කතුවැකි

පෞද්ගලික දොස්තරලා කෝ?

කොරෝනා වසංගතය නිසා එදිනෙදා ජීවිතයේ ප්‍රමුඛතාවන් වෙනස්ව ගොස් වෙනදා අත්‍යවශ්‍යම යැයි සිතූ බොහෝ දේ තාවකාලිකව අමතක කරන්නට අපට සිදුව ඇත. එදිනෙදා ජීවිතයේ රැකියාව, අධ්‍යාපනය, ඥාති හිතමිතුරු සබඳතා, මොනවා අමතක කළත් ලෙඩ රෝග එසේ අමතක කරන්නට නොහැකිය. අපේ රටේ බෝ නොවන රෝගීන්ගේ සංඛ්‍යාව අති විශාලය. එසේම ලෙඩ රෝග ඇතිවන්නේ පූර්ව දැනුම් දීමකින් නොවන බැවින් කවුරුන් කොයි මොහොතේ රෝගියකු වන්නේ දැයි කිව නොහැකිය. කුඩා දරුවන් හා මැදිවිය ඉක්මවූවන් මේ අවදානමට ලක්වීමේ වැඩි සම්භාවිතාවක් තිබේ.

දිගුකාලීනව රෝගයන්ගෙන් පෙළෙන අයට මෙන්ම මෙලෙස හදිසියේ රෝගී වන අයට අවශ්‍ය ඖෂධ ලබාගැනීම තවමත් සතුටුදායක මට්ටමක නැත. ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ’ කියන්නා සේ මේ දුෂ්කරතාවට පත්ව සිටින අය බියෙන් තැති ගන්වන පුවතක් ඊයේ අප පුවත්පත වාර්තා කොට තිබිණ. ඉන් කියැවුණේ ආරක්ෂිත ඇඳුම් නොමැතිකම නිසා විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රතිකාර සේවාවන් අත්හැර දමන තත්ත්වයක් පවතින බවය.

විශේෂඥ වෛද්‍යවරුන් පමණක් නොව මේ වන විට හන්දියක් හන්දියක් ගානේ තිබූ ඩිස්පෙන්සරිද බොහොමයක් වැසී ගොසිනි. ඒ මදිවාට ඇතැම් එකක ‘රෝගීන් පරීක්ෂා කරනු නොලැබේ’ යැයි බෝඩ්ද එල්ලා ඇත. පවතින තත්ත්වය මත කිසිවක් සියයට සියයකින් කරන්නට නොහැකි බව සැබෑවකි. එහෙත් වෛද්‍ය සේවය යනු රටක අත්‍යවශ්‍ය සේවයකි. කොරෝනා රෝගය අපට මේ තරමින් හෝ මර්දනය කරගන්නට සිදුව ඇත්තේද අපේ වෛද්‍ය සේවයේ වෘත්තීයමය භාවය හා කැපවීම නිසාය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් කොරෝනා නොවන රෝගීන් සම්බන්ධයෙන් අපට ඇති වැඩපිළිවෙළ කුමක්ද?
කොරෝනාව අපට පහර දෙන තෙක් රජයේ වෛද්‍ය සේවයක් තිබෙන බව අප බොහෝ දෙනකුට මතක තිබුණේවත් නැත. ආණ්ඩුවේ රෝහලකට ගියේ වෙන කිසිවක්ම කර කියා ගත නොහැකි අසරණයන් පමණකි. අනිත් සියලු දෙනා බැරි බැරි ගාතේ හෝ ගියේ පෞද්ගලික රෝහල් වෙතය. නැතහොත් හන්දි ගාණේ තිබුණු පෞද්ගලික වෛද්‍ය සායන වෙතය. ඒ දිනවල රෝගීන්ගෙන් දහසින් බැඳි පියලිවලින් ගාස්තු අය කළ කිසිදු වෛද්‍යවරයකු අද සල්ලි නොව මුතු මැණික් දුන්නත් ලෙඩෙක් බලන්නට එන්නට සූදානම් නැත.

මෑත යුගයේ පිටරටකට ගොස් අම්මා තාත්තාගේ මුදලින් වෛද්‍ය උපාධිය ගත් දෙතුන් දෙනකු හැර තවමත් මේ රටේ වෛද්‍යවරුන්ගෙන් බහුතරය නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට වෛද්‍ය උපාධිය ලබා ගත්තෝ වෙති. මේ නිසා ඔවුන් ආණ්ඩුවේ රෝහලක සේවය කළත්, පෞද්ගලික රෝහලක සේවය කළත්, ජනතාවගෙන් මුදල් අය කළත් ජනතාවට ණයගැතියෝ වෙති. මේ නිසා ජනතාවට සේවය කිරීමට ඔවුන්ට වගකීමක් හා යුතුකමක්ද තිබේ.
මිනිසකුට උපත දෙන්නට සේම, ඔහුගේ මරණය ප්‍රමාද කරන්නට හැකි විස්මිත හැකියාවක් වෛද්‍යවරුන් සතුය. එහෙත් දැන් අපට දකින්නට ඇත්තේ අපේ ඇතැම් වෛද්‍යවරුන් ජනතාවගේ මරණය ප්‍රමාද කරන්නන් නොව මරණය ඉක්මන් කරන්නන් ලෙසය. පෞද්ගලික රෝහල්වල පමණක් නොව රජයේ රෝහල්වලද ඇතැම් වෛද්‍යවරුන් මේ දුෂ්කර මොහොතේ රෝගීන් පරීක්ෂාව මග හරිමින් සිටින්නේ යැයි වාර්තා වී තිබීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි.

එක් එක් රැකියාවන්ට ඊටම ආවේණික ප්‍රබලතා මෙන්ම දුබලතාද තිබේ. වෛද්‍ය වෘත්තිය අප සමාජයේ පමණක් නොව ඕනෑම සමාජයක ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වන්නා වූ වෘත්තියකි. එසේම විවිධාකාරයේ රෝගීන් සමග කටයුතු කිරීම නිසා වෙනත් වෘත්තියකට නැති අවදානමක්ද ඔවුන්ට තිබේ. ඒ අවදානමෙන් මිදී තම වෘත්තියේ නියැලෙන්නේ කෙසේ දැයි ඔවුන්ව විශේෂයෙන් පුහුණු කරන්නේද ඒ නිසාය. එවැනි පුහුණුවක් හා දැනුමක් ඇති වෛද්‍යවරුන් මේ තරම් බියට පත්ව සිටින්නේ නම්, එවැනි විශේෂ පුහුණුවක් නැති ආරක්ෂක අංශ සාමාජිකයන්, පොලිස් නිලධාරීන්, වෛද්‍ය හා හෙද නොව සෞඛ්‍ය සේවයේ අනෙකුත් සේවකයන් කොතරම් බියට පත්විය යුතුද? ඔවුන් එලෙස බියට පත්වූයේ නම් අද වන විට රටේ තත්ත්වය කුමක් විය හැකිව තිබුණි දැයි සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.

පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ යෙදෙන හා රජයේ සේවයේ සිටින අතර මුදලට බෙහෙත් දෙන වෛද්‍යවරුන් මේ පෙන්නුම් කරමින් සිටින්නේ තමන් රෝගීන් සමග කරන්නේ ගනුදෙනුවක් පමණක් බවද? කොරෝනා වසංගතය මැඩලීමට ආණ්ඩුව ගෙන යන සටනට පෞද්ගලික රෝහල් කිසිදු දායකත්වයක් නොදැක්වීමෙන් ඒ බව වඩාත් තහවුරු වනවා නොවේද? මේ අනුව, යම් හෙයකින් අප රටේ නිදහස් සෞඛ්‍ය සේවයක් යන්තමින් හෝ ඉතිරිව නොතිබුණේ නම් අප කාටත් සිදුවන්නේ දෙවියන් යදිමින් සුවසේ මිය යන්නට නොවේද?
මේ අවස්ථාවේ කිසිදු වෛද්‍යවරයකුට පෞද්ගලික රෝහලක හෝ වෛද්‍ය සායනයකට තම සේවාවෙන් බැහැරව සිටීමට ඉඩ නොදීම ආණ්ඩුවේ වගකීමකි. හදිසි තත්ත්වයන් යටතේ රටේ ඕනෑම සේවාවක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට ආණ්ඩුවට හැකියාවක් ඇත්නම් පෞද්ගලික වෛද්‍ය සේවයද එලෙස පවත්වාගෙන යන ලෙස නියෝග කිරීමට ආණ්ඩුවට හැකිවිය යුතුය. මේ අවස්ථාවේ සියල්ල දත්ලා සේද, ආණ්ඩුවේ උපදේශකයන් සේද පෙනී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටද මෙහිදී විශේෂ වගකීමක් තිබේ. ඒ නිසා මාධ්‍යයට වොයිස් කට් දීමට සීමා නොවී ඒ ගැනද සොයා බලන ලෙස අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටිමු.
බත් නැත්නම් පාන්ද, පානුත් නැත්නම් රොටිද, ඒත් නැත්නම් අල, බතල හෝ කා කුසගින්න නිවාගත හැකිය. නමුත් ලෙඩකට බෙහෙත් නියම කළ හැක්කේ වෛද්‍යවරයකුට පමණකි. මරණය ප්‍රමාද කළ හැක්කේ වෛද්‍ය උපදෙස් හා ඖෂධවලට පමණකි. වගකිව යුතු සියලු දෙනා මේ බව තේරුම් ගනු ඇතැයි සිතමු.