කතුවැකි

පොල්තෙල් සමග පිළිකා නොමිලයේ

පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක් අඩංගු යැයි කියන පොල්තෙල් තොගයක් ආනයනය කර ඇතැයි කියන නමුත් පොල්තෙල් පරිභෝජනයට බියක් ඇතිකරගත යුතු නැතැයි පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කර ඇත. ඔවුන් පවසන්නේ පිළිකා කාරක පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් වී නැති බවය. පිළිකා කාරක පොල්තෙල් ආනයනය කර ඇතැයි මුලින්ම රටට අනාවරණ කළේ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය නමැති සංවිධානයක් විසිනි. මේ නිසා මේ කාරණය ව්‍යාපාරික ආරවුලක් මත නිර්මාණය වූ කාරණයක් විය හැකි යැයි සැකයක්ද මතුව තිබේ. එහෙත් එක්වරම එම සැකය පිළිගත නොහැකිය. අදාළ පොල්තෙල් පිළිකා කාරක සහිත බව ප්‍රකාශ කොට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් යැයි කියන නිසාය. එම ඒකකය මේ බව ප්‍රතික්ෂේප කොට නැත.

කෙසේ වෙතත් මේ ගැන ප්‍රශ්න කළ විට රේගු අධ්‍යක්ෂ ජනරාල් හිටපු මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය පවසන්නේ හතර බීරි කතාවකි. ඔහු කියන ආකාරයට පොල්තෙල් රටට ගෙන් වූ පසු ඒවා පරීක්ෂා කරන්නේ අදාළ ආනයනකරුගේ ගුදම්වලට ගෙන ගිය පසුය. ආනයනික පොල්තෙල්වල කිසිදු විෂ සහිත රසායනයක් හමු වී නැති බව මුලින් කී ඔහු පසුව කීවේ එවැනි පොල්තෙල් තොගයක් සොයාගත් අතර ඒවා යළි ආනයනික රටටම යැවීමට අදාළ සමාගම්වලට නියෝග කළ බවය.

ශ්‍රී ලංකා රේගුව මෙවැනි අවස්ථාවලදී සලකා බලන්නේ ප්‍රමිති ආයතනයේ නිර්දේශයන්ය. එහෙත් මෙම පොල්තෙල් තොගයේ පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු වී තිබුණේද, නැද්ද යන්න ගැන ප්‍රමිති ආයතනයද මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.

මේ කවුරු මොනවා කීවත් ආනයනය කර ඇත්තේ පොල්තෙල් ලීටරයක් දෙකක් නම් ඒ සියල්ල නොසලකා හැර සුපුරුදු පරිදි පොල්තෙල් ප්‍රයෝජනයට ගැනීමට බිය විය යුතු නැත. එහෙත් වාර්තා වී ඇති ආකාරයට සමාගම් දෙකක් විසින් ආනයනය කර ඇතැයි කියන පොල්තෙල් තොගය ලීටර් එක්ලක්ෂ අසූතුන්දහසකට වැඩිය. කියන ආකාරයට මෙම පොල්තෙල්වල පිළිකා කාරක රසායන ඇත්නම් ඉන් සිදුවිය හැකි විනාශය සිතාගත නොහැකි තරම්ය.

මෙම පොල්තෙල් තොගය හදිසියේම ගෙන්වා ඇතැයි කියන්නේ අලුත් අවුරුදු සමය ඉලක්ක කරගෙනය. අලුත් අවුරුදු සමය යනු සාමාන්‍ය දිනවලට වඩා පොල්තෙල් පරිභෝජනය ඉහළ යන කාලයකි. මෙම පොල්තෙල් තොගය ආපසු ඒවා ගෙන්වූ රටටම යවන්නට පියවර ගෙන ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන නමුත් දැනටමත් ඉන් කොටසක් හෝ රටපුරා බෙදාහැර නැතැයි සහතික වන්නට හැකියාවක් ඇත්තේ කාටද? අනෙක් අතට මෙම තොගයට පෙරත් පිළිකා කාරක අඩංගු පොල්තෙල් රටට ගෙන්වා බෙදා හැර තිබිය හැකි නොවේද?

පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් ආනයනය කර ඇතත් නැතත් දැන් සිදුව ඇත්තේ රටපුරා පොල්තෙල් හිඟයක් ඇති වීම පමණය. මේ නිසා අලුත් අවුරුදු සමයේ පොල්තෙල්වල පමණක් නොව පොල් ගෙඩියේද මිල ඉහළ යෑම වැළැක්විය නොහැකි වනු ඇත. පිළිකා කාරක පොල්තෙල් ආනයනය කර ඇතැයි කියන කාරණය සම්බන්ධයෙන් ඉතා සැලකිල්ලෙන් සොයා බැලිය යුත්තේ මේ නිසාය. කවරකුට හෝ කෘත්‍රිමව පොල්තෙල් මිල ඉහළ නංවා අයුතු ලාභයක් ලැබීමේ අරමුණක් තිබේදැයි අප දන්නේ නැත.

පිළිකා කාරක රසායන අඩංගුව තිබුණත් නැතත් මෙරට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් මිනිස් ආහාරයට සුදුසු නොමැති බවට චෝදනා නැගී ඇත්තේ කලක සිටය. ආනයනික පොල්තෙල් ලීටරයකට රුපියල් එකසිය පනහක බද්දක් අය කෙරෙන නමුත් තවමත් ෆාම් තෙල් ලීටරයක් සඳහා අය කෙරෙන්නේ රුපියල් පනහක් තරම් ඉතාමත් අඩු බද්දකි. මේ නිසා පොල්තෙල්වලට ෆාම් තෙල් කලවම් කර අලෙවි කෙරෙන බව නොදන්නා කෙනෙක් නැත. ජනතාවට මේ ජරාව කන්නට දීම වැළැක්වීමට තවමත් කිසිවකුට හැකි වී නැත.

පිරිසුදු කළ පොල්තෙල් ආනයනයේදී ලීටරයකට රුපියල් 150 ක බද්දක් අය කළත් පිරිසුදු නොකළ පොල්තෙල් ලීටරයකට අය කෙරෙන්නේ රුපියල් 130 ක් පමණකි. මේ නිසා සෑම ආනයනකරුවකුම මෙරටට ගෙන්වන්නේ පිරිසිදු නොකළ පොල්තෙල්ය. පිරිසුදු නොකළ පොල්තෙල්වල පිළිකා කාරක රසායන තිබිය හැකි බව ඔවුන්ද පිළිගනිති. එහෙත් පිරිසුදු කිරීමේදී මිනිස් සිරුරට අහිතකර සියලුම සංඝටකයන් ඉවත්වන බවට ඔවුන් සහතික වෙති. ව්‍යාපාරිකයෝ කියන්නේ පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අඩංගු වී තිබුණේ යැයි කියන්නේ මෙලෙස ගෙන් වූ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයක බවය.

මේ කුමන පැහැදිලි කිරීම් කළද මෙරටට පොල්තෙල් ගෙන්වීමේ සිට අලෙවි කිරීම දක්වා වූ සමස්ත යාන්ත්‍රණයේම යම් අවුල් සහගත බවක් තිබෙන බව පැහැදිලිය. එක් අතකින් පොල්තෙල් යැයි කියා අලෙවිකරන ෆාම් ඔයිල් හා ෆාම් ඔයිල් කලවම් කළ පොල්තෙල්ය. දැන් පිළිකා කාරක මිශ්‍ර පොල්තෙල්ය. මිනිසුන්ට සිදුව ඇත්තේ වස විස බව දැන දැනම ඒ ​පොල්තෙල් ආහාරයට ගන්නටය.

ආණ්ඩුව පිරිසුදු කළ හා නොකළ පොල්තෙල්වලට ඉහළ ආනයන බද්දක් අය කරන්නේ දේශීය පොල්තෙල් කර්මාන්තය දියුණු කිරීම අරමුණු කරගෙනය. එහෙත් ආණ්ඩුවේ මේ අරමුණ ගැන සැක කරන්නට සිදුවන්නේ පොල්තෙල්වලට ඉහළ බද්දක් අය කරන අතරේ ෆාම්ඔයිල් සඳහා ඉතාමත් සොච්චම් බද්දක් අය කිරීම නිසාය. එසේම දේශීය පොල්තෙල් කර්මාන්තය දියුණු කිරීම සඳහා යැයි වෙනත් විශේෂ පියවරක් ගෙන ඇති බවක්ද දක්නට නැත.

පොල්ගස් කැපීම තහනම් කෙරුණේ මේ ඊයේ පෙරේදාය. ප්‍රමාද වී හෝ ගත් මේ තීරණය පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන දියුණු කිරීම සඳහා හේතුවන ගුණාත්මක තීරණයකි. මේ වන විට රටේ පොල් මිල අහසට උසට නැග ඇත්තේ මේ දක්වා ඉවක් බවක් නොමැතිව පොල් ඉඩම් කට්ටි කිරීම නිසාය. මේ නිසා දැන් පොල්ගස් කැපීම තහනම් කළ පමණින් එක සැණෙකින් පොල් මිල හෝ පොල්තෙල් මිල පහත වැටේ යැයි අපේක්ෂා කළ නොහැකිය. මේ නිසා ඇත්තෙන්ම පිරිසුදු පොල්තෙල් සාධාරණ මිලකට ජනතාවට ලබා දෙන්නට අදහස් කරන්නේ නම් කළ යුතු තවත් දේ තිබේ. එසේ නොවනතාක් කල් පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු හෝ ෆාම්තෙල් වැනි දේ කලවම් කළ පොල්තෙල් අලෙවිය නවතා ගැනීමට නොහැකි වනු ඇත.

මේ සියල්ලට පෙර වහාම කළ යුතු වන්නේ පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනය කර තිබේද, නැද්ද යන්න රටට හෙළි කිරීමය. යම් හෙයකින් එවැනි පොල්තෙල් ආනයනය කර ඇත්නම් ඒ කුමන සමාගම්ද? ඒවා රටට ගෙන එන්නට අදාළ සමාගම්වලට උදව් කර ඇත්තේ කව්ද? ඒ වෙනුවෙන් එම නිලධාරින් කොතරම් මුදලක් අයකර තිබ්ද? දැනටමත් එවැනි පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද යන කාරණාද රටට පැහැදිලි කළ යුතුය.