විශේෂාංග

පොල් තෙල් ‘පල්’ කරන ෆාම් තෙල් මාෆියාව රටම ලෙඩ කිරීමට පෙර

….. “ජනාධිපති මාමේ අපට පොල්තෙල් කියා ෆාම් තෙල් කවන්න ඉඩ දෙන්න එපා. අපට ලොකු වුණාම පිළිකා හැදෙයි”

මේ වෛද්‍යවරයකුගේ පාසල් වයසේ දියණියක විසින් ජනපතිතුමන් වෙත යවන ලද ලිපියක සඳහන්ව තිබූ වැකි දෙකකි.

මෙම සංවාදය ඉතියෝපියාවේ හෝ සෝමාලියාවේ මිනිසුන් හෝ දරුවන් අතර සිදුවූවා නම් අපට හිත හදාගත හැක. නිදහස් අධ්‍යාපනයෙන් උගත් නිලධාරීන් අතිරික්ත වශයෙන් පවා සිටින මහා රාජ්‍ය ආයතන පද්ධතියක් මෙන්ම විද්වත් සංවිධාන රාශියක් තිබෙන රටක මහජනයාට වංචා කරමින් සහ මහජන සෞඛ්‍ය අනතුරේ හෙළමින් ආනයනික පොල්තෙල් සහ ෆාම් තෙල් මිශ්‍ර කොට විකිණීමේ මහා ජාවාරම නිදහස් කරගෙන යාමට සුළු පිරිසකට ඉඩ ලබා දී ඇත. විවිධ මට්ටම්වලදී සිදු කරන මහජන සෞඛ්‍යයට අහිතකර මෙම ආහාර බාල කිරීමේ ජාවාරම ආහාර පනත සහ පාරිභෝගික අධිකාරී පනත යටතේ මෙන්ම පොල් සංවර්ධන අධිකාරී පනත යටතේ නිතිවිරෝධී වේ. ඊට අමතරව පොල් සංවර්ධන මණ්ඩලයේ මූලික වගකීම අනුවද මෙම ජාවාරම වැළැක්වීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට එම ආයතනය බැඳී සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනයේ යම් නිලධාරීන් ආනයනික කිරිපිටිවල ගුණාත්මක භාවය පිරික්සීම සඳහා නවසීලන්තයට ගොස් අදාළ කර්මාන්තශාලා පවා පරික්ෂා කළ බවට වාර්තා පළ වුවත් ලංකාවේදී කිරිපිටිවල ෆාම් තෙල් ඇද්ද පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නේ ගල් යුගයේ පරීක්ෂණ කිහිපයකි. ඒවා මගින් 40% දක්වා ෆාම් තෙල් මිශ්‍ර කළ කිරි පිටි හඳුනාගත නොහැක. එනම් ඊට වැඩියෙන් මිශ්‍ර කළහොත් පමණක් එම පරීක්ෂණවල ප්‍රතිඵල ධනාත්මක වේ. නමුත් පොල්තෙල්වලට ෆාම් තෙල් මිශ්‍ර කොට තිබේ නම් ඉතා සරල පරීක්ෂණයක් මගින් බාලකරන ලද තෙල් හඳුනාගත හැක. එම පරීක්ෂණ පොල් සංවර්ධන අධිකාරිය මගින් සිදු කළ හැකි වුවත් රටේ ජනතාවගේ සෞඛ්‍යයට බලපාන ඉතා බරපතළ නීතිවිරෝධී ආනයන ජාවාරමක් එළිදරව් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හෝ ශ්‍රී ලංකා රේගුව මැදහත් වන බවක් වාර්තා නොවේ.

මෑත කාලීනව ආනයනික පොල්තෙල් සඳහා පනවා තිබූ කි.ග්‍රෑම් එකකට රු. 295 ක් වූ විශේෂ ආනයන බද්ද රු. 125 දක්වා රු. 170 කින් අඩු කිරීම නිසා දැන් ෆාම් තෙල් මිශ්‍ර කළ පොල්තෙල් ආනයනය කිරීමේ වැඩි ඉඩක් ඇත. විශේෂයෙන්ම මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ ෆාම් තෙල්වල මිල 40% කින් පමණ පහත වැටීම නිසා එය ඉතා ලාභදායි ව්‍යාපාරයක් බවට පත්වේ. මේ වන විට පසුගිය මාර්තු මාසයෙන් පසුව එසේ අඩු කළ බදු යටතේ රට තුළට පොල්තෙල් කි.ග්‍රෑ මිලියන 15කට වැඩි ප්‍රමාණයක් ආනයනය කොට ඇති බව රේගු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. නමුත් එම පොල්තෙල්වලට ෆාම් තෙල් මිශ්‍ර කර තිබේද යන්න ඉහත සඳහන් ආයතන විසින් පරීක්ෂාවට ලක් කරන්නේ නැත. එසේ බාල කළ පොල්තෙල් ඉතා අඩු මිලට සාමාන්‍ය සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා ගුණාත්මක පොල්තෙල් නිෂ්පාදනය කරන දේශීය පොල්තෙල් මෝල් එකින් එක වැසී යමින් ඇත. ඒ අතර එසේ බාල කළ පොල්තෙල් උසස් පොල්තෙල් බවට ප්‍රචාරය කරමින් ගණාත්මක පොල්තෙල්වලට වඩා ඉහළ මිලකට සුපිරි අලෙවිසල්වල අලෙවි කිරීම මගින් මෙම ජාවාරම්කරුවෝ දෙයාකාරයකට ලාභ උපයති.

ඊට අමතරව ෆාම් තෙල් සඳහා පනවා තිබූ රු. 300 ක් වූ විශේෂ බද්ද 2020/05/21 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් කි.ග්‍රෑම් 1කට රු. 350 ක් දක්වා වැඩි කරනු ලැබීය. නමුත් මෙම ජාවාරම්කරුවන් අතළොස්සක්, විශේෂයෙන්ම මහා පරිමාණයෙන් ෆාම් තෙල් ආනයනය කරන විදේශීය සහ දේශීය සමාගම් දෙකක බලපෑම් නිසා වැඩි කරන ලද ෆාම් තෙල් බද්ද නැවත වටයකින් 26.06.2020 නිවේදනය මගින් පිරිපහදු නොකළ තෙල් සඳහා බද්ද රු 275ක් සහ පිරිපහදු නොකළ තෙල් සඳහා බද්ද රු 250 දක්වා අඩුකරන ලදී. එසේ බදු අඩු කිරීම සාධාරණීයකරණය කරනු ලැබුවේ ආනයන සීමා කිරීමේ මුවාවෙනි. නමුත් එසේ ආනයනයට සීමා පැනවූවද වටිනාකම් එකතුකොට අපනයනය කිරීමේ මුවාවෙන් රේගුවේ ‘බොන්ඩඩ් ගුදම්’ හරහා මේ තෙල් රට තුළට ආනයනය කිරීමේ නව ක්‍රමවේදයක් එම ජාවාරම්කරුවන් සහ ඔවුන්ට සහාය දෙන නිලධාරීන් විසින් හඳුන්වාදෙන ලදී. ශ්‍රී ලංකාවට ෆාම් තෙල් මෙ.ටො 240,000ක් පමණ ආනයනය කරන අතර පොල්තෙල් සහ ෆාම් තෙල් බදු අඩු කිරීම නිසා මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන්ට ලැබෙන අමතර ලාභය රු. මිලියන 20,000ක් බවට ගණනය කළ හැක. එසේ නම් ඔවුනට බොහෝ අය මිලදීගත හැකි බව තේරුම් ගැනීම අමාරු නැත.

ඒ ආකාරයට කූට වෙළෙඳපළ වුවමනාවන් අනුව මහජනයාට හොරෙන් තීරණය වන ආනයන බදු හෝ බදු නොවන බාධක පැනවීමේ ප්‍රතිපත්තිය නිසා මහජන සෞඛ්‍ය ප්‍රශ්නය වඩාත් බරපතළ වේ. මේද අම්ල සංයුතිය අනුව පොල්තෙල් පරිභෝජනයට වඩා ෆාම් තෙල් පරිභෝජනය ශරීරයට අහිතකර බව පැහැදිලි කරුණකි. එහෙත් පිරිපහදු නොකළ ෆාම් තෙල්වල අඩංගු ඉතා ඉහළ නිදහස් මේද අම්ල ප්‍රතිශතය නිසා ඒවා ඉතා භයානක පිළිකාකාරක ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස මැලේසියාවේ ප්‍රමිතීන් අනුව පිරිපහදු කළ ෆාම් තෙල්වල අඩංගු නිදහස් මේද අම්ල ප්‍රතිශතය 5% ක් වුවද අප රටට ආනයනය කරන පිරිපහදු නොකළ ෆාම් තෙල්වල එම ප්‍රතිශතය 20% තරම් ඉහළ අගයක් ගන්නා බව එළිදරව් වී ඇත. පසුගිය දිනවල එසේ ආනයනය කළ පිරිපහදු නොකළ ෆාම් තෙල් තොගයක් අධිකරණ නියෝගයක් මත පරික්ෂා කිරීමේදී ඒ බව එළිදරව් විය. අප රටේ බදු ප්‍රතිපත්තිය අනුව පිරිපහදු නොකළ ෆාම් තෙල්වලට පනවනු ලබන බද්ද පිරිපහදු කළ ඒවාට වඩා අඩු මට්ටමක පවතින නිසා පිරිපහදු නොකළ තෙල් ආනයනය දිරිමත් වේ. ඊට අමතරව ලෝක වෙළෙඳපළ තුළ පිරිපහදු නොකළ තෙල් මිල සෑම විටම පිරිපහදු කළ තෙල්වලට වඩා අඩු වීම නිසාද එය තවදුරටත් දිරිමත් වේ. නමුත් අප රටේ මැලේසියාව මෙන් උසස් ප්‍රමිතිගත පිරිපහදු ක්‍රියාවලියක් සිදුවන්නේ නැත. ෆාම් තෙල් ආනයනය කරන සමාගම් පිරිපහදුව නමින් සිදු කරන්නේ කුඩා පාවෙන අංශු ඉවත් කිරීම, විරංජනය හෙවත් පාට වෙනස් කිරීම සහ දුර්ගන්ධය නැති කිරීම පමණි. ආර්.ඩී.බී නමින් හැඳින්වෙන එම ක්‍රියාවලිය තුළ නිදහස් මේද අම්ල ප්‍රමාණය අඩු කිරීමක් සිදු වන්නේ නැත. ඒ අනුව ඒ මගින් මහා බදු වංචාවක් හෝ අවභාවිතයක් සිදුවනවාට අමතරව රටේ සිටින මහා නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ සුජාතභාවය සහ ගරුත්වයද අභියෝගයට ලක් වේ.

මෙම නින්දා සහගත ජාවාරම සහ දුප්පත් ආර්ථික සහ වෙළෙඳපළ ක්‍රියාවලිය නිවැරදි කිරීම සඳහා බහු විධ උපායමාර්ගික ප්‍රවේශයක් අවශ්‍යවේ. ඊට අදාළ දාර්ශනික පදනම විය යුත්තේ පාරිභෝගිකයා ආරක්ෂා කරන අතර දේශීය නිෂ්පාදන පද්ධතියද ශක්තිමත් කිරීම යන ද්විත්ව ප්‍රවේශය මැනවින් සුසංයෝජනය කිරීමය. ඒ අනුව පළමුවෙන්ම දේශීය පොල් නිෂ්පාදන ආර්ථික ශක්තිමත් කිරීම සඳහා පාරිභෝගිකයාට පිළිගත හැකි මට්ටමට සහ ඔවුන්ගේ දැනුම්වත් එකඟතාව මත් බදු පැනවීම මගින් ෆාම් තෙල් ආනයනය අධෛර්යමත් කිරීම ඉතා වැදගත් වේ. එහිදී ආනයනය තහනම් කිරීම හෝ සීමා කිරීම අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව දේශීය පොල්තෙල් මිලට වඩා ආනයනික ෆාම් තෙල් මිල අඩුතරමින් 10%කින් ඉහළ මට්ටමක පවතින ලෙස බදු පැනවිය හැක. ඊට අමතරව පිරිපහදු නොකළ තෙල් ආනයන සිමා කිරීම සඳහා බදු සහන නොදී සිටීම හෝ ඉහළ බදු පැනවීමට අමතරව ප්‍රමිති නිර්ණායක යොදා ගනිමින් බදු නොවන බාධක පැනවීමද සිදුකළ යුතුය. එම පියවර වෙළෙඳපළ තුළ ප්‍රතිඵලදායක වන්නේ තවත් සාධක දෙකක් මතය. පළමුවැන්න යම් කාලයකට හෝ පොල්තෙල් සහ ෆාම් තෙල් සඳහා මිල සූත්‍ර හඳුන්වා දීමය. දෙවැන්න පොල්තෙල්වලට ෆාම් තෙල් මිශ්‍ර කිරීම නීතියට අනුව බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීමටය.

ඊට අමතරව දිර්ඝ කාලීනව පොල් වගාව සංවර්ධනය කිරීම මගින් වගා කරුවන්ගේ ආදායම් මට්ටම අඩු නොවන ලෙස මිල අඩු කිරීම සඳහා පියවර ගත යුතුය. දැනට ගෙඩි මිලියන 3000 පමණ මට්ටමේ පවතින ජාතික නිෂ්පාදනය, ඵල සැපයුම වැඩි කිරීම මගින් පමණක් 50%කින් වැඩි කළ හැකි බව වගාකරුවෝ පවසති. එසේම අප රටේ පොල් නිෂ්පාදනයෙන් 60% කට වැඩි ප්‍රමාණයක් ගෙඩි ලෙස පරිභෝජනයට ගන්නා බැවින් අධ්‍යාපනික සහ ප්‍රචාරක ක්‍රමවේද හරහා පොල් කිරි උපරිමයෙන් ලබාගත හැකි ක්‍රමවේද සහ පොල්කිරි භාවිතය අඩු කිරීම සඳහා පියවර ගැනීම මගින් වෙළෙඳපළට ලැබෙන පොල් ගෙඩි ප්‍රමාණය වැඩි කළ හැකිය. ඊට අමතරව වටිනාකම් එකතු කිරීමෙන් තොරව එනම් පොල් ගෙඩි ලෙස අපනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම මගින්ද කර්මාන්තයට අවශ්‍ය පොල් ගෙඩි සැපයුම ඉහළ දැමිය හැක. පොල් වගාකරුවන්ට සාධාරණ මිලක් දීර්ඝකාලීනව ලැබෙන බව සහතික වේ නම් වගාව දියුණු කිරීම සඳහා රජය මගින් විශාල මැදිහත්වීමත් අවශ්‍ය වන්නේ නැත. පොල්වගාකරුවන් එම වගකීම ස්වේච්ඡාවෙන් ඉටු කරනු ඇත. එසේම පොල් වතුවල කුරුඳු වැනි යටි වගාවන් හා කිරි ගොවිතැන රජය විසින් දිරිමත් කිරීම මගින් වගාකරුවන්ගේ ආදායම් මට්ටම ඉහළ දැමීමට ක්‍රියා කරන්නේනම් කර්මාන්තයට සාධාරණය ඉටු වන ලෙස පොල් ගෙඩි මිල පහත මට්ටමකට ගෙන ඒමේ හැකියාව ඇත. එහිදී තවත් අතුරු ක්‍රියාමාර්ග දෙකක් මහජනයාගේ දැනුම්වත්භාවය සහිතව ක්‍රියාත්මක කිරීමට සිදු වේ. පළමුවැන්න කර්මාන්තයට අදාළ සහ මහජන සෞඛ්‍යයට අදාළ හේතු මත ෆාම් තෙල් ආනයනය බදු සහ බදු නොවන බාධක මගින් දීර්ඝකාලීනව අධෛර්යමත් කිරීමය. දෙවැන්න දේශීය පොල් නිෂ්පාදනය ඉහළ මට්ටමකට ගෙන එන තෙක් අවශ්‍යතාව මත දේශීය පොල්තෙල් කර්මාන්තයට අගතියක් නොවන ලෙස ෆාම් තෙල් මිශ්‍ර නොකළ පිරිසුදු පොල්තෙල් ආනයනය සඳහා කොන්දේසිවලට යටත්ව ඉඩ ලබා දීමය. එහිදී මූලික කොන්දේසි දෙකක් සැපිරීම ඉතා වැදගත්වේ. පළමුවැන්න ආනයනික පොල්තෙල් මිල දේශීය පොල්තෙල් මිලට වඩා 10%කින් ඉහළ මට්ටමක පවතින ලෙස ආනයන බදු නීර්ණය කිරීමය. දෙවැන්න ඒ සඳහා ආනයන බලපත්‍ර සහ කෝටා ක්‍රමයක් හඳුන්වාදීම මගින් ප්‍රමාණාත්මක සීමාවන් නිශ්චිත ලෙස පැනවීමය.

පොල් ගස ආශ්‍රිතව අපනයන නිෂ්පාදන 37 ක් වැනි අති විශාල ප්‍රමාණයක් ඇත. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කප්රුකකි. ඒවා සියල්ල දිරිමත් කිරීම මගින් අපනයන ආදායම් වැඩි කිරීම සහ පොල් ආශ්‍රිත දේශීය කර්මාන්ත පද්ධතිය දියුණු කිරීම සඳහා ඉහත සඳහන් කළ මහා පින්තූරය තේරුම් ගනිමින් සහ විනිවිද භාවයෙන් යුතුව මෙන්ම මහජන සංවාදයක් සහිතව ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතුය. එවිට ජාවාරම්කරුවන් සහ ආර්ථික ඝාතක නිලධාරීන් අතළොස්සකට ස්වභාව ධර්මය විසින් අපට දායාද කළ කප්රුක සමග බැඳුණු ආර්ථික සහ ජීවන ක්‍රමය විනාශ කිරීමට ඉඩ ලැබෙන්නේ නැත.

අවසාන වශයෙන් විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ රබර් වෙනුවට කටු පොල් හෙවත් ෆාම් වගාව දිරිමත් කිරීමේ නාමයෙන් පොල් වගාව සහ පොල් කර්මාන්තය අවතක්සේරු කිරීමට කටයුතු කරන පිරිස මට්ටු කිරීම තරම් ජාවාරම්කාර ආනයනකරුවන් මට්ටු කිරීම පහසු නැති බවය. ජනාධිපතුමා විසින් දේශීය කටු පොල් වගාව දැනට පවතින ප්‍රමාණයට වඩා පුළුල් කිරීමට ඉඩ නොදීම ඉතා වැදගත් උපාය මාර්ගික තීන්දුවකි. එය පාරිසරික හේතු මත පමණක් නොව පොල් ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පමණක් නොව රටේ ආහාර සුරක්ෂිතතාව රැකගැනීම සඳහාද පූර්ව කොන්දේසියක් ලෙස ඉතා වැදගත්වේ. විද්වතුන් යැයි කියා ගන්නා විවිධ පාර්ශ්ව අක්කරයකට ලබා ගත හැකි තෙල් ප්‍රමාණය ගැන අංක ගණිතමය සූත්‍ර ඉදිරිපත් කරමින් කටුපොල් වගාව සහ ෆාම් තෙල් කර්මාන්තය ප්‍රචලිත කිරීමට උත්සාහ කළත් තෙල් හැර වෙනත් කිසිදු ප්‍රයෝජනයක් නැති කටු පොල් වගාව කිසිසේත්ම පොල් වගාවට විකල්පයක් නොවේ. එම නිසා ජනාධිපතිතුමා විසින් කටු පොල් වගාකරුවන්ට ලබා දුන් සෘජු පිළිතුර ෆාම් තෙල් ආනයනකරුවන්ටද ලබා දෙන්නේනම් ආර්ථිකයේ ප්‍රබල පැතිකඩක් වෙනස් කළ හැකි බවට කිසිදු සැකයක් නැත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර