විශේෂාංග

පෝට් සිටියට රටේ මූලික නීතිය අභිබවා යන්න බෑ

පෝට් සිටියට රටේ මූලික නීතිය අභිබවා යන්න බෑ

Thulci Aluwihare - Head of Strategy & Business Development - CHEC Port City Colombo (Pvt) Ltd | LinkedIn

පෝට්සිටි විශේෂ ආර්ථික කලාපය පිළිබඳ මේ දිනවල කතාබහට ලක්වේ. පෝට්සිටි විශේෂ ආර්ථික කලාපය යනු කුමක්ද? යන්න පිළිබඳව එහි අරමුණ කුමක්ද යන්න පිළිබදව CHEC පෝට් සිටි කොලොම්බෝ(පෞද්:) සමාගම සහකාර කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ සමග පැවැති සංවාදයකි මේ

 

මොකක්ද මේ පෝට්සිටි විශේෂ ආර්ථික කලාපය කියල කියන්නේ?

මෙතන කලින් භූමියක් තිබුණේ නැහැ. දැන් භුමිය ගොඩකරලා ඊට අවශ්‍ය යටිතල පහසුකම් ජාත්‍යන්තර මට්ටමින් ලබාදෙන ආයෝජනය ඩොලර් බිලියන එකයි දශම හතරයි. චීන ව්‍යාපෘති සමාගම විසින් එම මුදලින් බිලියන එකක් දැනටමත් යොදවල ඉවරයි. ඒක ණයක් නෙමෙයි. සෘජු ආයෝජනයක්. මේ වසර අවසන් වෙනකොට එහි බොහෝ යටිතල පහසුකම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙයට වෙන්කරලා තියෙන හෙක්ටයාර දෙසිය හැට නවයෙන් හෙක්ටයාර සියයක් දේශීය හා විදේශීය ආයෝජකයන් සඳහා වෙන් කරලා තියෙනවා.

මෙහි ප්‍රධාන අරමුණු වෙන්නේ විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම, විදෙස් රටවලට විවිධ සේවා මෙම කලාපයේ සිට ලබා දීමෙන් සේවා අපනයනය ප්‍රවර්ධනය කිරීම සහ සමස්තයක් ලෙස ඕනෑම ව්‍යාපාර කටයුත්තක් පහසුවෙන් හා කාර්යක්ෂමව කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම. අපි කවුරුත් දන්නා ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාප, නැතිනම් නිදහස් වෙළෙඳ කලාපයට වඩා මෙහි විශාල වෙනසක් නැහැ. ආයෝජන මණ්ඩල කලාප තුළ පිහිටුවන සමාගම්වලට විශේෂ ප්‍රතිලාභ ලබා දෙමින් පරිපාලන බලය තියෙන නිෂ්පාදන හා කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කළ පරිදිම පෝට්සිටි කලාපය මූල්‍ය හා සේවා සඳහා ප්‍රමුඛතාව ලබා දෙනවා.

මේ සංකල්පය ශ්‍රී ලංකාවට ආගන්තුකයි. ලෝකයේ වෙනත් කුමන ස්ථානවලද මෙවැනි ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙන්නේ?

පෝට් සිටි විශේෂ ආර්ථික කලාපය කියන්නේ ශ්‍රී ලංකාවේ පළමු වාණිජ හා මූල්‍ය සේවා සඳහාම කැපවුණු දකුණු ආසියාව අරමුණු කරගත්ත කලාපයක්. මේ සංකල්පය ශ්‍රී ලංකාවට තරමක් නුහුරු වුණත් ලෝකයේ බොහෝ රටවල් වේගවත් ආර්ථික සංවර්ධනය සඳහා මේ යාන්ත්‍රණය අනුගමනය කර තිබෙනවා. මැදපෙරදිග කටාර්,ඩුබායි,අබුඩාබි වගේ තැන්වල මෙවැනි ආයෝජන කලාප තියෙනවා. ආසියාව ගත්තොත්,ඉන්දියාවේ මේ වගේ කලාප තුන්සියකට වඩා තියෙනවා. නැගෙනහිර ආසියාවේ, සිංගප්පුරුවේ මුළු රටම මෙම සංකල්පයට අනුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

Colombo Port City Turns Into Belt & Road Initiative Cash Cow For Investors - Silk Road Briefing

පෝට් සිටිය තුළ ව්‍යාපාර කරන්නේ කවුද? මොන වගේ ව්‍යාපාර හා සේවා මේ තුළ ඇති වෙයිද?

චීනය විසින් ඉදිකළාට ඕනෑම දේශීය හෝ විදේශීය ආයෝජකයකුට මෙහි ආයෝජනය කරන්න පුළුවන්. නමුත් ලංකාවේ පිහිටීම අනුව ඉන්දියාවෙන්,මැද පෙරදිග රටවලින්. සිංගප්පුරුවෙන් සහ චීනයෙන් තමයි මෙහි මූලික වෙළෙඳපොළ අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් එක්සත් ජනපදයට හෝ වෙනත් රටකට මෙහි ආයෝජන කරන්න කිසිම බාධාවක් නැහැ. ප්‍රධාන වශයෙන්ම මූල්‍ය හා සේවා කේෂ්ත්‍ර ව්‍යාපාර පෝට්සිටිය තුළ බිහි වෙයි. උදාහරණ ලෙස අක්වෙරළ මූල්‍ය සේවා එනම් ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය සේවා ආයතන හා බැඳුණු ක්‍රියාවලියක්. මීට අමතරව ශ්‍රී ලාංකිකයන්ට හුරුපුරුදු තොරතුරු තාක්ෂණ සේවා, නාවික සහ සැපයුම් සේවා, ගෝලීය ආයතනවල කලාපීය මූලස්ථාන මෙන්ම, සංචාරක හා විවිධ වෘත්තීය සේවාත් පෝට්සිටිය තුළ අනාගතයේදී බිහි වෙයි.

මොකක්ද මේ පෝට්සිටි ආර්ථික කොමිෂන් සභාව කියන්නෙ?

මෙහි පළමු අරමුණ තමයි ශීඝ්‍ර ආර්ථික වර්ධනය. වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් කරන්නේ වරාය නගරය තුළ සියලුම ක්‍රියාකාරකම් පරිපාලනය, කළමනාකරණය සහ නියාමනය කිරීම. ඒ වගේම පෝට්සිටිය තුළ ව්‍යාපාර හෝ සේවා සැපයීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමත් මෙම කොමිසමෙන් සිදු කරනවා. වරාය නගරය තුළ ව්‍යාපාරයක් කිරීමට මෙම කොමිසමෙන් බලපත්‍රයක් ලබාගත යුතුයි. එය ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් පහකට නොඅඩු හා සාමාජිකයන් හතකට නොවැඩි ගණනකින් සමන්විත වෙනවා. ආයෝජන, මූල්‍ය, නීතිය, තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු, ව්‍යාපාර හෝ ගණකාධිකරණය පිළිබඳ දැනුම, විශේෂතාව සහ පළපුරුද්ද සහිතවූවන් කොමිෂන් සභාවේ සාමාජිකයන් වෙයි කියලා අපේක්ෂා කරනවා.

මේ කොමිෂන් සභාවට විශාල බලතල ප්‍රමාණයක් ලබාදීමට යෝජනාවී තිබෙනවා. එතරම් බලතල මේ කොමිසමට අවශ්‍ය ඇයි? විවේචකයන් කියන්නේ මෙයට රටේ නීතිය ඉක්මවා කටයුතු කළ හැකි බවයි?

විශේෂ ආර්ථික කලාපයක් සාර්ථක වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ ආර්ථික හා පරිපාලන නිදහසයි. ලෝක බැංකුවේ දත්තවලට අනුව ‘ව්‍යාපාර කිරීමේ පහසු පරිසරය දැක්වෙන දර්ශකයේ’ ශ්‍රී ලංකාව දෙදාස් පහළොවේදී සිට රැඳී සිටින්නේ රටවල් එකසිය හැටකින් අනූ නව වන ස්ථානයේ. නමුත් බොහෝ කලාපීය රටවල් ව්‍යාපාරවලට හිතකර පරිසරයක් ඇතිකර දෙමින් මේ දර්ශකයේ ඉදිරියට එමින් සිටිනවා. දෙදාස් පහළොවේදී එකසිය තිස්වන ස්ථානයේ සිටි ඉන්දියාව මේ වන විට හැට තුන්වන ස්ථානය දක්වා ඉදිරියට එමින් ව්‍යාපාර කටයුතු සිදු කිරීමට හැකි පහසුකම් දියුණු කර තිබෙනවා. විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී අප මුහුණ දෙන ප්‍රබලම ගැටලුව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හෝ පවත්වාගෙන යාමේදී විවිධ රජයේ ආයතනවලින් ලබාගත යුතු විවිධ අනුමැතීන් හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් හෝ ඇතැම් විටක විදේශ ආයෝජකයා අධෛර්යට පත්ව හැරී යාමයි. ඒ හේතුවෙන් එවැනි බාධක වළක්වා ගන්න, මෙවැනි කොමිෂන් සභාවක් වැනි බලවත් තනි ආයතනයක අවශ්‍යතාව සාර්ථක ආර්ථික කලාපයක් සඳහා අත්‍යවශ්‍යයි. එය දේශීය වේවා විදේශීය වේවා සියලු ආයෝජකයන් අපේක්ෂා කරන දෙයක්. විධිමත් හා විනිවිද පෙනෙන ව්‍යාපාර ආරම්භ කිරීමේ හා පවත්වාගෙන යාමේ ක්‍රියාවලියක් මගින් ආයෝජකයන්ට පිරිවැය අඩු කරගන්න පුළුවන් වගේම නාස්තිය හා දූෂණයද නැති කර ගන්න පුළුවන්.

මෙම කොමිෂන් සභාව පිහිටුවීමට සකස් කර ඇති පනත් කෙටුම්පත ඔස්සේ කිසිදු ආකාරයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බවට නීතිපතිවරයා විසින් සහතිකයක් ලබාදීලා තියෙනවා. ඒ වගේම මෙම පනත් කෙටුම්පත විධායකයට,ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට යටත්. මෙම කොමිසම විසින් සකස් කරන සියලුම රෙගුලාසි පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරලා සම්මත කරගත යුතුයි. ඒ වගේම වාර්ෂික වාර්තාවකුත් කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. කොමිෂන් සභාව උපයන ආදායම රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුයි.

Sri Lanka's mega $1.4 bln Port City project ready to be marketed to investors – NewsIn.Asia

වරාය නගරයේ ආරම්භ කරන ව්‍යාපාරවලට වරාය,ගුවන් තොටුපොළ,රේගු,වැට්,ආදායම් මත,අපනයන සංවර්ධන,කැසිනෝ ඇතුළු බදු වර්ග රැසක සහන ලබාදීමට යෝජනා කර තිබෙනවා. ඒ කියන්නේ මෙම බදුවලට අදාළ පනත් සමග මෙහිදී ගැටීමක් ඇති වෙනවා?

රටට යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට ඕනෑම ව්‍යාපාරයක් පිළිබඳව ආර්ථික කොමිෂන් සභාවෙන් තහවුරු කළ යුතුයි. ඒවාට බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කොමිසම තීරණය කළාට එම තීරණ පාර්ලිමේන්තුවට යොමු කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුවයි ක්‍රියාත්මක වෙන්නේ. කොමිෂන් සභාවට නිර්දේශ ඉදිරිපත් කිරීම පමණයි සිදුකළ හැක්කේ.

නාගරික සංවර්ධන වගේම නගර සභා ආඥා පනත්වලටත් වරාය නගරය යටත් වෙන්නේ නැහැ නේද?

ව්‍යාපාරවලට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට කොමිෂන් සභාවට බලය තිබිය යුතුයි. අපේ නිදහස් වෙළෙඳ කලාප පටන්ගත්තේ එක්දාස් නවසිය හැත්තෑව දශකයේ කටුනායකින්. නිදහස් වෙළෙඳ කලාප කළමනාකරණය කරන්නේ ආයෝජන මණ්ඩලයෙන්. අවුරුදු දහය,පහළොව,විස්ස වශයෙන් බදු නිදහස් කිරීම් ලබාදෙන්නේ ආයෝජන මණ්ඩලයෙන්. වෙළෙඳ කලාපවල සියලුම නගර සභා වැඩ කරන්නෙත් ආයෝජන මණ්ඩලය විසින්. දැන් අපිට ඒ වගේ වෙළෙඳ කලාප විස්සක් විතර තියෙනවා. එක්දාස් නවසිය හැත්තෑ නවයේ විවෘත්ත ආර්ථිකයත් එක්ක ආපු සංකල්පයක් තමයි මේ වෙළෙඳ කලාප. ආසියාවේ පළමු වරට අපි තමයි අපනයනය සඳහා මේ සංකල්පය ක්‍රියාත්මක කළේ. දැන් අවුරුදු හතළිස් පහක් ගතවෙලත් අපි එතනින් එහාට වර්ධනය වෙලා නැහැ. අපේ ආර්ථිකයේ සීයට හැටක් තියෙන්නේ සේවාවන්. සේවා ප්‍රමුඛ කරගත් ආර්ථිකයක් අපිට තියෙන්නේ. නමුත් සේවා වර්ධනය කිරීමට අපි කටයුතු කරලා නැහැ. අන්තිම අවුරුදු දහයේදී අපි කොපමණ ආයෝජන ගෙනත් තියෙනවද කියල බලන්නකෝ. ඉස්සර අපි මේකට දුන්නු උත්තරේ තමයි යුද්ධය. අවුරුදු තිහක් යුද්දෙ තිබුණු නිසා ආයෝජන මදි කියල කිව්වා. නමුත් දැන් යුද්දෙ ඉවර වෙලා අවුරුදු දහයකට වැඩියි. ඉස්සර කරපු දේම කරලා වෙනස් උත්තරයක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්න බැහැ. මෙහෙම විශේෂ කලාපයකින් කරන්නේ විදේශිකයන්ට සරිලන පරිසරයක් නිර්මාණය කරන එක.

මේක රටේ ආර්ථිකය වැඩි දියුණු කිරීමට,රැකියා අවස්ථා ඇති කිරීමට,විදේශ විනිමය රට තුළට ගලා ඒම ශීඝ්‍ර කරවීමට මෙය ඉතා වැදගත්. අපේ අපනයනයෙන් වැඩි ප්‍රමාණයක් පදනම් වෙලා තියෙන්නේ භාණ්ඩ මත. නමුත් අපි සේවා අපනයනය ප්‍රවර්ධනය කළ යුතුයි. වරාය නගරයට පමණක් නෙමෙයි රටේ අනෙක් ව්‍යාපාරවලටත් මේක ඉතාම වැදගත්.

වරාය නගර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වූ පසු වාර්ෂිකව රටට කොපමණ ආදායමක් ගලා ඒවිද?

මීට මාස හයකට විතර කලින් අපි වෙනම සුදුසුකම්ලත් ආයතනයක් හරහා මෙමගින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ තක්සේරු කිරීමක් සිදුකළා. එම ආයතනයේ වාර්තාවට අනුව මෙහි සම්පූර්ණ මෙහෙයුම් කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට එකොළහක දායකත්වයක් ලැබීමට නියමිතයි. ඒ වගේම සෘජු රැකියා එක් ලක්ෂ තිස් දහසක් මෙමගින් නිර්මාණය වෙනවා. අද මිලට අනුව මෙහි සියලු ගොඩනැගිලි ඉදිකිරීමෙන් අනතුරුව ඒවායේ වටිනාකම ඩොලර් බිලියන පහළොවක්.

The Top 10 Winning Techniques for Successful Interviews

ඔබ කියූ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන්නේ යම් කෝටාවකට අනුවද?

දැනට එහෙම කෝටාවක් ගැන යෝජනාවී නැහැ. මෙරටට එන විදේශිකයන් කොහොමත් බලාපොරොත්තු වෙන්නේ ඉහළ වටිනාකමක් සහිත කළමනාකරණ මට්ටමේ රැකියා. මොකද අවශ්‍ය දැනුම තිබිය යුතුයි. අපේ රටේ ගෙවන ගණන්වලට සිගප්පුරුවෙන්,ඉන්දියාවෙන් එයි කියල හිතන්න අමාරුයි. හැබැයි එහෙම දෙයක් නිසා ශ්‍රී ලාංකිකයන්ට යම් තර්ජනයක් තියෙනවා නම් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන කොමිසමට එවැනි කෝටාවක් ගේන්න පුළුවන්. මෙහෙ ස්ථාපිත කරන බහු ජාතික සමාගම්වල ඉහළ තනතුරු විදේශිකයන් විසින් දරන්න පුළුවන්. නමුත් ඉන් එහාට තියෙන තනතුරුවලට දැනුම තියෙන ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම සිදුවෙයි. දැනුම හුවමාරු කිරීමක් සිද්ද වෙයි. ශ්‍රී ලාංකිකයෙක් එවැනි තනතුරකට දාන එක ඔවුන්ට ලාභ විකල්පයක්. ඒ විදිහට ක්‍රියාත්මක සමාගම් දැනටත් රටේ තියෙනවා. විදේශීය වශයෙන් තරග කිරීමට හැකි ශ්‍රමිකයන් පිරිසක් ඉන් බිහිවෙනවා. ඒ වගේම බුද්ධිගලනය අඩුවෙනවා.

වරාය නගර කලාපයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ ඩොලර් වලින් නේද? ඒ වගේම ඔවුන්ට අාදායම් බදු සහනත් හිමිවෙනවා?

ඔව්.මෙතන පිහිටුවන්නේ අක්වෙරළ සමාගම්. ඒ කියන්නේ විදේශ විනිමය උපයන සමාගම්. සමාගම් විදේශ විනිමය උපයන නිසා තමයි සේවකයන්ටත් විදේශ විනිමයෙන්ම වැටුප් ගෙවීම් සිදුකරන්නේ. අපේ කලාපයේ බොහෝ සමාගම් වරාය නගරය කලාපීය මෙහෙයුම් මධ්‍යස්ථානයක් විදිහට පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේක නිදහස් කලාපයක් නිසා පනතට අනුව විදේශ විනිමය උපයන සමාගම් සිදු කෙරෙන ගෙවීම් ආදායම් බද්දෙන් නිදහස් කිරීම තමයි මෙහි අදහස.

එතකොට මෙහි ඉදිවන ව්‍යාපාරික ස්ථාන සමග ශ්‍රී ලාංකිකයන්ට ගනුදෙනු කිරීමට සිදුවන මුදල් මාධ්‍යය වෙන්නෙත් ඩොලර්ද?

පනතේ තිස්නව වන වගන්තිය අනුව ශ්‍රී ලාංකිකයන්ට වරාය නගරය තුළ ශ්‍රී ලංකා රුපියල්වලින් භාණ්ඩ මිලදී ගැනීම් ඇතුළු ගනුදෙනු කිසිදු ගැටලුවකින් තොරව සිදුකරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ට වගේම ශ්‍රී ලංකික සමාගම්වලටත් මෙහි භුමිය වගේම නිවාසත් රුපියල්වලින් මිලදී ගැනීම් සිදුකරන්න පුළුවන්.

CHEC Port City Colombo (Pvt) Ltd - Sri Lanka | Press

වරාය නගරයෙන් මිලදී ගන්නා භාණ්ඩ වෙනුවෙන් පිටවීමේ බද්දක් අයකරන්න යෝජනා කර තිබෙනවා. එමගින් මිලේ වෙනසක් සිදුවෙන්න පුළුවන් නේද?

වරාය නගරය තුළ තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වෙළෙඳ සංකීර්ණ තියෙනවා. හරියට ගුවන් තොටුපොළේ වගේ. මේ පහසුකම දෙන්නේ විදේශිකයන්ට. ශ්‍රී ලාංකිකයන්ටත් මේ විදිහට බදු රහිතව භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. නමුත් එතැනදී ඇතිවන මිලේ වෙනස නැවත සකස් කරන්න තමයි එවැනි බද්දක් අයකරන්නේ. රටේ වෙනත් තැනක රුපියල් දාහට විකුණන දෙයක් වරාය නගරය ඇතුළේ පන්සීයට විකුණන්න බැහැනේ.

මෙහිදී බදු සහන ඇතුළු සියලු පහසුකම් ලබාගන්නා සමාගම්වලට එම පහසුකම් සහිතව රටේ වෙනත් ස්ථානවල සිටත් ව්‍යාපාර කටයුතුවල නිරත වෙන්න පුළුවන්ද?

එ්ක කරන්න බැහැ. නමුත් මේ පනත සම්මත වීමෙන් පසු පළවෙනි අවුරුදු පහේදී වරාය නගරය තුළ ව්‍යාපාර කටයුතු කරන්න පහසුකම් නැහැනේ. ඒ නිසා වරාය නගරය තුළ ක්‍රියාත්මක ව්‍යාපාරවලට පළමු වසර පහ ඇතුළත රටේ ඕනෑම තැනක ඉඳගෙන මේ බදු සහන සහිතව ව්‍යාපාර කටයුතුවල නිරත වෙන්න පුළුවන්. අවුරුදු පහක කාලයෙන් පස්සේ ඔවුන් වරාය නගරය තුළට පැමිණිය යුතුයි. අපේ සංවර්ධන සැලසුමට අනුව වසර පහක් ගතවෙනකොට මෙතන ව්‍යාපාරික කටයුතුවල නිරතවෙන්න පහසුකම් සලසන්න බලාපොරොත්තු වෙනවා. පළමු ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට ප්‍රථම ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

වරාය නගරයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අවම ආයෝජන සීමාවක් පවතිනවාද?

පනතේ එහෙම සඳහනක් නැහැ. නමුත් පනත සම්මත වුණායින් පස්සෙ ආයෝජනය කරන ප්‍රමාණය අනුව බදු නිදහස් කිරීම් කොපමණ ලබාදෙනවද කියන එක ගැන රෙගුලාසි නිකුත් කරයි. ඒක මාර්ගෝපදේශයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට විදේශීය ආයෝජකයන්ට පුළුවන් ලංකාවට එන්න කලින් තමන් ආයෝජනය කළ යුතු ප්‍රමාණය,ලැබෙන බදු සහන සහ කොන්දේසි පිළිබඳව දැනගන්න.

•නයන තරංග ගමගේ