විශේෂාංග

බ්ලේඩයක් ගේන්න බැරි හිරගෙදර සිට හෙරොයින් ජාවාරම කරන්නේ කොහොමද

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හෙරොයින් ගොඩබා රට තුළ බෙදා හැරීමත්, එක් කොටසක් වෙනත් රටවලට යළි පැටවීම සඳහා ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් වශයෙන් යොදා ගැනෙන බව මා අනාවරණය කරන ලද්දේ මීට වසර දොළහකට පමණ පෙරදී ය. ‘ලක්බිම’ ඉරිදා සංග්‍රහයට ලියූ ලිපියක සඳහන් එම අනාවරණය දුටු එවකට මා හිතවත් උසස් පොලිස් නිලධාරියෙක් මට දුරකථනයෙන් අමතා පැවසුවේ පොලිසිය අපහසුතාවට ලක් කරන්නට මා උත්සහ කරන බවයි. එම නිලධාරියා එසේ කීවද මම එදා කී කතාව අදත් සඳහන් කරමි. පොලිසියේ සහ තවත් ආරක්ෂක අංශවල ඉතා අවංක හා දක්ෂ නිලධාරීන් රාශියක් සේවය කරන බව මා නිර්ලෝභීව මෙහි සඳහන් කරන්නේ ඔවුනට කරන උපහාරයක් වශයෙනි. නමුත් හෙරොයින් ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටි ගණන් පගාව ගන්නා අතළොස්සක් නිලධාරීන් පිරිසක් පොලිසිය ඇතුළු සමහර ආරක්ෂක අංශවල සේවය කරති. මෙම පිරිස සමග විවිධ තාක්ෂණික උපක්‍රම හරහා සමීප සම්බන්ධකම් පවත්වමින් සහය ගන්නා පාතාල ලෝකය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හෙරොයින් ගොඩබා බෙදා හරින මධ්‍යස්ථානයක් බවට පත්කොට අවසන්ය. මෙම තත්ත්වය පිළිබඳ මේ වනවිට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රාදේශීය නායකයන් දැනුවත් වී සිටින බැවින් බියක්, සැකක් නොමැතිව හෙරොයින් තොග ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට ඔවූහු යුහුසුළු වී සිටිති.

තත්ත්වය එය නොවේ නම් රැවුල කපා ගැනීමටවත් බ්ලේඩ් තලයක් පිටතින් ගෙන එන්නට අවසර නොලැබෙන සිරගෙදර දඬුවම් විඳින ශ්‍රී ලාංකීය හෙරොයින් ජාවාරම්කරුවන් රුපියල් කෝටි ගණන් වටිනා හෙරොයින් ලෝකයේ ඈත රටකින් මෙරටට ගෙන්වා ගනු ලබන්නේ කෙසේද? එම හෙරොයින් ගොඩබෑ ස්ථානයේ සිට සැතපුම් ගණනාවක් ඈත පිහිටි ජාවාරමුන්ගේ ආරක්ෂිත ස්ථාන කරා කිසිම බාධාවකින් තොරව රැගෙන යනු ලබන්නේ කවර ප්‍රාතිහාර්යය නිසාද? මගදිගට පොලිසි තිබේ. පොලිස් කොට්ඨාස තිබේ. පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දක්වා පිරිසක් ඒවායේ දිවා රාත්‍රියේ සේවය කරති. මග දිගට පොලිස් මුරකපොලු ද නැතුවා නොවේ. පොලිසියේ ජංගම ආරක්ෂක සේවය ද ඉතා සක්‍රිය ය. එසේ තිබියදීත් හෙරොයින් ගොඩබෑම හා ප්‍රවාහනයට බාධාවක් නැත.

රාගම, වැලිසර නුගගහවත්ත පාරේ පිහිටි නිවසක් තුළ තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඉකුත් මැයි 14 වැනිදා මධ්‍යම රාත්‍රියට ආසන්නයේ අත්අඩංගුවට ගනු ලබන්නේ නිරුපද්‍රිතව දකුණේ සිට ප්‍රවාහනය කරන ලද එවැනි හෙරොයින් තොගයකි.

අවංක හා දක්ෂ පොලිස් නිලධාරීන් පොලිස් සේවය තුළ නොසිටින්නට කොරෝනා වසංගතයට මුවා වී හාල් උරවල සැඟවූ හෙරොයින් කිලෝ 225යි ග්‍රෑම් 969ක් ‘අත්‍යාවශ්‍ය සේවා’ ලේබලය යටතේ මේ වනවිට ගම්බිම්වලට ප්‍රවාහනය කොට අවසන්ය.

මෙය පුදුම දනවන කාරණාවක් නොවේද? මෙම හෙරොයින් තොගය මෙරට දකුණු මුහුදු තීරය වෙත ගෙනැවිත් තිබෙන්නේ මුහුදුබඩ මාර්ගය ඔස්සේය. ඒ ඇෆ්ගනිස්ථාන සහ ඉරාන දේශ සීමා මුහුදු මාර්ගය හරහාය. රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් වරාය සහ ගුවන් තොටුපොළ දොරටු පෙර පරිදි විවර කර නැත. එබැවින් ජාවාරමුන් මෙම හෙරොයින් තොගය ප්‍රවාහනය කිරීමට මුහුදු මාර්ගය යොදා ගෙන තිබෙන බව අනාවරණය කරන ලද්දේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත විසිනි. මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 225ක් පමණ වන බව පොලිසිය පවසයි. මෙහි ප්‍රධාන මොළකරුවා පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේය. ඒ, මත්ද්‍රව්‍ය ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් පැවරූ නඩු කටයුතු හේතුවෙන් යැයි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත වැඩිදුරටත් සඳහන් කළේය.

රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ප්‍රධාන මොළකරුවා ‘කොස්ගොඩ තාරක’ යැයි කියති.

මොහු මෙළොව එළිය දකින්නට ඇත්තේ කොස්ගොඩ ගමේ වන්නට පිළිවන. එවැන්නකු අපරාධකරුවෙක් බවට පත් වී රක්ෂිත බන්ධනාගාරයට කොටු වී සිටියදීත් පොලිසිය හා සෙසු ආරක්ෂක අංශ අල්ලේ නටවමින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍යකාරයින් සමග ‘ගහපු ගේම’ සුළුකොට තැකිය හැකි කාරණාවක් නොවේ. එබැවින් මම ඒ පිළිබඳ සොයා බලන්නට උනන්දු වීමි.

මගේ මෙම ගවේෂණයේ දී මට විසඳා ගැනීමට අවශ්‍ය වූ ප්‍රධාන ප්‍රශ්නයක් තිබිණ. එනම්, ගොඩබිමට ගෙන එන ලද හෙරොයින් සැබෑවටම හෙරොයින්දැයි නිසැකව බන්ධනාගාරයේ කොටු වී සිටින සැකකාර මහ මොළකරුවා දැන ගන්නේ කෙසේද යන්නයි.

මන්ද පාන් හෝ කුරක්කන් පිටි වැනි ද්‍රව්‍යයක් හෝ ගනඳුරේ ගොඩබා මුදල් ද රැගෙන පලා යාමට පිටත සිටින ජාවාරම්කරුවන්ට හැකියාව තිබෙන බැවිනි.

කෙසේ වෙතත් මෙබඳු මහ පරිමාණ හෙරොයින් ජාවාරම් ගැස්සී ගියහොත් ‘මහ මොළකරුවා’ යන ‘ඇප නූල’ බෙල්ලේ එල්ලා තැබීමට රක්ෂිත බන්ධනාගාරවලින් හෝ සිරගෙවල්වලින් සිරකරුවන් ‘හයර්’ කරන බවත් මම හොඳාකාරම දනිමි. ඉහත දැක්වූ කුතුහලය මුසු ප්‍රශ්නයට උත්තරයක් සොයමින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට දුරකතන ඇමතුම් දුන්නෙමි. අවසානයේ දී මට පිළිතුරක් ලැබිණ. වෙනත් සිදුවීමක් උදාහරණයට ගනිමින් සිදු වූ මේ කතාවේ දී මට අසන්නට ලැබුණේ මෙතෙක් කාලයකට මා නොදැන සිටි කාරණා කීපයකි. රුපියල් දසදහසක් වූ හෙරොයින් ග්‍රෑමය කොරෝනා වසංගතයත් සමග රුපියල් හතළිස්දහස දක්වා ඉහළ නැග තිබේ. රට තුළ ප්‍රාදේශීය මට්ටමේ හෙරොයින් බෙදා හරින ජාවාරමුන් අතට බොහෝ විට සපයනු ලබන්නේ ග්‍රෑම් විස්සේ පැකට්ටු යැයි කියති. මෙම පැකට්ටුවක එදා මිල රුපියල් ලක්ෂ දෙකක් වූ අතර අද වනවිට රුපියල් ලක්ෂ අටක් දක්වා මිල ඉහළ ගොස් තිබේ. හෙරොයින් සොයා ගන්නට ඇතමුන් ඇඳිරිනීතිය ද නොතකමින් පිස්සු බල්ලන් මෙන් නගරයෙන් නගරයට දිව යන්නේ හෙරොයින් අහේනිය සහ මිල ඉහළ යාමේ හේතුව නිසාය.

රටේ තවත් සුප්‍රසිද්ධි හෙරොයින් ජාවාරම්කරුවෙක් වූ නිහාල් (අනවර්ථ නාමයකි) මෙම වසර ආරම්භයේ දී සැකකරුවකු වශයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේය. මෙම බන්ධනාගාරයේ පසුවෙමින් නිහාල් තමන්ගේ මීළඟ හෙරොයින් ජාවාරම සංවිධානය කරන්නට පටන් ගත්තේය. එනම් රුපියල් ලක්ෂ 700ක් වටිනා හෙරොයින් අනුරාධපුරයට ගොඩබෑමටය. මෙය සාර්ථකව ඉටුකර ගැනීම නිහාල්ගේ ඒකායන අරමුණ විය. මෙම මෙහෙයුම සාර්ථක කර ගතහොත් ඉන් තමන්ට රුපියල් ලක්ෂ 2100ක ලාබයක් උපයාගත හැකි බව නිහාල් පැහැදිලිව දැන සිටියේය.

ප්‍රථමයෙන් ඔහුට ‘ස්මාර්ට්’ වර්ගයේ ජංගම දුරකතනයක් අවශ්‍ය විය. ජංගම දුරකතනය රිමාන්ඩ් බන්ධනාගාරය තුළට රැගෙන ඒමේ භාරධුර කර්තව්‍ය බන්ධනාගාර නිලධාරියෙක් භාර ගත්තේය. ඒ සඳහා එම නිලධාරියාට සෑහෙන මුදල් ත්‍යාගයක් ද ලබා දී තිබේ. කලින් පිළියෙල කරගත් සැලසුම අනුව නිහාල්ගේ බිරිඳ දිනක් දහවලේ ඔහු දැකීම සඳහා පැමිණ බන්ධනාගාර නිලධාරියා අතට ‘ස්මාර්ට්’ වර්ගයේ ජංගම දුරකතනය මාරු කළේය. නොබෝ වේලාවකින් එය නිහාල් අතට පත්විය.

මෙම බන්ධනාගාරයේ එවකට සේවය කළ උසස් නිලධාරියෙක්ට පෞද්ගලික ඔත්තුකරුවන් රාශියක් සිටියේය. ඒ බන්ධනාගාරය තුළ හා පිටත වශයෙනි. එමෙන්ම හෙතෙම රාජ්‍ය බුද්ධි සේවයේ අනුරාධපුරයට අනුයුක්ත කළ නිලධාරීන් සමගද නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වනු ලැබීය. ඒ බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙනි.

නිහාල් අතට ජංගම දුරකතනය ලැබුණ දිනම රාත්‍රි 11ට මෙම නිලධාරියාගේ ජංගම දුරකතනයට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ඇමතුමක් ලැබිණ. එනම් පසුදින අලුයම 3ට නිහාල් දැවැන්ත හෙරොයින් ගනුදෙනුවක් සිදුකරන්නට සැලසුම් කරගෙන සිටින බවයි. ඔහු අත මේ වනවිට ‘ස්මාර්ට්’ වර්ගයේ ජංගම දුරකතනයක් ද පවතින බව ඔත්තුකරුවා සඳහන් කළේය.

බන්ධනාගාරයේ උසස් නිලධාරියාගෙන් එම අවස්ථාවේම රාත්‍රී සේවයේ යෙදී සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියාට උපදෙසක් ලැබිණ. ඒ වහාම ගොස් නිහාල් රඳවා සිටින මැදිරිය පරීක්ෂා කොට ස්මාර්ට් ජංගම දුරකතනය අත්අඩංගුවට ගන්නා ලෙසයි. එම උපදෙස් අනුව නිහාල් රඳවා සිටි මැදිරිය පිරික්සූ විට ඒ තුළ තිබී ස්මාර්ට් ජංගම දුරකතනය සොයා ගන්නට නිලධාරීන්ට හැකි විය. එබැවින් එදින හෙරොයින් ජාවාරම කරන්නට නිහාල්ට තිබූ අවස්ථාව ඇහිරී ගියේය.

එහෙත් මෙම ජාවාරම කිරීමට පිළියෙල කළ සැලසුම උසස් නිලධාරීන් හමුවේ යම්තාක් දුරට හෙළි කරන්නට නිහාල්ට සිදුවිය. නිහාල් සන්තකයේ තිබුණ ස්මාර්ට් ජංගම දුරකතනය එදින ඔහු සතුව තිබුණි නම් අලුයම 3ට පමණ මුලින්ම කරනු ලබන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අනුරාධපුරයට ගොඩ බෑ හෙරොයින් තොගය තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමයි. මේ සඳහා යොදා ගනු ලබන්නේ තරමක් පළලැති වීදුරු පටි දෙකකි. එක් වීදුරු පටියක් මතට හෙරොයින් යම් ප්‍රමාණයක් දමා අනෙක් වීදුරු පටිය ඒ මත තබා තදින් පිරිමදිනු ලැබේ. මෙම ද්‍රව්‍ය පිරිසිදු හෙරොයින් නොවේ නම් හෝ ඊට වෙනත් ද්‍රව්‍යයක් මිශ්‍ර කර ඇත්නම් “චිරි..චිරි..චිරි..”යනුවෙන් සිහින් ශබ්දයක් නිකුත් වේ. පිරිසිදු හෙරොයින් නම් එබඳු කිසිම හඬක් නොනැගෙන බව නිහාල් බන්ධනාගාර නිලධාරීන් හමුවේ පවසා ඇත. මෙම සිද්ධිය තමන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ස්මාර්ට් ජංගම දුරකතනය හරහා නරඹා මිල දී ගැනීම අනුමත කිරීම හෝ නොකිරීම කරන බවත් හෙතෙම පවසා තිබේ.

එසේ මිලදී ගත්තා නම් එය නිරුපද්‍රිතව ප්‍රවාහනය කරන ආකාරය පිළිබඳවද මෙහිදී නිහාල්ගෙන් ප්‍රශ්න කොට ඇත.

මෙම ගනුදෙනුවේදී නිහාල් සමග ජාවාරමට සම්බන්ධ අනුරාධපුරයේ විශ්වසනීය පුද්ගලයා ඒ වනවිටත් අනුරාධපුර පොලිසියේ තමන්ට අවශ්‍යම කරන උසස් නිලධාරියෙකු හමු වී තිබේ. පොලිසියේ සහාය නොමැතිව හෙරොයින් ගොඩබෑම අනතුරුදායකය. ගොඩබෑම පමණක් නොව, ගොඩබෑමෙන් පසු අදාළ රහසිගත ස්ථානය කරා බාධාවකින් තොරව රැගෙන යාමට ද පොලිසියේ සහාය මෙම ජාවරමුන්ට අවශ්‍ය කෙරේ. මේ බව නොදන්නා පොලිස් නිලධාරියෙක් ශ්‍රී ලංකාවේ පොලිසි තුළ නැත.

අනුරාධපුරයේ සිය වසමට ගොඩබාන කුඩු ප්‍රමාණය සැලකිල්ලට ගත් මෙම පොලිස් නිලධාරියා ඊට සම්පූර්ණ සහාය දීමට නම් රුපියල් කෝටියක් තමන්ට අවශ්‍ය බව පවසා තිබේ. එම ඉල්ලීම නිහාල් වෙත වහා යොමු කෙරිණ. ඊට නිහාල් එකඟවීමෙන් අනතුරුව නියමිත දිනයේ අලුයම් කාලයේ ජාවාරම සිදුකරන්නට කටයුතු යොදා ගන්නා ලෙසට උසස් පොලිස් නිලධාරියා අදාළ පුද්ගලයාට උපදෙස් දී තිබේ.

සැලැස්මේ දෙවැනි අදියරය අනතුරුව ක්‍රියාවට නැංවිණ. නිහාල්ගේ උපදෙස් මත අනුරාධපුරයේ ඔහුගේ විශ්වසනීය සගයා වෙනත් නමකින් සිම්පතක් සහ ජංගම දුරකතනයක් මිල දී ගත්තේය. එම දුරකතනයට ලැබෙන ඇමතුම් තමන් අත තිබෙන ජංගම දුරකතනයට ලැබෙන ආකාරයට සකසා ගැනීමෙන් පසු (divert) එය අනුරාධපුර සිට මාතර බලා දිවෙන දුම්රියේ සඟවා තබන ලෙස උපදෙස් ලැබිණ. මෙම ජාවාරම කිරීමට සැලසුම් කර තිබූ රාත්‍රියේ අනුරාධපුරයේ ජාවාරම්කරුට ලැබෙන සියලුම දුරකතන ඇමතුම් පළමුව යොමු වන්නේ දුම්රියේ සඟවා තිබෙන ජංගම දුරකතනයටය.

පොලිසියේ බුද්ධි අංශය මෙම පණිවුඩ ග්‍රහණය කර ගතහොත් ඔවුන් අන්දමන්ද කර නොමග යැවීම ජාවාරමුන්ගේ අරමුණ විය. මන්ද පොලිස් බුද්ධි අංශයට සිදුවන්නේ පණිවුඩ ලැබෙන ජංගම දුරකතනයේ සිම්පත අනුව එය පසුපස ලුහුබැඳ යන්නටය. එය ඇත්තේ දුම්රියේය. වරෙක දුම්රිය තඹුත්තේගමය. දෙවනුව එය මහවට සේන්දු වෙයි. මේ ආකාරයට සිම්පත සහිත ජංගම දුරකතනය මාතර බලා යද්දී අනුරාධපුරයට කුඩු තොගය ගොඩබානු ලැබේ. අනතුරුව එය පොලිසියේ උසස් නිලධාරියාගේ සහයෙන් අවශ්‍ය රහසිගත ස්ථානයට රැගෙන යන්නට කාලය හොඳහැටි ප්‍රමාණවත් ය.

නමුත් මෙම සැලැස්ම සම්පූර්ණයෙන්ම කණපිට ගැසුණේ අනුරාධපුර බන්ධනාගාරයේ උසස් නිලධාරියාගේ ක්ෂණික ක්‍රියාත්මක වීම මතය. කුඩු ජාවරමුන්ගේ මෙම උපායන් හා උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා මෙම නිලධාරියා අනුරාධපුර කොට්ටාස රාජ්‍ය බුද්ධි සේවයේ සහයෝගය ද ගත්තේ ය.

මෙහිදී මා වෙත තවත් තොරතුරක් ලැබිණ.

අලෙවිය සඳහා සූදානම් කෙරෙන ග්‍රෑම් 20 පැකට්වලට හෙරොයින් පුරවන්නට පෙර එම පැකට් තුළට කිසියම් රසායනික ද්‍රව්‍යයක් වර්තමානයේ එක් කෙරේ. එය ඉතා සූක්ෂම ආකාරයට කළයුතු ක්‍රියාවක් බව පැවසිණ. මෙවැනි හෙරොයින් ඇසුරුම් විවර කළ පසු හෙරොයින් මට්ටමින් එය තබාගත හැක්කේ දින පහක කාලයක් පමණී. දින පහ ඉක්ම යන්නට පෙර එය අලෙවි කළ යුතුය. එසේ කළ නොහැකි වුවහොත් පැකට්ටුවේ ඉතිරි හෙරොයින් ප්‍රමාණය ‘ලාටු’ වැනි තත්ත්වයකට පත්වේ. එවිට එය පාවිච්චියට ගත නොහැකි වනවා පමණක් නොව, රස පරීක්ෂක වාර්ථා පවා නොමග යවන්නට තිබෙන ඉඩකඩ වැඩිය.

අනුර හොරේෂස් බ්‍රිස්බෙන් සිට