විශේෂාංග

බදු ගෙවූ කෝටි 300ක චෙක් කුඩු

බදු ගෙවන්නන්ගෙන් ලැබුණ කෝටි 303 ක චෙක් රිටන් වී ඇති බවට පුවතක් පසුගිය සතියේ වාර්තා විය. 2015 වසරේදී රිටන් වූ චෙක් ගණන 4494 කි. 2019 දී රිටන් චෙක් ගණන එමෙන් දෙගුණයකට සමානය. ගණනින් චෙක් 8060 කි. දෙදහස් පහළොවේදී රිටන් වූ චෙක්වල වටිනාකම කෝටි 100 කට ආසන්නය. 2019 දී එය කෝටි 300 කට අධිකය. ‘චෙක්’ යන වචනය ව්‍යාපාරිකයන්ට නම් අරුමයක් නොවුණත් සාමාන්‍ය ජනතාවට නම් ‘චෙක් රිටන්’ යනු මහා අපබ්‍රංසයකි.

මේ බදු හිමියන්ගෙන් ලැබුණු බොහෝ චෙක්පත් රිටන් වී ඇති හේතු කිහිපයකි. චෙක්පත නිකුත් කළ බැංකුවේ එම ගිණුම වසා තිබීම (Account Closed) අණකරු අදාළ ගෙවීම් නැවැත්වීම (Stop Payment) බැරපත් තහවුරු නොවීම (Funds not Realized) මෙහිදී මුල්ම කාරණය වන ගිණුම වසා තිබීම නමැති හේතුව නීතිමය වශයෙන් ඉතාම බරපතළ තත්ත්වයකි. මෙතැනදී චෙක්පත ලබා දුන් පසු ගිණුම වසා දැමුවාද, නැත්නම් වසා දැමූ ගිණුමකින් චෙක්පත ලබා දුන්නා දැයි ප්‍රශ්නය අන්ත දෙකකට බෙදේ. දෙවැනි හේතුව ලෙස දක්වා ඇති අදාළ ගෙවීම් නැවැත්වීම බොහෝ විට ජංගම ගිණුම් හිමියන් කරන්නේ තමන් චෙක්පත නිකුත් කළ බැංකුවේ මුදල් නොමැති විටය. එමෙන්ම බදු ගිණුම් සැකසීමෙන් පසු අදාළ නිකුත් කළ චෙක්පතෙහි වටිනාකමට අඩුවෙන් හෝ වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවන අවස්ථාවලද සමහර ගිණුම් හිමියන් චෙක්පතට අදාළ ගෙවීම් නවත්වනු ලබේ. මෙසේ අදාළ චෙක්පත ගෙවීම් නවත්වන්නට හේතු වන්නේ නැත්නම් බැංකුව විසින් චෙක්පතෙහි ‘අණකරු විමසනු’ (Refer to Drawer) යනුවෙන් සටහන් කරන නිසාය. මෙම ‘අණකරු විමසනු’ යනුවෙන් සඳහන් චෙක්පත් තුනක් රිටන් වූ විට අදාළ ගිණුම් හිමියාගේ ජාතික හැඳුනුම්පත් අංකය සත්ගුණවත් Crib එකට නොහොත් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ දත්ත එකතු වන බැවින් ගිණුම් හිමියන් වැඩේ ගොඩින් බේරාගන්නේ එසේය. නැත්නම් එහෙම Crib එකේ නම අයින් කරගන්නට ලබන ආත්මය තෙක් සිටීමට සිදුවනු ඇත. බැරපත් තහවුරු නොවීම යනුවෙන් හඳුන්වන්නේ බදු ගෙවන්නන් නිකුත් කළ චෙක්පතට අදාළව තමන්ට ලැබුණු චෙක්පත් බැංකුගත කළත් එම චෙක්පත් අගරු වී නොහොත් රිටන් වී තිබීමය.

යහපාලන යුගය මෙරට බැංකු ඉතිහාසයේ ඉතිහාසගත වී ඇත්තේ මෙරට වැඩිම චෙක්පත් ප්‍රමාණයක් රිටන් වූ යුගය ලෙසය. පොදුවේ ගත් කළ පිටකොටුවේ තොග කඩවල මේ යුගයේ කාටත් පෙනෙන තැනක ගසන බෝඩ් ලෑල්ලේ මෙසේ සඳහන්ය. ‘‘ණයට සහ චෙක්පත්වලට ගනුදෙනු නොකෙරේ’ එම පාඨයයි. දැන් මේ තොග වෙළෙඳුන් චෙක්වලට බඩු දෙන්නේ ‘ෂුවර්ම’ කස්ටමර්ලා’ට පමණකි.

ලංකාවේ මේ චෙක් ඉතිහාසය ගැන සොයන විට රසවත් කතා ඇත. මීට වසර 20 කට පමණ පෙර දුප්පත් ගැමියකුට ලක්ෂ ගණනක ලොතරැයි තෑග්ගක් හිමි විය. ජයග්‍රහකයා ජයග්‍රාහී වටිනාකම ගන්නට ආවේ පෝර උර කීපයක්ද රැගෙනය. එවකට සිටි රාජ්‍ය නායකයා සුබ මොහොතින් ජයග්‍රාහී මුදල සඳහන් චෙක්පත ලොතරැයි ජයග්‍රාහකයාට දුන්නේ පත්තරවල ඡායාරුප ශිල්පීන් ෆොටෝ ගසද්දීය. නමුත් පින්තූර ගැනීමෙන් පසු ලොතරැයි හිමියා චෙක්පත ප්‍රතික්ෂේප කොට තම දිනුම නෝට්ටුවලින් ඉල්ලීම නිසා ඇති වූයේ ආරවුලකි. එතැනට පැමිණ සිටි බැංකු කිහිපයක්ම ලොතරැයි හිමියාට ‘බටර් ගා’ එම චෙක්පත තම බැංකුවේ තැන්පත් කර ගැනීමට උත්සාහ ගත්තත් ගැමියා ඊට විරුද්ධ විය. අන්තිමට ලොතරැයි මණ්ඩලයට ජයග්‍රාහී ත්‍යාගය මුදලින් ගෙවන්නට සිදු විය. තමන් ගෙනා පෝර මල්ලට මුදල දමාගත් ජයග්‍රාහී හිමියා ගමේ යන්නට පිටත් වුණේ ජයග්‍රාහී ලීලාවෙන්. ගැමියා ඇවිත් සිටියේ ආරක්ෂාවට සරමේ කිණිස්සක්ද ගසාගෙන බව නිලධාරින් දැන ගත්තේ ගැමියා පිටත්වන විටය.

ලංකාවේ දැන් පොත්වල ලියන ලේඛකයන් – ගිණුම් තබන්නන් වඳවෙමින් යන යුගයක් බිහි වෙමින් පවතී. අන්තිමට ලියන කෙනෙකු ලෙස ඉතිරි වනු ඇත්තේ චෙක්පත් ලියන්නන් හා පොලිසියේ දඩ කොළ ලියන්නන් පමණි. චෙක්පත් ලිවීමත් දැන් ඩොට් මෙට්‍රික් ප්‍රින්ටරයට පිවිසෙමින් පවතී. දඩ කොළයක් පාම් ටොප් එකෙන් දෙන යුගයේදී මේ දෙකත් කටුගෙට යනු නියතය.

පසුගිය වසරේ චෙක්පත් රීකන්ඩිෂන් කරන හාදයකු ගැන වාර්තා වූයේ පිළියන්දල පැත්තේය. ලොරියක විවිධ විසිතුරු බඩු පටවගෙන දුර බැහැර ප්‍රදේශවල ප්‍රධාන කඩවලට චෙක්පත්වලට ණයට බඩු දීම ඔහුගේ ව්‍යාපාරයයි. එම චෙක්පත් දින 30, 45, 60 ආදී මතු දාතම ඇති (Post dated) චෙක්පත්ය. මත දාතම යනු තේරුම්ගත නොහැකි ඉලව්වක් නොවේ. ජනවාරි 1 වැනිදා ලියූ චෙක්පතේ දිනය සටහන් කළේ ජනවාරි 31 ලෙස නම් එය සැලකෙන්නේ දින 30 ක් මතු දාතම ඇති චෙක්පතක් ලෙසය. වරක් පිටකොටුවේ ඉන්දියාවෙන් කඩදාසි ආනයනකරුවකු ඉන්දියන් කොම්පැනිය සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් කළේය. ගිවිසුම ප්‍රකාර ඉන්දියන් කඩදාසි කොම්පැනියට චෙක්පත් මගින් ලංකාවේ ගිණුමට මුදල් බැර කළේ ජනවාරි හා ජුනි මාසයේ පමණකි. තේරෙන භාෂාවෙන් කිව්වොත් සික්ස් මන්ත් ක්‍රෙඩිට් (Six Month Credit) ඒ කියන්නේ ඉන්දියාවෙන් කඩදාසි එව්වේ මාස හයකින් මුදල් පියවන පොරොන්දුව පිටය.

පිළියන්දල චෙක්පත් එකතු කරගත් හාදයා කළේ ලියන ලද චෙක්පත් මැකීමට රසායන ද්‍රව්‍යයක් සොයා ගැනීමයි. ඉන්පසු ඔහු රුපියල් 60,000 චෙක්පතට රු. 160,000 ක් ලියා එම මුදල තම බැංකු ගිණුමට බැර කරගෙන තිබුණි. මේ පුද්ගලයා පොලිසියට හසුවන විට ඔහු වංචා කළ මුදල රුපියල් හැටලක්ෂයකට අධික මුදලකි. මෙරට තොග වෙළෙඳාම තුළ තවමත් සංසරණය වන්නේ තෙවැනි පාර්ශ්වීය චෙක්පත්ය (Third Party Cheque). මේ චෙක්පත් කෑෂ් චෙක් (Cash Cheque) ලෙසද හැඳින්වෙයි. පිට‌කොටුවේ පස්වැනි හරස් වීදියේදී දෙන මෙවැනි චෙක්පතක් සමහර විට බැංකු ගත වන්නේ මාස ගණනක් අතින්අත ගොස් මඩකලපුවෙන් විය හැකිය. මේ තෙවැනි පාර්ශ්වීය චෙක්පත් භාවිත කරන්නේ බදුවලින් බේරීම සඳහා උප්පරවැට්ටියක් ලෙසය.

දැන් පොදු ජනතාව තුළ සනාථ වී ඇති මතවාදය වන්නේ බිසනස් නෑ. බිස්නස් වැටිලා, බිස්නස් වැහිලා ආදී මතවාදයන්ය. එහෙත් කෝටි 300 ක බදු ගෙවන්නට මේ බදු ගෙවන්නන්ට කෝටි කීයක ආදායමක් තිබෙන්නට ඇත්දැයි විමසිය යුත්තකි. තේරෙන භාෂාවෙන් මේකට කියන්නේ බිස්නස් ටර්න්ඕවර් කියාය. රජයට බදු ගෙවන චෙක්පතක් රිටන් වෙනවා කියන්නේ මෙරට චෙක් රිටන් වීම සාමාන්‍යකරණය වී ඇති බවය. දැන් මේ රටේ ඉතිරිව ඇත්තේ රජයේ ගිණුම පිට නිකුත් කළ චෙක්පතක් රිටන්වන ‘සුබ මොහොත’ පමණකි.

වජිර ලියනගේ