විශේෂාංග

පොල් මුදලාලිට එලොව පොල් පෙනෙන පොල් මිල

නිවසේ ඉදෙන සෑම වැංජන තුනෙන් එකකට හෝ පොල් කිරි දැමීම ශ්‍රී ලංකික ගෘහණියන්ගේ සිරිතකි. ඒ නිසාම පොල් ගෙඩියේ ගණන් අඩු වැඩි වන විට ගෙදර ගෘහණියගේ සේම රැකියාවේ නියුතු ස්වාමියාගේ ද මුදල් පසුම්බියට දැනෙන්නේ පොල් ගෙඩි 12ක් 15ක් තරම් බරක් උසුලාගෙන යෑමක් වැනිය. නමුත්, මේ දිනවල නම් ඔවුන්ගේ මුදල් පසුම්බියේ බර සැහැල්ලු වී ගොස්ය. ඒ පොල් ගෙඩිය මේ දිනවල සාමාන්‍ය ජනයාට සහන ලබා දෙමින් සිටින නිසාය.

නමුත්, සාමාන්‍ය ජනයාට සහන දී තිබෙන පොල් ගෙඩිය මේ දිනවල පොල් මුදලාලිගේ ගැරහුමට ලක් වෙමින් සිටියි. එයට හේතුව වන්නේ ඔවුන්ගේ මුදල් පසුම්බිය තුළ හිලක් සෑදීමට මේ පොල් ගෙඩිය සමත් වීමයි.

දැන් මාස කිහිපයකම සිට පොල් ගෙඩිය අලෙවි වන්නේ රුපියල් 20ක් හෝ 22ක් අතර මුදලකටය. මේ මිල හේතුවෙන් පොල් වගාකරුවන් ලබන්නේ විශාල පාඩුවකි. මුදලාලිලා වාසි ලබනවා සේම පොල් වගාකරුවන්ද ලබන්නේ විශාල පාඩුවකි. මේ පාඩුව වෙනුවෙන් තොග මුදලාලිලා සිදු කරන්නේ සීනිගම දේවාලයට ගොස් පොල් ගැසීමයි. එලෙස පොල් ගැසුවේ මුහුදින් ගව් ගණනක් දුරින් සිටින මෙහි වගකිවයුත්තා වූ පිලිපීනයටයි.

මේ පිලිපීනය ලංකාවේ පොල් වගාව සමග සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න ඔබට පැන නගින ගැටලුවයි. ලෝකයටම පොල් අයියා වූ ලංකාව, ජර්මනිය, ජපානය, පාකිස්තානය හා සයිප්‍රසය යන රටවල්වලට අමතරව තවත් මැදපෙරදිග රටවල් කිහිපයකටම හා යුරෝපයේ රටවල් කිහිපයකටම පොල් අපනයනය කරනු ලබයි. අපේ කතාවේ එක් පුරුකක් වන පිලිපීනය අප සමග තරගයට එන්නේ 1927 වසරේ සිටය. නමුත් ලංකාව නම් පොල් අයියාට මේ පොල් මල්ලී තරගයක් වුණේ නැත. ඒ ලෝකයේ හොඳම පොල් ලංකාව සතුවීම නිසායි. මේ හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් අපගෙන් පොල් ආනයනය කිරීමට කැමැත්තක් දැක්වූහ.

පොල් වගාවේ ලොකු අයියා මෙලෙස පහතට ඇද දැමීමට පිලිපීනය නම් පොඩි මල්ලී පටන් ගත්තේ 2018 වසරේ දී ය. එම වසරේ නියඟය නිසා අහිමි වූ දිසිදි පොල් සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා පිලිපීනයෙන් පොල් මද ආනයනය කිරීමට ලංකාවට සිදු විය. එසේ ලැබෙන පොල් මද දිසිදි පොල් බවට පත් කර ලංකාවෙන් ප්‍රතිඅපනයනය කිරීමට සිදුවිය. නමුත්, මේ ක්‍රියාවලියේදී ලංකා ව්‍යාපාරිකයා වංචා සහගත කාර්යයක යෙදුණේය. දේශීය වෙළෙන්දාගෙන් ගන්නා දීසිදි පොල්වලට වඩා පිලිපීනයෙන් ආනයනය කරන පොල් මදවල මිල පැවතුණේ පහළ මට්ටමකය. ඒ නිසාම පිලිපීනයෙන් ආනයනය කරන පොල් මද හා දේශීය දිසිදි පොල් මිශ්‍ර කොට අපනයනය කිරීමට ඔවුන් පෙළඹුණි. මේ ක්‍රමය නිසා 2018 දී විශාල වාසියක් හිමිකර ගත් ඔවුන් පසුවටත් මෙලෙසම සිදු කිරීම පුරුද්දක් කර ගත්තේය.

‘‘අපි විඳින මේ වේදනාවට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ පිලිපීනෙන් පොල් මද ආනයනය කරපු අය. ඒ අය පසුගිය අවුරුද්දේ ඉඳන්ම මේ විදිහට පොල් මද ආනයනය කරලා දේශීය දීසිදි පොල් සමග කවලම් කළා. ඒකෙන් වුණේ කලින් අපි යවපු දිසිදි පොල්වල තිබුණු ගුණාත්මක තත්ත්වය මේ දිසිදී පොල්වල නොතිබුණු එකයි. ඒ නිසයි අපි දිසිදි පොල් අපනයනය කරන රටවල් දැන් අපේ දිසිදි පොල් ගන්න බැහැ කියනවා.”

මේ පිළිබඳව පොල් සහ පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරක සංජීව කරුණාසාගර පවසන්නේ මෙහි සම්පූර්ණ වගකීම පිලිපීනයෙන් පොල් මද ආනයනය කළ පුද්ගලයන් භාරගත යුතු බවයි.

‘‘අපිට දැන් පොල් අලෙවි කරන්න වෙලා තියෙන්නේ රුපියල් 20ක් හෝ 22ක් වගේ මුදලකට. මේ වගේ අඩු මුදලකට පොල් අලෙවි කරන එකෙන් අපිට නිෂ්පාදන පිරිවැයවත් හොයා ගන්න බැරුව ඉන්නේ. මේ සුළු ඉඩම් හිමියෝ වගේම අක්කර 10 වඩා ඉඩම් තියෙන පොල් වගාකරුවොත් මේ නිසා දැඩි අපහසුතාවට පත්වෙලා ඉන්නේ.’’

මේ වන විට නියඟයක් නොමැති බැවින් රටට ඇතිවෙන්නට පොල් නිෂ්පාදනය කෙරී ඇත. ඉල්ලුමට සරිලන ප්‍රමාණයටත් වඩා පොල් දැන් වෙළෙඳපොළට ඇවිත්ය. එහෙත් එදා මෙන් විදේශ රටවල් අපේ පොල් මිලදී නොගන්නා නිසා පොල් අතිරික්තයක් වෙළෙඳපොළේ ඇත්තේය. ඒ නිසාය පොල් දැන් ලාභ.

ලංකාව දිසිදි පොල් අපනයනයෙන් ප්‍රතික්ෂේපවීමේ හේතු කරණා සියල්ලම එළිපිට තිබියදීත් රෑ වැටුණු වළේ දවල් වැටෙන්නට පොල් අපනයන සමාගම් සූදානම් වේ. ඔවුන්ගේ මේ බළල් ගමනේ අවසානය අධි ලාභය නමැති කිරි වීදුරුවට ඉව ඇල්ලීම බව පොල් සහ පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ සංවිධානයේ සාමාජික කැනින් ඇන්තනි පවසයි.

‘‘අපි හිතන විදිහට ගිය අවුරුද්දේ නියඟය නිසා පොල් මද සැපයුම යම්තාක් දුරකට අඩුවුණා. එත් මේ අවුරුද්දේ අපි වසරකට අවශ්‍ය කරන පොල් මිලියන 3000ක් නිෂ්පාදනය කරලා ඉවරයි. නමුත්, දැන් අපිට තියෙන ප්‍රශ්නේ ලෝකයේන් අපිට වැටිලා තියන නරක නාමය මකා ගන්නේ කොහොමද කියන එක. ඒකට පිළියම් හොයන්නේ නැතුව තව තවත් මේ ප්‍රශ්නය උග්‍ර කරන්න නරකයි. එත්, රජයේ තහනම් නියෝග නොතකා හැරලා ප්‍රධාන පෙළේ පොල් අපනයන සමාගම් 12ක් විසින් මැයි 31 වැනිදා අයෙත් සැරයක් පිලිපීනයෙන් පොල් මද කන්ටේනර් 70ක් ගෙන්නලා තියෙනවා. මේකෙන් වෙන්නේ ලෝකෙන් අපිට ලැබිලා තියන කළු පැල්ලම තව තවත් වර්ධනය වන එකයි.”

කැනන් ඇන්තනි පවසන්නේ ගම්මිරිස්, තේ හා කුරුඳු වැනි භෝග අපනයනය කිරීමෙන් අපට ලැබී ඇති නරක නාමය දැන් වන විට පොල් වගාව සඳහාත් කෙමෙන් කෙමෙන් ළංවන බවයි.
දැන් පොල්වලින් නොලැබෙන ලාභය පොල් තෙල්වලින් සොයා ගැනීමට ගොස් එයද කූට වෙළෙඳුන්ගේ ග්‍රහණයට නතුවී තිබේ. වෙළඳපොළේ පොල්තෙල් කියා අඩු මුදලට ෆාම් තෙල් මිශ්‍ර කළ පොල්තෙල් විකිණීම නිසාය. මේ ආකාරයට ලංකාවට ෆාම් තෙල් ගෙන්නන්නේ ප්‍රධාන පෙළේ සමාගම් හතරක් විසිනි. මේ සමාගම් විසින් පිලිපීනය හා ඉන්දුනීසියාව වැනි රටවල්වලින් අඩු මුදලට විශාල ප්‍රමාණයෙන් ෆාම් තෙල් ආනයනය කර එක්රැස් කර ගනී.

ඒ ලෙස ෆාම් තෙල් එක්රැස් කර තබා ගන්නේ යම්කිසි මොහොතක හෝ ආනයන බදු වැඩි කළ විට වැඩි ලාභයක් තබා ගෙන විකිණීම සඳහාය. මෙයින් සිදුවන්නේ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ පොල්තෙල්වලට වෙළෙඳපොළක් නොමැති වී ෆාම් තෙල් මිශ්‍ර පොල් තෙල් සඳහා වෙළෙඳපොළක් නිර්මාණය වීම බව පොල් සහ පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ සංවිධානය පවසයි.

‘‘පොල්තෙල් නිෂ්පාදනය කරන්න අපිට අධික පිරිවැයක් යනවා. අපි මේ පිරිවැය ගැන හිතන්නේ නැතුව ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ පොල්තෙල් හැමවිටම සාධාරණ මිලකට නිෂ්පාදනය කරන්න උත්සහ කරනවා. එත්, ලංකාවට ෆාම් ඔයිල් කියලා ගෙන්නන්නේ ශරීරයට අහිතකර ෆාම් ගෙඩියේ ලෙල්ලෙන් හදන තෙල්. ඒවා අඩු මුදලකට ගෙනැල්ලා මෙහෙ වැඩි මුදලකට විකුණනවා. ඒ විතරක් නෙවෙයි, පොල් තෙල් අඩු කොටසකට ෆාම් තෙල් වැඩි කොටසක් දාලා අඩු මුදලකට විකුණනවා. මේවා ගන්න මිනිස්සුත් හිතන්නේ මේවා හොඳ පොල්තෙල් කියලා. පස්සේ මේවා ගෙන්නන අයම පොල්තෙල් සම්බන්ධව වැරදි මත හදලා සමාජයට පොල්තෙල් කියන නම එපා කරනවා.” මෙවැනි ක්‍රියා නිසා දිසිදි පොල් අපනයනට මෙන්ම පොල්තෙල් පිළිබඳව ද ලෝකයට ගොස් ඇත්තේ වැරදි ආකල්පයකි.

වස්කෝ ද ගාමා වැනි දේශ ගවේෂකයන් විසින් යුරෝපයට පොල් වගාව ගෙන ගියත් එහි නිජබිම වූයේ ශ්‍රී ලංකාවයි. අපට දහඅට වැනි සියවසේ දී ඇමෙරිකාවේ සිට මුහුදු දියවැල් ආශ්‍රයෙන් පාවී ලංකාවේ වෙරළට ගසා ගෙන ආ මේ පොල්ගස හෙවත් මිහිපිට කප්රුක අද වනවිට පොල් වගාකරුවන්ට නම් අවාසනාව රැගෙන ආ ශාකයක් ම වී තිබේ.

අප පොල් ගසෙන් පොල් මද, කොප්පරා තෙල්, වියළන ලද පොල් කොහු සහ පොල් අරක්කුද ලබාගනී. මේවාට ලෝක වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් පවතී. නමුත් ලංකාවේ පුද්ගලයන්ගේ වැරදි නිසාම අපට අද වන විට දිසිදි පොල් අපනයනය මෙන්ම පොල්තෙල් නිෂ්පාදනයට ද ලබා ඇත්තේ නරක කලදාසාවකි. ඔවුන් මේ සිටින ගැටලුවට විසඳුම් ලබා දී ඔවුන්ගේ වෙළෙඳපොළ නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට උපකාර වනවා නම් ඔවුන්ගේ ආර්ථිකයට ද රටේ ආර්ථිකයට හොඳ කාලයක් උදාවෙනු ඇත.

හර්ෂණී දිසානායක