විශේෂාංග

බටහිරින් කපන්න යන අතපය කඩිනමින් හා කරන බින් තැන්නේ වෙදකම්

කැඩුම් බිඳුම් ප්‍රතිකාර විෂයෙහි දේශීය වෙදකම ඉහළ තැනක පැවතුණි. බින්තැන්නේ ගැමියාට කැඩුම් බිඳුම් වැනි ආපදා නිතර සිදුවූයේ එවැනි පරිසරයක ජීවිකාව කරගෙන යාමට සිදුවීම නිසාය. බින්තැන්නේ ගැමියන් හේනේ වල් කොටන විට ගසකට යටවීමට බැරි නැත. මී වද, බඹර වද කපන විට හෝ වනයේ පලතුරු නෙළන විට හෝ සුළු පමාවකින් ගසෙන් වැටෙන්නට ඉඩ තිබේ. වනසතුන්ගේ පහරදීම්වලින් කැඩුම් බිඳුම් අසනීපවලට ගොදුරු විය හැකිය. කැඩුම් බිඳුම් අසනීපවලට කිසි විටෙක ඔවුන් බටහිර වෙදකම ලබාගන්නේ නැත. ඒ සඳහා බින්තැන්නේම සිටි කැඩුම් බිඳුම් ප්‍රතිකාරවල යෙදෙන සමර්ථ වෙද්දු සිටියහ. උළුක්කුවේ සිට ඉළඇට පිපිරීම වැනි බරපතළ අසනීප දක්වා ප්‍රතිකාර බින්තැන්නේ වෙදකමෙහි තිබුණි. කොළ, පොතු, ඇට, මුල් වැනි ඖෂධ වර්ග ඕනෑ තරම් වනයෙන් සොයාගත හැකි විය.

මී, අංකෙන්ද, කැටකාල, නුග ආදියේ පොතු බොහෝ විට කැඩුම් බිඳුම්වලට ඖෂධ විය. පාරම්පරිකව වනපොත් කළ වට්ටෝරු ඔවුන්ගේ බෙහෙත් ගබඩාව විය. වෙද මහත්වරු වට්ටෝරුව ලියා දෙත්ම ගැමියෝ ඒ ඔසු සොයාදීම බින්තැන්නේ සිරිත විය. බේහෙත් හදන හැටි කී විට ගැමියෝ එයද කිරීමට පුරුදු වී සිටියහ. එම නිසා බේත් හිඟයකට ඔවුන් මුහුණ දුන්නේම නැත. ශරීරයේ ඇටයක් පුපුරා ගිය විට අතින් ඇටය තිබූ පරිදි සකස් කොට බෙහෙත් බඳින්නට වෙද මහතුන් බින්තැන්නේ වැසියන්ට කියා දී තිබුණි. හන්දියක් පැන්නොත් එයද පෙර පරිදිම සවිකර බෙහෙත් බඳින්නට ඔවුහු පුරුදු වී සිටියහ. ලී පතුරු තබා කැඩුම් බිඳුම් වෙලීමට ඔවුහු කටයුතු කළහ. බටහිර වෛද්‍යවරුන් කපා දැමීමට නියම කළ කැඩුණු අතපය යළි වැඩ කළ හැකි තත්ත්වයට සුවපත් කිරීමේ හැකියාවද ඔවුන් සතු විය.

තුවාල සහ ගෙඩි සඳහාද සාර්ථක ප්‍රතිකාර ක්‍රම බින්තැන්නේ දේශීය වෛද්‍යවරු දැන සිටියහ. ගෙඩි පළා සැරව ඉවත් කොට බේත් දමා සුවපත් කළ සැත්කම්ද ගෙඩි වෙදකම හා බැඳී පැවතුණේය.

බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය ආර්.එල්. ස්පිට්ල් මහතා වැද්දකු ලෙස හැඳින්වූ හෝලිකේ වන්නකු තිසාහාමි බින්තැන්නේ විසූ සිංහල ගැමියෙක් විය. වැදි ස්ත්‍රියක් සහේට ගැනීම නිසා ගමින් ඈත වන්නියේ තනිව ජීවත් වීම නිසාත්, දක්ෂ දඩයක්කාරයකු වූම නිසාත් ආර්.එල්. ස්පිට්ල් මහතා ඔහු දුටුවේ වැද්දකු ලෙසය. තිසාහාමි අතිදක්ෂ දේශීය වෛද්‍යවරයකු බව ස්පිට්ල් මහතා ප්‍රකාශ කොට තිබේ.

වලසකු විසින් සපා කනු ලැබීමෙන් දරුණු තුවාල ලැබූ පීතා නම් මුස්ලිම් වෙළෙන්දාගේ තුවාල සෝදා පඹ, දඹ, තිඹිරි මුල් සමව ගෙන වියළා කුඩු කරගත් ඖෂධයක් ඔහුගේ තුවාලවලට දමා ඇල් දියෙන් තෙමමින් ප්‍රතිකාර කළ සැටි හා එම ප්‍රතිකාර තුළින් සති තුන යන විට පීතා නම් මුස්ලිම් වෙළෙන්දා සුවය ලැබූ සැටිත්, ස්පිට්ල් මහතා තිසාහාමිගේ දිවි පෙවෙත අළලා ලියන ලද ‘මැකී ගිය දඩමං’ නමැති කෘතියේ වාර්තා කොට ඇත්තේ දේශීය වෙදකම පිළිබඳව මහත් ඉහළින් වර්ණනා කරමිනි.

දේශීය වෛද්‍යවරුන්ට වට්ටෝරු වෙද්දු යැයි කියමින් අවමං කිරීමට ඇතැම්හු කටයුතු කරති. දේශීය වෛද්‍යවරුන් සිදු කරන්නේ බේත් නියම කිරීම පමණක් නොව, බේත් නිපදවා ගැනීමද සිදු කිරීමය. බේත් වට්ටෝරුව හෙවත් බේත් ලැයිස්තුව ලියාදීමෙන් සිය වගකීම අවසන් කිරීම බටහිර වෙදකමෙහි ලක්ෂණයකි. බෙහෙත් නිපදවන්නේ ඖෂද සමාගම් විසිනි. බේත් නිපදවා ගෙන ප්‍රතිකාර කිරීමේ ශක්තිය නොමැති බටහිර වෛද්‍යවරුන් කරනුයේ රෝගය හඳුනාගැනීමෙත් ඊට සුදුසු බෙහෙත් ඖෂධය හෝ වෙළෙඳ නාමය ලියාදීමත් පමණි. එහෙයින් වට්ටෝරු වෙදා යනුවෙන් දේශීය වෛද්‍යවරුන්ට අවමං කිරීමට පෙර දෙවරක් සිතන ලෙස ආයාචනා කරමි.

රංජිත් ගුණවර්ධන