brand logo

පෝයදා නීති විරෝධීව පෙරු කසිප්පු අල්ලයි

23 November 2018

ගාල්ල සුරාබදු ස්ථානය හා ගාල්ල අක්මීමන විශේෂ කාර්ය බලකා කදවුර විසින් ඉල් මස පුන් පොහොය දින ඒකාබද්ධව සිදු කල වැටලීමකදී ගාල්ල හියාරේ රක්ෂිත වනාන්තරයේ පවත්වාගෙන යමින් තිබී මහපරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී නීති විරෝධී ලෙස පෙරන ලද කසිප්පු මිලි ලීටර් 40,000 ක්ද ගෝඩා මිලි ලීටර් 325,000 ක්ද කසිප්පු පෙරීමට උපයෝගි කරගන්නා ලද තහඩු බැරල් 4 ක්ද , තඹ දගර 2 ක්ද, ගැස් ලිප් 2 ක්, ගැස් ටැංකි ඇතුලු උපකරණද ඇමෝනියා, ඊස්ට් ආදියද අත්අඩංගුවට ගනු ලැබූ අතර අත් අඩංගුවට ගනු ලැබූ සියල්ලේ වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් පමණ වේ. මෙසේ පෙරණු ලබන කසිප්පු හියාරේ, අක්මීමන, පෝද්දල, බද්දෙගම, නාගොඩ යන ප්‍රදේශ වලට බෙදාහැරීමට සූදානම් කර තිබූ බව අනතුරුව කළ ප්‍රශ්ණ කිරීම් වලදී හෙලිවිය. අනතුරුව රුපියල් 100,000/- බැගින් සුරාබදු සහතික ඇප මත සැකකරු මුදාහැරුනු අතර ඔහුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදි නඩු පැවරීමට නියමිතය. හියාරේ රක්ෂිත වනයේ ඇතුලත ඉතා සූක්ෂම අන්දමින් පවත්වාගෙන ගොස් තිබූ මෙම කසිප්පු නිශ්පාදනාගාරය වැටලීම සදහා නිළධාරීන් ඉතා අපහසුවෙන් එම ස්ථානයට ලගාවූ අතර එහිදී එම නිළධාරීන්ට දැකගත හැකිවූයේ එක් පුද්ගලයකු විසින් රක්ෂිතය මැද ගෑස් ලිප් 2 ක් උපයෝගී කරගනිමින් කසිප්පු වඩි 2 ක් පෙරණ ආකාරයයි. මෙසේ එක් පුද්ගලයකු පමණක් විසින් කසිප්පු වඩි 2 ක් පෙරමින් සිටියදී අත් අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව බව වැටලීමට සහභාගී වූ නිළධාරියකු පැවසීය. හියාරේ ජලාශය හියාරේ ජෙව විවිධත්ව රක්ෂිතය තුල පිහිටා ඇති අතර එය ගාල්ල නගරයට පානීය ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය වේ. හියාරේ ජලාශයට වැටෙන ඇල මාර්ග අසල මෙම කසිප්පු නිශ්පාදනාගාර පවත්වාගෙන ගොස් තිබූ අතර පෙරීමෙන් පසු ඉතිරිවන උණු ගෝඩා එම ඇල මාර්ග වලට හැලීම නිසා වටිනා සම්පතක් වන හියාරේ ජලාශය අපවිත්‍රවීමේ හා එහි වෙසෙන ස්භාවික මත්ස්‍ය සම්පත විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවට ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පැවසීය.
 

More News..