කතුවැකි

‘බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ’

​මේ කන්නෙ කැපෙද්දී කෘෂිකර්ම ඇමැතිවරයා පෑ අඬහැරය හාල් මිලදී ගන්නට කඩපොළට යන අපට දැනුත් ඇහෙනවා වැනිය.

‘‘මතක තියාගන්න අපි මේ පාර හාල් මාෆියාවට හොඳ පාඩමක් උගන්වනවා. කුඹුරට ගිහින් වී මිලට ගන්න ආණ්ඩුවත් ලෑස්තියි. මෝල්කාරයෝ වී ගන්නේ රුපියල් 55 ටද අපි රුපියල් 56 ට වී ගන්නවා. ඒගොල්ලෝ රුපියල් 57 ට ද ගන්නේ අපි 58 ට හෝ 60 ට ගන්නවා. එහෙම අරගෙන ඒ වී කොටලා අවුරුදු කාලෙට රුපියල් 95 ටම වෙළෙඳපොළට දානවා. මේ පාර වී මාෆියාවට, ජාවාරම් කරන්න ආණ්ඩුව ඉඩ තියන්නේ නෑ. ඉතිහාසයේ වී මිලට ගන්න වෙන්කරපු වැඩිම මුදල ආණ්ඩුව මෙදා වෙන් කරලා තියෙනවා. බලමු හැප්පිලා.’’

කාෂිකර්ම ඇමැතිවරයාගේ මේ අඬහැරය නිමාවී දැන් තෙසතියකට වඩා ගෙවී නැත. නව වසරට කිරිබත අනුභවයට තව ඇත්තේ දින දහසයක් පමණය.

දැන් වෙළෙඳපොළේ නාඩු කිලෝවක් විකිණෙන්නේ රුපියල් 96-100 ත් අතර මිලකටය. මේ රටේ වැඩිපුරම කන්නේ නාඩු සහල්ය. සිංහල අවුරුද්ද වන විට හාල් තවත් ගණන් යනවා විනා අඩු කෙරෙන්නේ නැති බව වෙළෙන්දෝ කියති.

මේ සිදු වූයේ කුමක්ද?

ඉතිහාසයේ එතරම් වැඩිම මිලට රුපියල් 55 ට වී කිලෝව මිලට ගැනීමද මේ ආණ්ඩුව ඇරඹුවේය. පොහොර නොමිලේ දීමට වසරකට රුපියල් බිලියන 36ක් වැය කළේය. ඒ රජය වැය කරන රුපියල් බිලියන 36 ය කුඹුරක් දෑහින් දැක නැති, තුන් වේලට පාන් කන කොම්පඤ්ඤවීදියේ සපත්තු හදන මිනිහාගෙත් මුදල්ය. ඒ සා මුදලක් වැය කළත් රටේ ජනතාවට රුපියල් සියයට අඩුවෙන් හාල් කිලෝවක් ගන්නට බැරි නම් ඉන් ඇති පලක් නැත.

මේ ආණ්ඩුව බලයට එනවිට මේ මහ කන්නය ආරම්භ වී තිබිණ. ඊට කලින් කොවිඩ් පළමු රැල්ල මැද්දේ හාල් මාෆියාව විසින් රටේ හාල් හිඟයක් මවා පෑහ.

‘‘මම වී මිලට අරගෙන තියෙන්නේ පනස් පහටත් වැඩිය. මට රුපියල් 95 ට හාල් කිලෝව දෙන්න බෑ. පුළුවන්නම් මාගේ ගබඩා රාජසන්තක කරන්න.’’ඩඩ්ලි එදා රජයට අභියෝග කළේය.

මහ පරිමාණ සහල් මෝල් හිමියන්ගේ අභියෝගය තේරුම් ගෙනය රජය කන්නය ආරම්භ කළේ. ඒ නිසාම රජයද වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිලට ගැනීමට සැලසුම් කෙරිණ. වෙනදා වී මිලට ගන්නේ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින්ය. එහෙත් ගොවියන්ගෙන් වී මිලට ගැනීම පහසු හා කඩිනම් කර ගැනීමට ගමකට එකා බැගින් ඉන්න කෘෂි නිලධාරින්ද ආණ්ඩුව සටනට කැඳවූවෝය. එහෙත් මේ වෙනතෙක් ආණ්ඩුවට මිලට ගැනීමට හැකිව තිබෙන්නේ වී මෙ. ටොන් 32,000 ක් පමණය.

සැබැවින්ම කුඹුරේදී සටන් වැදුනේ රජය හා පුද්ගලික වෙළෙන්දන් නොවේ. කුඹුරේ වී මිලට ගැනීමට අං ඇදගත්තේ පුද්ගලික වෙළෙඳුන්ය. පුද්ගලික වෙළෙඳුන් අතර තරගය නිසා වී කිලෝව රුපියල් 55 ට නොව 60 ටද මිලට ගත් අවස්ථා විය. ඒ වී කොටා රුපියල් 95 ට වෙළෙඳපොළට දමනවාත් ඒ සිහිනෙන් පමණකි.

දැන් ආණ්ඩුවේ නිලධාරින් කියන්නේ පුද්ගලික අංශයේ වෙළෙදුන්ගේ පිරිස් සංවිධානාත්මකව කුඹුරට ගොස් වී මිලට ගත් බවය. ප්‍රධාන පෙළේ මෝල් හිමියන් හතර දෙනා ඇතුළු වී මිලට ගත් ව්‍යාපාරිකයන්ගෙ සහචරයන් අතළොස්ස සමග හැප්පෙන්නට ගමට එකා ගානේ ඉන්නා දහස් ගණනක් කෘෂි නිලධාරින්ට නොහැකි වී ඇත. ඔවුන් දැන් කියන්නේ තරාදි, තෙත මනින මාපක එකාට එක ගානේ තිබුණේ නැති බවය.

ඒ අතරේ සියයට හතරේ පොලියට ණය දුන් නිසා ඒ ණය ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝද මෙවර වී තොග රැස්කරගෙන තිබේ. මහා පරිමාණ වී මෝල් හිමියන්ට මුහුණ දීමට බලවත් කළ මේ කුඩා පරිමාණ ව්‍යවසායකයෝද දැන් හැසිරෙන්නේ මහ පරිමාණ මෝල්ලු මෙනි. ඔවුන්ද වී තොග සඟවාගෙන හිඳින්නේ සහල් මිල ඉහළ ගියදාට එළියට දාන්නටය.

මේ සහල් තොග රැස් කරගෙන ඉන්නා පිරිස් වටලා කුදලා වී එළියට ගන්නා බව ආණ්ඩුව කියයි. වී මිලට ගන්නට සියයට හතරට ණයට දී වී අත්අඩංගුවට ගැනීම විහිළුවක් ලෙසෙ පෙනේ. එසේම වී තොග සඟවාගෙන ඉන්නා ගබඩාවක් කඩා වී එළියට දැමූ තැනක් බත් කන අප අසා නැත. කොහාගේ හඬ ඇහෙන මානයේ ඉන්නා මේ කාලයේ තත්ත්වය කුමක්ද? ආදී සහල් මෝල් හිමියෝ තමන් වී මිලට ගන්නේ රුපියල් 55 ට 60 ට බැවින් අඩු මිලට සහල් දෙන්නට බැරි බව කියති. කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ මිලට ගත් වී තොග සඟවාගෙනය. රජයේ තිබෙන්නේ වී මෙට්‍රික් ටොන් 32,000 ක් පමණය. ලොව තිබෙන ධාර්මිකම රැකියාව වී ගොවිතැන වුවද වාණිජ වගාවේදී ගොවිරාල ළං වන්නේ කච්චපුටට නොව සේරිවාණිජටය. සියලු සහනාධාර උපරිම ලෙස ලබාගත් වී ගොවීන් අතරින් පිරිසක්ද වී විකුණන්නේ රජයට නොව හොඳටම තැරැව් කරන තැරැව්කාරයන්ටය. අපට කියන්නට තියෙන්නේ ‘බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ’ කියාය.