කතුවැකි

බස් මගීන්ට සින්දු ඕනෑමද?

අපේ රටේ මාර්ගවල ලෝකයේ සුපිරිම මෝටර් රථ ධාවනය වුවත් බහුතර ජනතාවගේ ප්‍රවාහන සේවය බස් රථයයි. ආණ්ඩුවේ ලංගම විසින් අත්කරගෙන තිබූ පොදු ප්‍රවාහනයේ ඒකාධිකාරය දැන් හිමිකර ගෙන සිටින්නේ පෞද්ගලික බස් හිමියන්ය. සාමාන්‍ය ජනතාව බහුතරයකගේ ප්‍රවාහනය පෞද්ගලික බස් රථය වුවත් ඒ කිසිවකු එසේ කරන්නේ නොකර බැරිකමටය. මේ පොදු ප්‍රවාහන සේවය පොදු ජනතාවට අප්පිරියා වීමට හේතු බොහෝ තිබේ. පෞද්ගලික බස් රථයකට නැගුණු විට විඳින්නට සිදුවන කොන්දොස්තර ගැටයාගේ කන්දොස්කිරියාව පරදවන ‘බස් සිංදු’ යැයි කියන ශබ්ද විශේෂය ඉන් එක් හේතුවකි.

ඒ හිරිහැරයෙන් මගී ජනතාව මුදා ගන්නට ගත් තීරණය මේ මස 15 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. එය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණේ මේ මස 01 දා සිටය.

‘බස් සිංදු’ යැයි කියන මේ කන්දොස්කිරියාවෙන් මගී ජනතාව මුදා ගැනීමේ පළමු පියවර තැබුවේ පසුගිය ආණ්ඩුව සමයේය. අදහස එවකට ජාතික ගමනාගමන කොමිසමේ සභාපති වූ ජනක මල්ලිමාරච්චිගේය. නව ප්‍රවාහන අමාත්‍යවරයාද ඒ වැඩසටහන නොනවත්වා ක්‍රියාත්මක කරන්නේ එය යහපත් කටයුත්තක් බැවිනි. අපගේ අදහස වන්නේද ක්‍රියාත්මක කළ හැකි නම් මෙය ඉතා හොඳ කටයුත්තක් බවය. ‘‘කළ හැකි නම්’’ යැයි අප කියන්නේ අසුබවාදී හෝ කඩාකප්පල්කාරී ආකල්පයකින් නොව මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි ප්‍රායෝගික ගැටලු කිහිපයක් පුරෝකථනය කිරීමෙන් පසුවය.

ලබන 15 දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මේ වැඩසටහනට අනුව බස් රථවල වාදනය කළ යුත්තේ ප්‍රවාහන කොමිසම මගින් ලබාදෙන ගීත පමණකි. පෞද්ගලික බස් රථ සපයන්නේ මහජන සේවාවක් වුවද, එය ක්‍රියාත්මක වන්නේ පාතාල ලක්ෂණ සහිතවය. ඔවුන් ක්‍රියාත්මක වන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයේ නියමයන්ට වඩා ඔවුන්ගේම නියමයන්ට අනුවය. මේ දක්වා පැවති කිසිම ආණ්ඩුවකට පෞද්ගලික බස් රථ සඳහා නිසි කාල සටහනක් හඳුන්වාදීමට හැකි වී නැත.බස් රථ සේවකයන්ට නිල ඇඳුමක් අන්දන්නට ගත් තීරණයද එසේමය. අද වුවත් සියලු පෞද්ගලික බස් රථ එක් දිනක් වර්ජනය කළහොත් රටම අඩපණ කළ හැකිය. මෙවැනි බස් කර්මාන්තයක් ආණ්ඩුව තෝරා දෙන ගීත පමණක් වාදනය කරනු ඇතැයි යන්නට ඇති සහතිකය කුමක්ද? ආණ්ඩුවේ නියමය පරිදි එම ගීත වාදනය නොකළහොත් ආණ්ඩුවට ගත හැකි පියවර කුමක්ද? අනුමත ගීත ප්‍රචාරය නොකළේ යැයි මාර්ග බලපත්‍ර අහෝසි කළ හැකිද? වෙනත් දඬුවමක් පැනවිය හැකිද? බස් රථවල වාදනය කෙරෙන්නේ අනුමත ගීත පමණක්ද යන්න සොයා බලන්නට ඇති යාන්ත්‍රණය කුමක්ද? දැනට ලංකාවේ දිනකට පෞද්ගලික බස් රථ දහඅටදහසක් පමණ ප්‍රමාණයක් ධාවනය කෙරේ. මේ සා විශාල බස් ප්‍රමාණයක නිරීක්ෂණ කටයුතු කරන්නට කොතරම් පිරිසක් අවශ්‍ය වේද?

දැනට පෞද්ගලික බස් රථවල වාදනය කෙරෙන ගීත සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇත්තේ ඒවායේ අන්තර්ගතය සම්බන්ධයෙන්ද නැතහොත් ශබ්දයට අදාළවද? අප දන්නා පරිදි මගීන්ගේ බරපතළ විරෝධය එල්ල වී ඇත්තේ අධික ශබ්දය සම්බන්ධයෙනි. එසේ නම් නව ගීත තෝරා දීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේද? නැතහොත් කළ යුත්තේ බස් රථවල ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් නියාමනයක් පැනවීමද? බස් රථවල අධි ශබ්ද නළා ඉවත් කිරීමක් පසුගිය වසරේ ආරම්භ වූ බව අපට මතකය. නමුත් ඒ වැඩපිළිවෙළට වූයේ කුමක්දැයි කිසිවකු දන්නේ නැත.

බස් රථයක් යනු පොදු ප්‍රවාහන සේවයකි. බාල, මහලු, තරුණ, ළමා – කාන්තා, පුරුෂ, සිංහල, දෙමළ, උගත් නූගත් ආදී වශයෙන් විවිධ මගීහු බස් රථවල ගමන් කරති. මේ සියලු දෙනාගේ රුචිකත්වයට ගැළපෙන ගීත ප්‍රවාහන කොමිසම විසින් තෝරා ගන්නේ කෙසේද යන්න තවත් ප්‍රශ්නයකි. ගීත තෝරා ගැනීමේ මිනුම් දණ්ඩ කුමක්ද යන්නද පැහැදිලි නැත. විද්‍යුත් මාධ්‍යවලින් ගීත ප්‍රචාරය කිරීමේදී කර්තෘ භාගය ගෙවීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති තත්ත්වය තුළ බස් රථවල ගීත වාදනය කරවීමේදී ද කර්තෘ භාගයක් ගෙවීමට සිදු වේ. එය ගෙවන්නේ ප්‍රවාහන කොමිසමද, බස් හිමියන්ද? ප්‍රවාහන කොමිසම නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේද? බස් හිමියන් ඒ වියදම දැරීමට සූදානම්ද? කවුරුන් ගෙවීම් කළත් එය කරන්නේ කුමන පදනමින්ද? මේ ප්‍රශ්නවලට ද ප්‍රවාහන කොමිසම සතුව පිළිතුරු තිබිය යුතුය.

බස් රථවල ප්‍රචාරයට නුසුදුසු යැයි තීරණය කරන ගීත කුමන අන්දමකින් හෝ ශ්‍රවණය කිරීමට නුසුදුසු ගීත වන්නේ දැයි පැහැදිලි නැත. එසේ නම් මේ ගීත ගුවන්විදුලි නාළිකාවල ප්‍රචාරය කිරීමද නොකළ යුතුය. එළිමහන් සංදර්ශනවලදී හෝ ගායනා කළ නොහැකි විය යුතුය. එහෙත් එලෙස තහනමක් පැනවිය හැකි යැයි අප සිතන්නේ නැත. දැනට ගීත සම්බන්ධයෙන් වාරණ මණ්ඩලයක් ක්‍රියාත්මක නොවන බැවිනි.

මේ කුමන ආකාරයකින් බැලුවත් අපට නම් පෙනෙන්නේ මේ තීරණය කොතරම් හොඳ තීරණයක් වුවත් ක්‍රියාත්මක කරන්නට අසීරු තීරණයක් බවය. මේ තීරණය මුහුණු පොතේ රසවත් සටහන් හා කාටූන් ශිල්පීන්ට නම් රසවත් මාතෘකාවක් වනු නිසැකය.

මේ තීරණය ගැන අදහස් දක්වන බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත්තේ බස් රථවල කිසිම ගීතයක් ප්‍රචාරය නොකර සිටීම වඩා උචිත බවය. ඇත්තෙන්ම එය නම් වඩා ප්‍රායෝගික යෝජනාවකි. බොහෝ රටවල පොදු ප්‍රවාහන සේවාවන්හි ගීත වාදනය කෙරෙන්නේ නැත. ඊට හේතු වන්නේ තමන්ගේ බස් රථයට ගොඩවන මගියා කුමන මානසිකත්වයකින් සිටින්නේ දැයි දැන ගැනීමට රියැදුරාට ක්‍රමයක් නොමැති බැවිනි.

බටහිර රටවල පමණක් නොව ජපානය, චීනය වැනි ආසියාතික රටවල පවා බස් මගීහු ගමන් කරන්නේ පොතක් පතක් කියවමිනි. නැතහොත් ජංගම දුරකථනය දෙස ​දෙඇස් දල්වා ගෙනය. අප රටේද දැන් බොහෝ දෙනකු ගමනක් බිමනක් යන විට ජංගම දුරකථනයට එබී යන්නට හුරුව සිටිති. එසේ නම් ගීත වාදනය නොවූයේ යැයි මගීන්ට නම් එතරම් පාඩුවක් සිදු නොවනු ඇත.

මෙහිදී තර්කයක් ලෙස මතු වන්නේ රියැදුරාගේ කාංසිය නිවීමට ගීත වාදනය කිරීම කළ යුතු බවය. ගීත වාදනය කරන්නේ නම් රියැදුරුට පමණක් ඇහෙන්නට ගීත වාදනය කර ගත හැකිය.

අනෙක් අතට ගීත වාදනය හා නිදිමත අතර සම්බන්ධයක් ඇතැයිද පිළිගැනීමට අසීරු කරුණකි. අප එසේ කියන්නේ රියැදුරුට නින්ද යෑම නිසා අනතුරට පත්වන බස් රථවලද මන්ද ස්වරයෙන් හෝ උච්ච ස්වරයෙන් ගීත වාදනය පුරුද්දක් ලෙස කෙරෙන කටයුත්තක් බැවිනි.