. අනෙකුත් බස්වලට වඩා තමන්ගේ බස් රථයේ සුවපහසුකම් වැඩි විය යුතු බව ඔහු සිතුවේය. විශේෂයෙන් තරුණ තරුණියන් හැරි හැරී බලන, සෙල්ෆි ගන්න පෙලඹෙන ආකර්ෂණීය බසයක් බවට තම බස් රථය පත්කිරීමට ඔහු කල්පනා කළේය. මගී ජනතාවට සැපක් දීම කවර වරදක්ද?

ඔහුගේ එම සිතැඟිවලට, හැඟීම්වලට අනුව ලංකාවේ ප්‍රථම වතාවට පෙනුමින් සහ පහසුකම්වලින් අනූන බස් රථයක් නිපදවීම ඇරඹිණි. බසය මොඩිෆයිකරණය සිදු වූයේ ක්‍රමවේදයන් දෙකකටය. ඉන් පළමුවැන්න බස් රථයේ ඇතුළත සහ බාහිර පෙනුම සැකසීමය. දෙවැන්න බස් රථයේ පහසුකම් ඩිවෙලොප් කිරීම ය.

මූලිකවම සිදු වූයේ බස් රථය ස්ටිකර් කිරීමයි. මොඩිෆයි කරනු ලබන බස් රථයට තබන ‘නම’ ස්ටිකර් කිරීමේ දී ඉතාම වැදගත් සාධකයකි. මුළු බස් රථයම වර්ණ ගැන්වෙන්නේ බසයට තබන නමට සමගාමීවය. සුපුන් තමා කැමැතිම වර්ණය බසයෙහි ගල්වන්නටත් ඒ වර්ණයෙන්ම ස්ටිකර් නිර්මාණය කිරීමටත් කල්පනා කළේය. බසය වර්ණ ගැන්වුණේ දම් – රෝස මිශ්‍ර පැහැයකිනි. ඒ වර්ණාවලියට සමපාතව සුපුන් විජේසිංහ තම බස් රථයට “දම් රැජිණි” යන නම තැබුවේය.

ස්ටිකර් කිරීම සුළු පටු, ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නොවීය. ඒ සඳහා වැඩි කාලයක් ගත වූයේ බසයේ ඔරිජිනල් ‌පේන්ට් එක ඉවත් කිරීමටය. එය වැලි කඩදාසි, ග්‍රයින්ඩර් ආදිය යොදා ගෙන සිදු කළ යුතු වැඩකි. ඔරිජිනල් ‌පේන්ට් එක නිකම්ම කැපෙන්නේ නැත. ඊට ජලයද යෙදිය යුතුය. ජලයෙන් පෙඟුණු පසු කුඩා කැබලි වශයෙන් පේන්ට් එක ඉවත් වෙයි. සම්පූර්ණයෙන්ම පේන්ට් එක ඉවත් කළ පසු ස්ටිකර් කිරීම සඳහා බසයේ ශරීර තහඩුව එක පැහැයකින් වර්ණ ගැන්විනි.
දම් රැජිණිගේ ස්ටිකර් නිර්මාණයද මේ අතරවාරයේ සිදුවිය. සියලු ස්ටිකර් දම් පැහැය මිශ්‍ර රෝස පැහැයෙන් උස දිග පළල මුළු කව හතරැස් ආදියට ගැළපෙන පරිදි පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කෙරෙමින් තිබිණි. මොඩිෆයිකරණයේ ඉතාමත් අසීරුම කාර්යය මේ ස්ටිකර් ඇලවීමයි. මුළු ස්ටිකර් එකේම පෙනුම නැති වන්නට එක වායු බුබුලක්, එක පළුද්දක් ප්‍රමාණවත්ය. ස්ටිකර් ඇලවීමටත් සැලකිය යුතු කාලයක් ගත විය. දැන් දම් රුජිණි හරි හැඩය. පැහැපත්ය. විචිත්‍රවත්ය.

ස්ටිකර් කිරීමෙන් අනතුරුව “දම් රැජිණි”ගේ විද්‍යුත් උපාංග සවි කිරීම සිදු විය. ප්‍රථමයෙන් ඇතුළතත් පිටතත් විවිධ වර්ණයෙන් යුත් නිවෙන දැල්වෙන සහ ස්ථාවරව දැල්වෙන එල්. ඊ. ඩී. බල්බ සවි කෙරිණි. පාකින් ලයිට්, සිග්නල් ලයිට්, බ්රේක් ලයිට් පවා විවිධ හැඩතලවලට අනුගත විය. බසය ඇතුළත බල්බ් සඳහාද විවිධ වර්ණවල බල්බ් සවි කෙරිණ. එම බල්බ් දැල්වීම සඳහා බස් රථයේ බැටරි ද්විත්වයම භාවිතා කරන අතර ඒ සඳහා වැඩි ඇම්පියර් ධාරිතාවයකින් යුතු බැටරි දෙකක් යෙදවිණි. මෙම විද්‍යුත් උපාංගවලට අමතරව දම් රුජිණිට ටෙලිවිෂන් තුනක්, රිවස් කැමරා, සීසීටීවී කැමරා, වයි ෆයි රව්ටර්, වෝටර් ඩිෆෙන්සර් වැනි දේවල්ද හිමි විය.

ටින්ටඩ්, නිකල් කණ්නාඩි ආම්ස්, නොයෙක් පන්නයේ කාපට්, වෛවාරණ සීට් කවර වැනි දේවල් සවි කෙරුණේ ඉන් අනතුරුවය. සාමාන්‍ය බස් රථයකින් නිකුත් වන ශබ්දයට වඩා වෙනස් විසිල් හඬක් දම් රැජිණිගෙන් නිකුත් විය. සාමාන්‍ය බසයකින් නිකුත් වන මලානික නලා හඬ දම් රැජිණි තුළින් පිට වූයේ නැත. විවිධ වර්ගයේ හඬවල් හය හතක් සහ ගීත ටෝන්ස් පවා දම් රැජිණි වෙතින් පිළිරැව් දුන්නේය. බසය නවීකරණයට දැරූ වෙහෙස දුටුවා නම් බසය හඳට යන්න හදනවා කියා හිතෙන්නටද පුළුවන.

දම් රැජිණිගේ බාහිර පෙනුම පමණක් නොව පහසුකම් ද අති නවීන ඒවා බවට පත් කෙරිණ. සාමාන්‍ය බස් රථයක පහසුකම්වලට වඩා දම් රැජිණිගේ පහසුකම් ඉතා ඉහළ තත්ත්වයක පැවතිණි. සෑම සීට් එකකටම ෆෑන් එකක්, කුෂන් සීට්, කූල් බොක්ස්, ප්‍රථමාධාර ඒ අතරින් ප්‍රධානය. ඊට අමතරව ෆෝන් චාජර් සහ ප්ලග් පොයින්ට්, වයි ෆයි, වෝටර් ඩිෆෙන්සර් වැනි පහසුකම්ද දම් රුජිණි තුළ විය.

මාසයකට අධික මොඩිෆයි සැත්කමකින් පසු ලංකාවේ පළමු මොඩිෆයි බස් රථය, ‘දම් රැජිණි’ ලෙස ධාවනයට එක්විණි. රුපියල් ලක්ෂ විසි පහක පමණ වියදමක් දම් රැජිණි මොඩිෆයි කිරීම සඳහා වැය වී ඇත. දම් රැජිණි බස් රථය වලස්මුල්ල – කොළඹ මාර්ගයේ ධාවනයට එක්විය. එක දිනකින්ම මෙම බස් රථයට වැඩිහිටියන්ගේ මෙන්ම තරුණයන්ගේද දැඩි ආකර්ෂණයක් හිමි විය. තැලී පොඩි වී දහදිය පෙරාගෙන ගිය අසීරු බස් ගමනක් වෙනුවට සුවපහසු ලෙස ගමනක් යන්නට මගීන් ට අවස්ථාව ලැබිණි.

කෙටි කාලයකින් දම් රැජිණිට විනෝද චාරිකා ගලා එන්නට විය. අවුරුද්දේ වැඩි හරියක් විනෝද චාරිකා, බිග් මැච් වැනි දේවල්වලට ‘දම් රැජිණිට’ ආරාධනා ලැබිණි. තමා සතු එකම බස් රථය මේ සියල්ලටම ලබා දීමට නොහැකි නිසා තවත් බස් රථ තුනක් මිලදී ගෙන මොඩිෆයි කිරීමට සුපුන් විජේසිංහ කල්පනා කළේය. එම බස් රථවලටද ‘දම් රැජිණි’ යන නමම තැබුණේ සියලු දෙනා ‘දම් රැජිණි’ම ඉල්ලා සිටි නිසාය.

අලුත් දම් රැජිණි බස් රථ තුනට මුලින් ආ දම් රැජිනට වඩා තවත් හැඩවැඩ සහ පහසුකම් එක් විය. ඒ අතරින් මියුසිකල් ෂෝස්වලට භාවිත කරන ලයිට් වර්ග පවා ඒවායේ සවි විය. එම බස් රථවල රේඩියෝ ශබ්ද අති නවීන සරවුන්ඩ් සබ් වූෆර් සිස්ටම්ස් බවට පත් කෙරිණි. ඇතුළත පමණක් නොව බස් රථවල පිටත ඇති ඩිකිවලද අති නවීන තාක්ෂණයෙන් යුත් බෆල් සවි කෙරිණි. පිටත ඇති ඩිකිවල මේවා සවි කරන්නේ යම් තැනක නවත්වා තිබෙන විට ක්‍රියාත්මක කිරීම සඳහාය. මෙම බෆල්වලින් වඩාත් සුපැහැදිලි ශබ්ද සහ විශාල හඬක් මතු කර ගැනීමට අවශ්‍ය කරන මික්සර් වැනි තාක්ෂණික උපකරණද බස් රථයේ සවි විය.

දම් රැජිණියේ විද්‍යුත් ආම්පන්න සඳහා සැලකිය යුතු කරන්ට් එකක් වැය වන නිසා ඊට අවශ්‍ය වෝල්ටේජයක් සහිත ජෙනරේටරයක්ද දම් රැජිණි බස්තුළ සවි කෙරිණි. විද්‍යුත් මොඩිෆයිකරණය මගින් සුපුන් විජේසිංහ මහතා අපේක්ෂා කළේ තොරණක වර්ණාවලියක් මෙන්ම සංගීත සංදර්ශනයක නැටවෙන පෙනුම “දම් රැජිණි” වෙතින් විදහා දැක්වීමය. මේ පෙනුම සහ පහසුකම් ඩිවෙලොප් වූ දම් රැජිණි රැල්ල කැරැල්ලක් බවට පත් වීමට ගියේ බොහොම පොඩි කාලයකි. ඒ අනුව ‘දම් රැජිණි’ට මුළු රටම වශී විය. කුඩා කාලයේ පටන් බස් රටාව වෙනස් කළ යුතු යැයි සිහින මැවූ සුපුන් දම් රැජිණි හරහා බස් රැල්ලක් ඇති කළේය.

ඉන් අනතුරුව විවිධ නම්වලින් මොඩිෆයි බස් රථ ගණනාවක් ම උපත ලැබීය. ඒවා අතර…. “දුඹුරු ලමිස්සී, මොණර පැටික්කී, විසේ කුරුට්ටා, කූඹියෝ, ආශාවරී, වැලි රැජිණි, මායාවී, රෙඞ් රෝස්, සමනලී පාරට ආවා. සුදු බේබි, පැහැසරා, මායා, හිරු කුමාරි, ක්ලියෝ පැට්රා, හුරතලී, මාරම්බරී, නිල් කිරිල්ලී පාරේ පියාඹා ගියෝය. නැගෙනහිරු, නෝටි කෙල්ල, සීගිරි, රාං කුරුල්ලා, ජෙට් ලයිනර්, රන්ධාරා, රෝස කිරිල්ලී, හිරු කුමාරි, සොහොයුරෝ, කිඳුරංගනා, සිහින, සුළඟ, හිතුවක්කාරී මගීන් පිස්සු වැටුණා. අප්සරාවී, දම්සාරී, පුංචි දඟයා, ප්‍රෝලයින්, සඳරංගනා, නිල් නෙතු, ඇපල්, නෙලුම් කුමාරි, සුරඟන, නැගෙනහිරු, මීදුම් පැටික්කිට මගීහු පෙම් කළහ. සඳ කුමරී, සයොනාරා, රෝයල් ප්‍රින්සස්, රන් සමනලී, විසේකාරී, රාවණා, සනුලී… වැනි දඟකාර සුකුමාල හැඩකාර නම් සහිත මොඩිෆයි බස් රථ මහපාර වර්ණවත් කළහ.

පළමු දම් රැජිණි බසය පෙර පරිදිම වලස්මුල්ල – කොළඹ මගී ප්‍රවාහනයේ නිරත වෙමින් තිබිණ. දම් රැජිණි රැල්ල දෙස පොලිසියේ උකුසු ඇස යොමු වන්නේ මේ අතරවාරයේය. 2018 වසරේ ජනවාරි මාසයේ දිනයක කෙසෙල්වත්ත පොලිසිය විසින් වලස්මුල්ල – කොළඹ ධාවනය වූ ලංකාවේ පළමු මොඩිෆයි බස් රථය වූ පළමු දම් රැජිණි බස් රථය අත් අඩංගුවට ගනු ලැබීය. එහිදී උසාවි නියෝගයකට අනුව දම් රැජිණි බසයේ මොඩිෆයි අංගෝපාංග සියල්ල ඉවත් කෙරිණි. ඊළඟ පරපුරට හුස්ම පිඹ, ‘දම් රැජිණි’ සිය අවසන් ගමන ගියාය.

එහෙත් දම් රැජිණි බසය අත්අඩංගුවට පත් වීමත් සමග මොඩිෆයි බස් සම්බන්ධ නීති දැඩි විය. එවැනිම මොඩිෆයි බස් රථ කිහිපයක්ම මෑත කාලයේදී අත්අඩංගුවට ගැනිණි. ඒ අනුව කැරැල්ලක් වූ මොඩිෆයි බස් රැල්ල දැන් ගමනාන්තයට ළං වෙමින් සිටී. මොඩිෆයි බස් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා එක නීතියක් නොව නීති ත්‍රිත්වයක්ම බලපැවැත්වේ. එනම් මෝටර් වාහන පනත, පරිසර පනත, පොලිස් ආඥා පනත යන නීති ප්‍රතිපාදනයන්ය. මේ නීතී ප්‍රතිපාදනවලට අනුව කිසිදු වාහනයක වර්ණය වෙනස් කළ නොහැකිය. සංඥා ලාම්පු හැර වෙනත් කිසිදු දැල්වෙන නිවෙන බල්බයක් සවි කළ නොහැකිය. අධික ශබ්දයක් නිකුත්වන නාද රටා සහිත හෝන් සවි කිරීම ද කළ නොහැකිය. දම් රැජිණි ඇතුළු මෑත කාලයේ අත්අඩංගුවට ගනිමින් තිබෙන සියලු බස් රථ නීතියේ රැහැනට හසු වන්නේ මෙම රථ වාහන වැරදිවලටය.

අශිෂ්ට රිය පැදවීම්, හිංසාකාරී හෝන් සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වයන් පිළිගත හැකි වුවත් මගීන්ට ලැබෙන අනෙකුත් පහසුකම් ඉවත් කිරීම නොකළ යුතු දෙයකි. මගීන්ට හෝ පාරේ ගමන් කරන වෙනත් වාහනවලට ස්ටිකර්, වයි ෆයි, ෆෑන්, කූල් බොක්ස් වැනි දේවල්වලින් මගියාට වන හිරිහැරය කුමක්ද? මගියා හැමදාම දුගියා ලෙස ජීවත් විය යුතුද? එබැවින් නීති හැඩගැස්විය යුත්තේ තව තවත් පහසුකම් වර්ධනය කිරීම සඳහාය. අපට ඇත්තේ බැටරි පෙට්ටිය උඩ එසේත් නැත්නම් රත් වී පුපුරු ගසන ඇන්ජින් පෙට්ටිය උඩ වාඩි වී ගිය බස් අතීතයකි. ෆුට් බෝඩ් එකේ එල්ලීගෙන පොල් ඇහිරුවාක් මෙන් හිර වීගෙන යන බස් සංස්කෘතියට දැන් සමු දිය යුතුය. ඊට මෙවැනි පහසුකම් සහිත බස් රථ මගී ප්‍රවාහනයට එක් විය යුතුය.
කළ යුත්තේ නව අදහස් සහ නිර්මාණාත්මක ඇසක් සහිත සුපුන් විජේසිංහ වැනි තරුණයන්ව තව තව දිරිමත් කිරීමය. ඔවුන් වැනි අයගෙන් බස් කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා නව අදහස් ලබා ගත යුතුය. එහෙත් සිදු වන්නේ එවැනි නිර්මාණාත්මක තරුණයන්ට උසාවියේ නඩු වැටීමය.

කුමන ආකාරයේ බාධා තිබුණත් සුපුන් විජේසිංහගේ නිර්මාණාත්මක හැකියාව ඒවායින් නවතාලන්ට නෙැහැකි විය. ‘දම් රැජිණි’ හරහා මොඩිෆයි සංකල්පය රටට හඳුන්වා දුන් සුපුන් විජේසිංහ තවත් බස් රථයක් මිලදී ගත්තේ මෙවැනි නීතිමය තත්ත්වයක් තිබෙන මොහොතකය. දම් රැජිණි ආකෘතියෙන් සම්පූර්ණ වෙනස් වූ අලුත්ම වැඩකට ඔහු අත ගසා තිබේ.
ඒ බස් රථය ස්ටිකර්, ලයිට්, කන් පැළෙන හෝන් නොමැති අමුතුම පන්නයේ වෙනස්ම ආකාරයේ බස් රථයක් කිරීම ඔහුගේ අරමුණයි. හොර රහසේම හැඩ වැඩ වන මේ අලුත්ම පන්නයේ බස් රථය කොහොම බසයක් වේවිද යන්න අපට තවමත් කිව නොහැකිය.