අතන මෙතන

පොහොට්ටු රැස්වීමේ මඟුලක් කතා කරලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දිනවල ගම් මට්ටමේ පක්ෂ සංවිධාන කටයුතු අරඹා ඇත්තේ ගම සමඟ පිළිසඳරක් යන තේමාව ඔස්සේය. ගම සමඟ පිළිසඳරක් සමඟ දිස්ත්‍රික් මට්ටමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහන් අරඹන්නේ නිසාය.

මෙම වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් හමුව පැවැත්වුණේ පසුගිය සඳුදාය. ගම්පහ සාකච්ඡාව ප්‍රමාද වූයේ ප්‍රසන්න පසුගිය දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටීම හේතුවෙනි. ප්‍රසන්න මෙරටට ආවේ සිකුරාදාය. ඒ අනුව සඳුදා නෙළුම් මාවත කාර්යාලයේ දී ගම්පහ දිස්ත්‍රික් මහජන නියෝජිතයන්ගේ සාකච්ඡාව පැවැත්විණි.

සාකච්ඡාවට සහභාගී වීමට ආ ප්‍රසන්න දුටු බැසිල් පුදුම වූයේ ප්‍රසන්නගේ කොණ්ඩය දැකීමෙනි.
”මොකද ප්‍රසන්න කොණ්ඩෙට වුණේ? බැසිල් ඇසුවේය.
”අපි සර් තිරුපති ගියානේ” උත්තර දුන්නේ රණවීරය.
”ඡන්දයක්වත් නැතුව මොකද දෙන්නම එකපාරටම තිරුපති ගියේ? ඡන්දයක් තිබ්බත් දෙන්නා දෙන්නා තිරුපති යන්නේ නැහැනේ, තනියම යනවා මිසක්” බැසිල් පැවසීය.

”එහෙම එකක් නෑ සර්. අපේ දිස්ත්‍රික්කෙ මනාප ප්‍රශ්න නැහැනේ. පොහොට්ටුවෙන් කවුරු ඉල්ලුවත් දිනනවා” ප්‍රසන්න උත්තර දුන්නේය.
”ඒක හරි, ප්‍රසන්න ඉතින් ගම්පහ ගාණට රන් කරනවානේ” බැසිල් පැවසීය.
”අපි ගම්පහ වැඩ කරන්නේ අමුතු ක්‍රමයකට. මම නායකයා වුණත් හැමෝම එක්ක මාත් දිස්ත්‍රික්කයේම සංවිධාන කටයුතුවලට මහන්සි වෙනවා. හැමෝගෙම උදව් නැතිව මේ ගමන යන්න බැහැ” ප්‍රසන්න පැවසීය.
”ඒක හරි. හොඳ නායකයෙක් වුණාම එහෙම තමයි” බැසිල් කීවේය.

අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයේ සාකච්ඡාව ආරම්භ කෙරුණු අතර දිස්ත්‍රික්කයේ සෑම කොට්ඨාසයකම සාමාජිකයන් බඳවා ගැනීමේ ප්‍රගතිය බැසිල් සොයා බැලුවේය. සාමාජිකයන් බඳවා ගැනීමේ අඩුපාඩු සම්බන්ධයෙන් වගකියන්නට සිදුව තිබුණේ ඒවා භාරව සිටින සංවිධායකයන් වෙතය. ගම්පහ එක් කොට්ඨාසයක සාමාජිකයන් බඳවා ගැනීමේ අඩුවක් දුටු බැසිල් ඒ ගැන ප්‍රශ්න කළේ එම කොට්ඨාසය භාරව සිටින රංජිත් ගුණවර්ධනගෙනි.
”සර් මේ කොට්ඨාසයට අලුතෙන් පත් වෙලා ඉන්නේ තරුණ ගෑනු ළමයෙක්. එයාට තවම තේරුමක් නැහැ. ඒ නිසා අපි හිතාගෙන ඉන්නේ ලබන සතියේ බන්දලා දෙන්න” රංජිත් පැවසීය.

”ඒ ළමයා බන්දලා දෙන්න රංජිත්ලා මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔයාලා ගිහින් සාමාජිකයන් බඳවා ගන්න උදව් කරන්න” බැසිල් කීවේ සිනාසෙමිනි.
”ඔව් සර් ළමයා බන්දලා දෙන්න නෙමේ සාමාජිකයන් බන්දලා දෙන්න කියලා තමයි මම කිව්වේ” රංජිත් කීවේ සැමගේ සිනා මැදය.
ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණෙන් බවට යෝජනාවක් ද මෙහිදී සම්මත කෙරිණි. යෝජනාව ඉදිරිපත් කළේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ලය. ස්ථිර කළේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාරය. යෝජනාව සම්මත වීමෙන් පසු ඒ ගැන බැසිල් අදහස් දැක්වීය.

”ඔයාලා කලබල වෙන්න එපා. මටත් වුවමනාවක් තියෙනවා පොහොට්ටුවෙන් තරග කරන එක ගැන. මෙච්චර අමාරුවෙන් හදපු පක්ෂය විනාශ වෙන්න ඉඩ තියන්න බැහැ. ඒ නිසා ලබන වතාවේ පත් වෙන ජනාධිපතිවරයා නිසැකවම පොහොට්ටුවේ සාමාජිකයෙක් කියලා මතක තියා ගන්න” බැසිල් කීවේ සැමගේ අත්පොළසන් හඬ මැදය.