කතුවැකි

බඩු මිල අඩු වන්නේ කවදාද?

මේ දිනවල රජයේ සේවකයන් සිටින්නේ ජනාධිපතිවරයා කොයි මොහොතක හෝ තමන්ගේ කාර්යාලයට පැමිණෙනු ඇතැයි යන අපේක්ෂාවෙනි. ජනාධිපතිවරයා හිටිහැටියේම රාජ්‍ය ආයතනවලට යන බැවිනි. මේ නිසා රජයේ කාර්යාලවල කටයුතු වෙනදාට වඩා කාර්යක්ෂම වී තිබේ. එහි ප්‍රතිලාභය ලැබෙන්නේ ජනතාවටය. ජනතාව මත අනවශ්‍ය පීඩනයක් ඇති කරන අණ පනත් හා කොන්දේසි ඉවත් කරන බව ජනාධිපතිවරයා නිදහස් දිනය දා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. මේ වන විට ඇතැම් නීති කොන්දේසි සංශෝධනය කිරීමට හෝ මුළුමනින්ම ඉවත් කිරීමට පියවර ගෙන ඇත. රට විනයවත් මාර්ගයකට පිවිස ඇතැයි ජනතාව කියති. මේ තත්ත්වය පොදු ජනතාවගේ ප්‍රසාදයට කාරණයකි.

එසේ වුවත් මේ කිසිවකින් වැඩක් නැතැයි ජනතාවට සිතෙන්නේ වෙළෙඳපොළට ගියවිටය. සහල්, පොල්, එළවළු, ලූනු, මිරිස් ආදී වශයෙන් එදිනෙදා කන බොන සියලු භාණ්ඩවල මිල ඒ තරමටම ඉහළය. ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ භාරගත් වහාම වැට් බද්ද ආදී බදු ඉවත් කරමින්, සංශෝධනය කරමින් ජනතාවට සහන දෙන්නට පියවර ගත්තේය. එහෙත් වෙළෙඳපොළට ගිය විට නම් එබඳු සහන දුන් බවක් දැනෙන්නේ නැත.

සියලුම සහල් වර්ගවල මිල රුපියල් අනූවෙන් ඉහළය. සහල් මිල පහත නොබසින්නේ වෙළෙන්දන් ඉහළ නැංවූ සහල් මිල ස්ථිර කරමින් ආණ්ඩුව සහල්වලට රුපියල් 90ක පාලන මිලක් නියම කිරීම නිසාය. පොල් මිලද යළිත් ඉහළ ගොස් තිබේ. එළවළු මිලද එසේමය. හදිසියේ ඉහළ ගිය ලූනු මිලද එසේම පවතී. මිරිස් හා තුනපහ වර්ගවල මිලද ඉහළ ගොස් තිබේ.

මේ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම හොඳින්ම බලාගත හැක්කේ සාමාන්‍ය හෝටලයකින් බත් පාර්සලයක් ගත් විටය. මේ බත් පැකට්වල බෝංචි කරලක්, කැරට් කෑල්ලක්, ලීක්ස් කොළයක් තිබූ දවසක් මතක නැත. කඩේ බත්වල දැන් වැඩිපුරම තිබෙන්නේ අලුකෙහෙල්, කෙසෙල්මුව, වට්ටක්කා වැනි ලාභදායී එළවළුය. ලාභදායී කීවාට වට්ටක්කා කිලෝග්‍රෑම් එකකද සිල්ලර මිල රුපියල් දෙසිය පනහක් පමණ වේ. බෝංචි වැනි එළවළුවල මිල කෙතරම් ඉහළ ගොස් තිබේද කිවහොත් සුළු වෙළෙඳුන් ඒවා අලෙවි කරන්නේද නැත.

තලපත්, කෙළවල්ලා වැනි වැඩි දෙනා ආහාරයට ගන්නා මාළු වර්ගවල මිල රුපියල් එක්දහස් දෙසියද ඉක්මවා ගොසිනි. කුකුළු මස්වල මිල තවමත් ජනවාරි 01 දාට පෙර තිබූ මිලමය. ජනවාරි 01 දා සිට වැට් බද්ද අඩු වූ බවක් කුකුළු මස් ව්‍යාපාරිකයන් දන්නේම නැති ගාණය. එළවළු මිල වැඩි යැයි මැසිවිලි නැගෙන විට එක් ඇමැතියකු කීවේ ඒවා නොකා වෙනත් එළවළු කන ලෙසය. දැන් කිසිවකු එහෙමත් කන බොන දේ මිල වැඩිවීම ගැන කතා කරන්නේ නැත. දුම්රිය මගීන්ට සහන මිලට එළවළු මල්ලක් දීමට පියවර ගෙන ඇත්තේ ජීවන වියදම දරා ගත නොහැක්කේ දුම්රිය මගීන්ට පමණක් යැයි සිතන නිසා විය යුතුය.

වෙළෙඳපොළේ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑමට බලපාන හේතූන් ගණනාවක් තිබේ. නියඟය, ගංවතුර ආනයනික භාණ්ඩවලට නම් විදේශ වෙළෙඳපොළ තත්ත්වයන් වැනි කාරණා ආණ්ඩුවකට පාලනය කළ නොහැකි සාධකය. එහෙත් ප්‍රශ්නය වන්නේ පාලනය කළ හැකි සාධක පාලනය කිරීමට හෝ විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමු නොකිරීමය.

වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යෑම මුළුමනින්ම සහල් ඒකාධිකාරිය නිසා සිදුවුවකි. එහෙත් තවමත් එය පාලනය කිරීමට හැකි වී නැත. ඒ වෙනුවට සිදුවූයේ සහල් ව්‍යාපාරිකයන් ක්ෂණිකවම ඉහළ නැංවූ සහල් මිල, පාලන මිල බවට පත්කිරීමය. මේ දිනවල මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීමද ආරම්භ වී තිබේ. සෑම වී වර්ගයක්ම මිලදී ගනු ලබන්නේ රුපියල් පනහක පාලන මිලකටය. මේ අනුව ඉදිරියේදී සහල් මිල තවත් ඉහළ යනු මිස අඩුවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. රුපියල් පනහකට වී කිලෝග්‍රෑමයක් මිලදී ගත් විට සහල් කිලෝග්‍රෑමයක නිෂ්පාදන පිරිවැයම රුපියල් 109ක් දක්වා ඉහළ යන බැවිනි.

​මේ වන විට උතුරේ එළවළු අස්වනු නෙළීම ආරම්භ වී තිබේ. ඒ අනුව වෙළෙඳපොළේ එළවළු මිල අඩුවිය යුතුය. එහෙත් එසේ නොවන්නේ දඹුල්ලේ එළවළු ව්‍යාපාරිකයන් එම එළවළු සෘජුවම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීම වළක්වන බැවිනි. උතුරේ ගොවීන්ගෙන් අතරමගදී අඩු මිලට එළවළු මිලදී ගන්නා දඹුල්ලේ ව්‍යාපාරිකයන් ඒවා වෙළෙඳපොළට මුදාහරින්නේ ඉහළ මිලකටය. ආණ්ඩුවකට අව්ව වැස්ස පාලනය කළ ​නොහැකි වුවත් මෙවැනි මාෆියාවන් පාලනය කළ හැකි විය යුතුය.

එළවළු මිල පාලනය කිරීමට හැකියාවක් නොමැති නම් පරිප්පු, අල, ලූනු වැනි ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල පහත හෙළීම පහසුවෙන් කළ හැකි කටයුත්තකි. කළ යුත්තේ තාවකාලිකව එම ද්‍රව්‍ය සඳහා වන ආනයනික බදු අඩුකිරීමය. එහෙත් එවැනි පියවරක් හෝ ගැනීමේ සූදානමක් ඇතැයි දැනගන්නටද නැත. එළඹෙන්නට නියමිතව ඇත්තේ අලුත් අවුරුදු සමයය. සාමාන්‍යයෙන් උත්සව සමයකදී පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑම සිරිතක් ලෙස සිදුවන්නකි. ඒ අනුව පාරිභෝගික භාණ්ඩවල දැන් පවතින මිල ඉදිරි දිනවලදිත් අඩුවනු ඇතැයි අපේක්ෂා කිරීමට අසීරුය.

පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම ගැන යම් පියවරක් ගැනීම අතපසුව ඇත්තේ ආණ්ඩුව මේ දිනවල ළඟ එන මැතිවරණය ගැන අවධානය යොමු කර ඇති නිසාදැයි අපි නොදනිමු. එහෙත් අලුත් අවුරුද්ද පසු වූ වහාම හෝ ඇතැම් විටක අලුත් අවුරුද්දට පෙර හෝ පැවැත්වීමට ඉඩ තිබෙන මහමැතිවරණයේදී සිය ඡන්දය භාවිත කිරීමට යන ජනතාවට භාණ්ඩ මිල ඉහළ යෑම හොඳින් මතක තිබෙනු ඇත. වෙළෙඳපොළේදී භාණ්ඩ මිලදී ගන්නා විට, ඒවා උයා පිහා ගන්නා විට සේම උයා ගත් කෑම කන බොන විට වශයෙන් දිනකට කිහිප වරක්ම ඉහළ ගොස් ඇති බඩු මිල ඔවුන්ට සිහිපත් වෙමින් තිබෙන බැවිනි.