අතන මෙතන

බස් එකේ – පොළේ ගිය අගමැති

අගමැති රනිල් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසකුත් පිරිවරාගෙන සඳුදා උදේම බුලත්සිංහල පොළට ගියේ ය. ඒ අලුතින්ම ඉදිකළ බුලත්සිංහල සති පොළ ජනතා අයිතියට පත්කිරීමේ කටයුත්තට සහභාගී වීම සඳහා ය.

අගමැති ප්‍රමුඛ පිරිස බුලත්සිංහල ‘ටවුමේ‘ සිට ‘සතිපොළ‘ දක්වා ගමන් කළේ සාමාන්‍ය බස් රථයකින් වීම විශේෂත්වයකි. අගමැතිවරයා බසයේ යන ගමන්, බුලත්සිංහලින් පැවත ආ ජනප්‍රිය යූ.ඇන්.පී. මන්ත්‍රීවරයෙකු වූ ‘සරත් රණවක‘ව සිහිපත් කළේ ය. එවිට එහි සිටි අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ, ‘‘සරත් රණවකලා විතරක් නෙවෙයි, ඒ දවස්වල තුණ්ඩු කෑල්ලෙන් රටම පාලනය කළ කීර්ති විජයබාහුලා පවා බිහිවුණේ බුලත්සිංහලින් තමයි’’ යනුවෙනි.

ඉන්පසුව මැති ඇමතිවරු ‘පොළේ යන තුරුම’ කතා කළේ 88/89 කාලයේ ජ.වි.පෙ. සන්නද්ධ අංශ නායකයා වූ සමන් පියසිරි නොහොත් කීර්ති විජයබාහුගේ කියුම් කෙරුම් ගැන ය.

විපක්ෂ නායකයාව සිටියදී, නුගේගොඩ පොළේ ‘පත්‍රිකාවක් බෙදන්නට’ ගිහින් ‘පලා වෙළෙන්දියකගෙන්’ බැණුං අහගන්නට සිදුවූ රනිල් වික්‍රමසිංහ මෙදා අගමැති ලෙස බුලත්සිංහල පොළේ ගිය ගමන නම් සාර්ථක වූ බව පෙනිණි. පොළේ ආ ජනතාව පොළේ ආ අගමැති සමඟ ඉතා කුළුපගව කතාබස් කරනු දක්නට ලැබුණි.