කතුවැකි

බදු සහනය ඇත්තටම සහනයක් වීම සඳහා

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමෙන්ම බදු සහන රාශියක් ලබාදීමට පියවර ගැනීම මේ රටේ සියලු දෙනාටම ආර්ථිකමය වශයෙන් සහනයක් ගෙන දෙන තීරණයකි. පසුගිය ආණ්ඩුව ජනතාව මත පටවා තිබූ බදු බර අනුව මෙවැනි සහනයක් දෙන්නට තීරණය කළ බව ඇසීම පවා මෙරට පොදු ජනතාවට මහත් සැනසිල්ලක් වූවාට සැක නැත. යහපාලන ආණ්ඩුව බදු අය නොකළ විෂයක්, කාරණයක් නොමැති තරම්ය.

එතරම් බදු අය කළ ආණ්ඩුවක් මීට පෙර තිබුණේ නම් ඒ යටත්විජිත යුගයේ ඉංග්‍රීසි ආණ්ඩු විය යුතුය. යහපාලන ආණ්ඩුව බදු අය කිරීමෙන් ඉංග්‍රීසි ආණ්ඩුවට දෙවැනි වූයේ ඔවුන් ඉංග්‍රීසි ආණ්ඩුව මෙන් ගෙදර සිටින බලු කුක්කාටද බදු නොගැසීමෙන් විය හැකිය. එහෙත් තවත් වසර කිහිපයක් ඒ ආණ්ඩුව පැවතියේ නම් සුද්දාගේ කාලයේදී මෙන් ගෙදර සිටින බල්ලා, පූසාටද බදු ගෙවීමට සිදු වන්නට ඉඩ තිබිණ.

ආණ්ඩුවකට බදු අය කිරීමෙන් තොරව රටක පාලනය ගෙන යා නොහැකිය. නමුත් ආණ්ඩුවක් බදු අය කළ යුත්තේ ඒ රටේ ව්‍යාපාරික ප්‍රජාවටද, සාමාන්‍ය ජනතාවට ද දැරිය හැකි මට්ටමකටය. වැඩිදුරටත් කියන්නේ නම් බඹරා මල නොතලා රොන් ගන්නා ආකාරයට ජනතාව නොතලා බදු අය කළ යුතුය. ඒ සඳහා කිසියම් බදු ප්‍රතිපත්තියක් හා කළමනාකරණයක් තිබිය යුතුය.

පසුගිය ආණ්ඩුව කීවේ තමන්ගේ බදු ප්‍රතිපත්තිය සරදියෙල් ප්‍රතිපත්තිය බවය. එනම් ඇති හැකි අයගෙන් රැගෙන, නැති බැරි අයට දීමය. එසේ වුවත් අප දුටුවේ සරදියෙල් ප්‍රතිපත්තියක් නොව පාතාල ප්‍රතිපත්තියකි. පාතාලයන් ජීවත් වීම සඳහා කිසිදු ඉපැයීමක් කරන්නේ නැත. ඔවුන්ගේ එකම ඉපැයීම් මාර්ගය කප්පම් ගැනීමය. ආණ්ඩුවේද එකම ආදායම, බදු ආදායම පමණක් වූවා සේය.

ඒ යුගයේ විශාල ගෙදරක් දොරක් හැදුවත් බදුය. රුපියල් ලක්ෂ 10-15 ක ස්ථිර තැන්පතුවකින් ජීවත්වන විශ්‍රාමිකයාටද බදුය. රටට වැඩිම ආදායමක් ගෙන දෙන විදෙස්ගත ශ්‍රමිකයාගේ ඉපැයීමටද බදුය. ඇතැම් බදු මත බදුය.

තමන් ජනාධිපති වුවහොත් ජනතාව පීඩාවට පත් කරන මේ බදු ඉවත් කර සහනයක් සලසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වී තිබිණි. මේ ඉටු කර ඇත්තේ එම පොරොන්දුවය. සාමාන්‍ය ජනතාවට සේම යුද්ධයෙන් පසු ඉතා ශ්‍රීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ ඉදිකිරීම් ක්ෂේත්‍රය වැනි ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ටද ඉන් විශාල ප්‍රතිලාභයක් හිමිව තිබේ. කොටස් වෙළෙඳපොළ ඉපැයීම් මත පනවා තිබූ බදු අහෝසි කිරීම, කොටස් වෙළෙඳපොළේ ආයෝජන දිරිගැන්වීමට හේතුවනු ඇත. මේ සියල්ලටම වඩා රටේ ඉහළම ධනවතුන්ගේ සිට අන්ත දිළින්දන් දක්වා සියලු දෙනාට වැදගත් වන්නේ වැට් බද්ද සියයට අටක් දක්වා අඩු කිරීමය. අප කන බොන, අඳින, පලඳින සෑම දෙයක් මතම මේ බද්ද පැනවී තිබූ බැවිනි.

සාමාන්‍යයෙන් අප රටේ සිරිත වන්නේ කිසියම් භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ යෑම ඒ මොහොතේ සිට ක්‍රියාත්මක වන අතර මිල අඩුවීමට කලක් ගත වීමය. මේ නිසා බදු සංශෝධනය කිරීමට ආණ්ඩුව ගත් තීරණය සැබෑ වශයෙන්ම ඵලදායී වනු ඇත්තේ එහි ප්‍රතිලාභය කලට වේලාවට නියමිත පරිදි ජනතාවට ලැබීම සහතික වන වැඩපිළිවෙළක් තිබුණහොත් පමණකි.වැට් බද්ද වේවා, දුරකථන බද්ද වේවා අහෝසි කිරීම හෝ ඉවත් කිරීම නිසා ව්‍යාපාරිකයන්ට කිසිදු පාඩුවක් සිදු නොවේ. මෙවැනි බදු පාරිභෝගිකයන්ගෙන් අයකරගෙන එක එල්ලේම ආණ්ඩුවට ගෙවනු ලැබූ බදු නිසාය. මේ නිසා මේ බදු සහන වහාම ජනතාවට ලැබෙන බවට ආණ්ඩුව වග බලාගත යුතුය. සරලව කියන්නේ නම් මේ බදු සහනය ක්‍රියාත්මක වන්නට පටන් ගත් දා සිටම එකී බදු අදාළ වූ භාණ්ඩ හා සේවාවන් හි මිල අඩුවිය යුතුය.

මෙම බදු සහන තීරණයත් සමග අනිවාර්යයෙන්ම නැගෙන ප්‍රශ්නය වන්නේ, මේ නිසා ආණ්ඩුවට අහිමි වන ආදායම උපයා ගන්නේ කෙසේද යන්නය. යෝජිත බදු සහනය නිසා ආණ්ඩුවට අහිමි වන බදු ආදායම කොතෙක්දැයි තවමත් නිශ්චිතව ගණන් බලා නැත. එහෙත් එය විශාල ප්‍රමාණයක් වනු ඇත.

අසාධාරණ හා දැරිය නොහැකි බදු අඩුකිරීම නිසා හෝ අහෝසි කිරීම නිසා ආයෝජන ඉහළ යෑම, මුදල් සංසරණය වැඩි වීම මගින් රටේ ආර්ථිකයට ශක්තියක් ලැබෙනු ඇතැයි ආණ්ඩුව අපේක්ෂා කරනවා විය හැකිය. ආර්ථික විද්‍යාවේ නියමයන්ට අනුව එය සිදුවිය හැකි ක්‍රියාවලියකි. එහෙත් තරමක් දීර්ඝ කල් ගතවන ක්‍රියාවලියකි.

එසේ වුවත් මෙම බදු සහනත් සමග ආණ්ඩුවට ආදායමක් අහිමි වුවත්, ආර්ථිකයට පාඩුවක් සිදු නොවීමට ජනාධිපතිවරයා කෙටි කාලීනවද යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එය නම් අනවශ්‍ය විය හියදම් කප්පාදුවය. නාස්තිය අවම කිරීමය.

ව්‍යාපාරයක වුවද ලාභය උපරිම කිරීමට, ආදායම වැඩිකර ගැනීම සේම නාස්තිය, දූෂණය ද නැති කළ යුතුය. ලාභයේ වුවද උපරිම සීමාවක් තිබේ. එවැනි අවස්ථාවක පාඩු නොලැබීමට එක් උපක්‍රමයක් වන්නේ නාස්තිය, දූෂණය අවම කිරීමය.

බොහෝ මැති ඇමැතිවරු, රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද කරන වැඩයටත් වඩා වියදම් කරන්නේ ඒ ගැන කරනා ප්‍රචාරයන්ටය. සැලසුමකට අනුව කටයුතු නොකිරීම නිසා එක වැඩේ දෙක වන අවස්ථා ඕනෑ තරම් තිබේ. අද පාසලක පමණක් නොව පන්සලේ පවා උත්සවයක් ඇත්නම් ආටෝපය, සාටෝපය සඳහා අති විශාල මුදලක් වැය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. අප සියලු දෙනා එක්ව මේ අත්‍යවශ්‍ය නොවන අනවශ්‍ය වියදම් කපා දැමුවහොත් කොතරම් මුදලක් ඉතිරිකරගත හැකි වනු ඇතිද?

ජනතාවට පටි තද කර ගන්නැයි කියා තමන්ගේ මඩි තරකර ගත් නායකයන් නොවී අනවශ්‍ය වියදම් කපා දමමින් ජනාධිපතිවරයා ආදර්ශයක් දී තිබේ. ඔහු සිය ආරක්ෂක රථ සංඛ්‍යාව අඩුකර ඇත. නිල නිවස ප්‍රතික්ෂේප කළේය. නිකං පඩි කමින් සිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සුදුසු තැන්වලට යැවීමට පියවර ගෙන ඇත. මේ අන්දමට ජනාධිපති ආරක්ෂක අංශයේ සිටි පොලිස් නිලධාරින් ද ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. නිල විදේශ සංචාර, සවාරි කර නොගෙන සැබෑම නිලසංචාර බවට පත්කර ඇත.

අනෙකුත් මැති ඇමැතීන්ද රාජ්‍ය නිලධාරින්ද ඔහුගේ මග යනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එවිට රටවැසියාද ඔවුන් අනුගමනය කරනු ඇත.