කතුවැකි

බදු වංගු සහ බදු හොරු

සාමාන්‍යයෙන් අපට හැමදාම අසන්නට දකින්නට ලැබෙන්නේ රටේ ජනතාව බදු ගෙවීම පැහැර හරින බව කියන ප්‍රවෘත්තිය. මේ නිසා කාලයකට පෙර බදු ගෙවීමට ජනතාව උනන්දු කරවීම සඳහා ප්‍රචාරක ව්‍යාපෘති පවා දියත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. ඒ අනුව නිසි කලට නිසි පරිදි බදු ගෙවන අයට විශේෂ සැලකිලි, වරප්‍රසාද ලබා දිය යුතු යැයිද ඒ කාලයේ යෝජනා වී තිබූ බව අපට මතකය. සෑම ආණ්ඩුවක්ම බදු අය කර ගැනීම සඳහා මේ තරම් උත්සාහ කරන්නේ බදු රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන බැවිනි. පසුගිය වසරේ රටේ බදු ආදායම දළදේශීය නිෂ්පාදිතයෙන් සියයට දොළහයි දශම දෙකක් විය. (12.2%) – 2016 වසරේ එම ප්‍රතිශතය සියයට දහහතරයි දශම එකකි (14.1%)

ආණ්ඩුවට බදු අය කර ගැනීම කොතරම් වැදගත් වුවත් කවුරුත් උත්සාහ කරන්නේ බදු නොගෙවා සිටින්නටය. නැතහොත් නියම කෙරෙන බදු ප්‍රමාණය අඩුවෙන් ගෙවීමටය. එහෙත් අප කවුරුත් දන්නා මේ සාමාන්‍ය තත්ත්වයට වෙනස් කතාවක් පසුගිය සඳුදා (27 වැනිදා) අප පත්‍රයේ ප්‍රධාන සිරස්තලයකින් හෙළිදරව් කර තිබිණ.

එම පුවතට අනුව පසුගිය වසර පහක කාලයක් තුළ රුපියල් කෝටි විසිනවදහසක (29,000) අයවිය යුතු බදු අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උනන්දුවක් දක්වා නැත. පසුගිය 2018 හා 2019 වසර සඳහා පමණක් මෙලෙස අය කර ගන්නට කටයුතු කර නැති බදු ප්‍රමාණය රුපියල් කෝටි පන්සිය විස්සකි. රජයේ විගණකාධිපතිවරයා පෙන්වා දී ඇති අන්දමට බදු අයකර ගැනීමේ කටයුතු සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව භාවිත කරන පරිගණක වැඩසටහන්වලද දෝෂ තිබේ.

මේ රටේ බදු ප්‍රතිපත්තිය ගැන මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට බුලත්විට වෙළෙන්දා දක්වා කිසිවකුට සතුටක් නැත. ඇතැම් භාණ්ඩ හා සේවාවන්ට බදු පිට බදුය. තවත් බද්දක් අය කරන්නේ කුමකටද? එය ගණනය කරන්නේ කෙසේද කියා, ඒවා ගණනය කරන අයවත් දන්නේ නැත. තවත් විටෙක කිසියම් බද්දක් අදාළ වන්නේ කාටද, අය කර ගත යුත්තේ කාගෙන්ද යන්න අපැහැදිලිය.

කෙසේ වෙතත් මේ සියලු චෝදනා නගන්නේ බදු ගෙවන ජනතාවය. විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව රුපියල් කෝටි විසිනවදහසක බදු අය වී නැත්තේ මෙවන් චෝදනා නිසා නොව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වරදිනි. බදු නොගෙවන ජනතාවට දඩ ගසනවාට අමතරව නඩු පැවරෙන අවස්ථාද තිබේ. එහෙත් බදු අයකර ගැනීමට කටයුතු නොකළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දඬුවම් නැත. නමුත් දැන් මේ ක්‍රමය වෙනස් විය යුතුව තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වී ඇත්තේ කුමක් නිසාදැයි ප්‍රමාද නොකර සොයා බැලිය යුතුය. එහෙත් ඒ පිළිබඳ විමර්ශනය කිරීමත්, දේශීය ආදායම් කොමසාරිස්වරයාට හෝ එම දෙපාර්තමේන්තුවේම නිලධාරින්ට පැවරුවහොත් එය හොරාගේ අම්මගෙන් පේන ඇසීමට සමාන වනු ඇත.

බදු ගෙවන ජනතාව තමන් ගෙවිය යුතු බදු ප්‍රමාණය අඩුකර ගැනීම සඳහා නොයෙක් ‘‘ක්‍රම සහ විධි’’ භාවිත කරති. ඉන් ජනප්‍රියම ක්‍රමයක් වන්නේ අදාළ නිලධාරින් සතුටු කිරීමය. වසර පහක් තුළ රුපියල් කෝටි විසිනව දහසක බදු අයකර ගැනීම පැහැර හැර ඇත්තේ, මේ ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස නොවේ යැයි කිව හැක්කේ කාටද?

විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව භාවිත කරන පරිගණක වැඩසටහන්වලද දෝෂ තිබේ. බදු අයකර ගැනීම අතපසු වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස යැයි යමකුට තර්ක කළ හැකිය. එය එසේ නම් පරිගණක වැඩසටහන්වල දෝෂ සකස් කර ගැනීමේ වගකීම ඇත්තේද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටමය. පෙනෙන හැටියට එවැනි පියවරක් හෝ ගෙන නැත්තේ ඒ තත්ත්වය පනින රිළවුන්ට ඉණිමං බැඳීමක්ව තිබෙන නිසා විය යුතුය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවට දැන් කරුණු හෙළිදරව් වී තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයට අයවිය යුතු බදු අය කර ගැනීම පැහැර හැරීමද ඒ හා සමාන ජාවාරමක් යැයි සැක කරන්නට තවත් හේතුවක් වන්නේ වසර පහක් තිස්සේ එය සිදුව තිබෙන බැවිනි. සිතාමතා නොකරන ලද අතපසුවීමක්, වැරැද්දක් නම් එය අඩුම වශයෙන් වසරක් දෙකක් ඇතුළත නිවැරදි විය යුතුව තිබිණ. එහෙත් වසර පහක් තිස්සේ එවැනි උත්සාහයක් ක්‍රියාත්මක වූ බවක් දැනගන්නට නැත.

ඊයේ (30 වැනිදා) අප පත්‍රයේ පළ වූ තවත් පුවතකට අනුව මේ වසර පහක කාලය තුළ බදු ගෙවීම් කළ රුපියල් කෝටි තුන්සිය තුනක චෙක්පත් අගරු වී තිබේ. අගරු වන ලෙස චෙක්පතින් ගෙවීම් කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් කිසිවක් කර තිබේද? ඉන් පෙනී යන්නේ අගරු චෙක්පත්, ගෙවීම් කිරීමද දැන දැනම සිදු කෙරෙන වංචාවක් බව නොවේද?

සාමාන්‍යයෙන් බදු ගෙවීම පැහැර හරින, අසත්‍ය වාර්තා මත අඩුවෙන් බදු ගෙවන අය හඳුන්වන්නට ‘බදු හොරු’ යන අවර නාමය භාවිත කරති. දැන් පෙනෙන හැටියට ‘නියම බදු හොරු’ සිටින්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේය. ඇත්තෙන්ම ඔවුන් ‘හොරු’ නොව ‘කම්බා හොරු’ය. මේ හොරු අල්ලා ගැනීම වහා කළ යුතු යැයි අප යෝජනා කරන්නේ, එසේ නොකර සිටීම හෝ ප්‍රමාද කිරීම ද මේ හොරුන් කරන ජාතික අපරාධයට සම්මාදමක් වන හෙයිනි.

රුපියල් කෝටි විසිනවදහසක බදු අයකර ගැනීම අතපසු වී ඇත්තේ හොරකමට නොව රාජකාරියේ අලසකම, එහි වගකීම බරපතළ ලෙස නොගැනීම, නොසැලකිල්ල, නියාමනයක් නොමැති වීම යන කුමන හෝ හේතුවක් නිසා යැයි සිතමු. එසේ වුවත් මේ තරම් අති විශාල ආදායමක් රටට අහිමි කිරීම මොනතරම් නම් අපරාධයක්ද? මේ නිසා අප කියන්නේ, හේතුව කුමක් වුවත් බදු අයකර ගැනීම අතපසු කිරීමට වගකිව යුතු නිලධාරින්ට දඬුවමක් කළ යුතු බවය.

මේ කාරණය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීම හදිසි අවශ්‍යතාවක් වන්නේ මේ වන විට රටේ ආර්ථිකය මුහුණ පා සිටින තත්ත්වය නිසාය. කොරෝනා වසංගතයට පෙර රටේ ආර්ථිකය ගමන් කරමින් සිටියේ බඩගාමිනි. දැන් යන්නේ හොම්බෙනි.ඒ අතරේ හැම කෙනාටම සහන දීමටද සිදුව තිබේ. ලබන වසරේ විදේශ ණයවාරික ලෙස ඇමරිකානු ඩොලර් බිලියන පහකට ආසන්න මුදලක් ගෙවිය යුතුය.

මේ අතර රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ටද වචනයක් කිව යුතුව තිබේ. ආලවට්ටන් නැති සරල පැහැදිලි බදුක්‍රමයක් සකස් කළ යුතු බවය. වට වංගු වැඩි ක්‍රමවලට බදු අය කරන්නට කටයුතු කිරීමද බදු වංචා වැඩිවීමට හේතුවක් වන බැවිනි.