කතුවැකි

බඩු බෙදන්න පුළුවන් රන්ජන්ලාට, තෙවරප්පෙරුමලාට විතරද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක යළිත් වරක් ප්‍රවෘත්ති මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ ඇඳිරි නීතිය කඩ කිරීම, ඊට අනුබල දීම සහ පොලිස් රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමත් සමගය. නමුත් රන්ජන් කියන්නේ තමන්ව අත්අඩංගුවට ගන්නේ ජනතාවට සහන සැලසීම කඩාකප්පල් කිරීම සඳහා බවය. ඔහු නියෝජනය කරන එජාපයෙන් කැඩී නිර්මාණය වී ඇති සමගි ජන බලවේගය කියන්නේද ඒ කතාවමය. ජනතාවට සහන සැලසීමට කිසිවකු බාධා කරන්නේ නම් එය සහගහන අපරාධයකි. විශේෂයෙන්ම මේ අවස්ථාවේ සහන අවශ්‍ය අතිවිශාල පිරිසක් සිටින බැවිනි.

රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සහ ඔහුගේ පක්ෂය කුමක් කීවත්, පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ පොලිසියට චණ්ඩි පාට් දැමූ නිසා බව දැන් රටම දන්නා කරුණකි. මෙහිදී වැරැද්ද රන්ජන්ගේද, නැතිනම් පොලිසියේද යන්න අධිකරණය විසින් විසඳනු ඇත. නමුත් මේ සිද්ධියත් සමග අවධානය යොමු කළ යුතු තවත් කාරණා කිහිපයක්ම තිබේ.

මේ අවස්ථාවේ සහන අත්‍යවශ්‍ය ජනතාව කොතරම් සිටියත්, ඒ අයට සහන සැලසීමට සිදුවන්නේද පවතින නීතිමය සීමාවන්ට යටත්වය. රන්ජන් රාමනායක කියන ආකාරයට ඔහු මේ වන විට සහල් කිලෝග්‍රෑම් තුන්දහසකට අධික ප්‍රමාණයක් බෙදා දී තිබේ. ඔහු ඒවා බෙදුවේ ඇඳිරි නීති නියෝගවලට යටත්වද? ඒ සඳහා ඔහුට නිසි අවසරයක් තිබුණේද? එසේ නොවේ නම් ඇඳිරි නීතිය කඩ කිරීම නිසා සාවුන් පනින්නට ජනතාවට නියෝග කරන පොලිසිය රන්ජන්ව අත්අඩංගුවට නොගත්තේ මන්ද?

රන්ජන් රාමනායක මෙන්ම ඇඳිරි නීතිය පමණක් නොව සෞඛ්‍ය නියමයන් පවා උල්ලංඝනය කරමින් හැසිරෙන තවත් බජාර් එකේ චණ්ඩියකු සිටී. ඒ පාලිත තෙවරප්පෙරුමය. ඔහු පිරිස් එක්රැස් කරගෙන කෑම පිසිනුද, භාණ්ඩ බෙදනුද අපි දකිමු. එපමණක් නොව ඇතුල්වීම හෝ පිටවීම තහනම් කොට ඇති ප්‍රදේශවලට යන්නටද උත්සාහ කරනු අපි දකිමු. මේ සිද්ධීන් අප පමණක් නොව පොලිසියේ හා සෞඛ්‍ය අංශවල බලධාරීන්ද දකින්නට ඇත. එහෙත් ඔහුට එරෙහිව ගත් පියවරක් ගැන නම් වාර්තා වී නැත.

රන්ජන්ලා, තෙවරප්පෙරුමලා සම්බන්ධයෙන් කරුණු කාරණා එසේ වුවත් සාමාන්‍ය මිනිසුන් ඇඳිරි නීතිය කැඩූ විට, බලු කූඩුවේ ලැගිය යුතුය. නැතිනම් කන් අල්ලාගෙන හාවුන් පනින්නට සිදුවේ. ඇඳිරි නීතියත් තිබියදී කසිප්පු පෙරූ අයකුව අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතී ඉන්දියන් ස්ටයිල් එකට දඬුවම් දෙන අවස්ථාද පසුගිය දිනවල වාර්තා විය. මේ අන්දමට නීතියට යටත් වන මිනිසුන් ඉදිරියේ නිවට බාබර්ට තමන්ගේ රැවුලත් කපන්නැයි කියන එළුවා මෙන් හැසිරෙන පොලිසිය ඔවුන්ගේ ගොන් වැඩ රූගත කරන්නේද ලැජ්ජාවකින් තොරවය.

පොලිසිය සිටින්නේ වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමටය. දඬුවම් නියම කරන්නේ අධිකරණය විසිනි. කුමන තත්ත්වයක් යටතේවත් වැරදිකරුවන්ට දඬුවම් කිරීමට බලයක් පොලිසියට නැත. කෙසේ වෙතත් කිසිවකු නීතියට අවනත නොවේ නම් අවම බලයක් භාවිත කිරීමට පොලිසියට බලය පැවැරී තිබේ. එහෙත් මේ සීමාව ඉක්මවා ගොස් නඩුවක් අසා, දඬුවම් දෙන්නට පවා ගිය එක් අයකු, දෙන්නකු හැරෙන්නට පසුගිය දිනවල අප වැඩිපුරම දුටුවේ තමන්ගේ බල සීමාව හෝ ක්‍රියාත්මක නොකළ පොලිසියකි. ඇඳිරි නීතිය උල්ලංඝනය කළ දහස් ගණන් අත්අඩංගුවට ගෙන ඇතැයි කීවත්, මහා මාර්ගයේ ධාවනය වන වාහන සංඛ්‍යාවෙන්ම ඒ බව තීරණය කළ හැකිය.
පොලිසිය තමන්ගේ බල සීමාවේ කටයුතු කළේ නම් රන්ජන් රාමනායක හා ඔහුගේ සහචරයා අත්අඩංගුවට ගත යුතුව තිබුණේ ඔවුන් පොලිස් රාජකාරියට බාධා කළ අවස්ථාවේදීමය. පසුව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේද පොලිසිය හැසිරෙන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසිය මෙන් නොව චිත්‍රපටයක පටිගත කිරීම් සඳහා කැඳවාගෙන යන්නට පැමිණි නිෂ්පාදක කණ්ඩායමක් ලෙසය.

ඇඳිරි නීති නියමයන්ට අනුව පමණක් නොව සත් ගුණවත් මැතිවරණ කොමිසම කියන ආකාරයටත් රන්ජන්ලා, තෙවරප්පෙරුමලා වැරදිය. කොමිසම කියන්නේ මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මහජන නියෝජිතයන් භාණ්ඩ බෙදීම නොකළ යුතු බවය. මහජන නියෝජිතයන් මේ අවස්ථාවේ මහජනතාවට සහනාධාර ලබාදෙන්නට කටයුතු කිරීම වරදක් ලෙස අප නම් දකින්නේ නැත. එහෙත් ආණ්ඩුවේ මහජන නියෝජිතයන් සහනාධාර බෙදීම වැරදි යැයි යමකු කියන්නේ නම් රන්ජන් හා තෙවරප්පෙරුමගේ භාණ්ඩ බෙදීමත් වැරදි විය යුතුය. එහෙත් මැතිවරණ කොමිසමද එසේ කියන්නේ නැත. කොමිසමට පැමිණිලි කරන මැතිවරණ නිරීක්ෂකයන් එසේ කියන්නේද නැත.

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමෙන්ද, තෙවරප්පෙරුමට බාධා කිරීමෙන්ද ආණ්ඩුව විපක්ෂයේ මානුෂීය කටයුතුවලට සෘජුවම බාධා කරන බව සමගි ජන බලවේගයට කියන්නට ඉඩ ලැබී ඇත්තේ මේ නිසාය.