ගොසිප්

පොරොන්දු ඉටු කළ මහින්ද ගැමියන් සමග බත් කෑ හැටි

2006 වසරේ ජූලි මස 15 වැනි දා කොටි ත්‍රස්තවාදීන් විසින් කැබිතිගොල්ලෑව විහාරහල්මිල්ලෑව ප්‍රදේශයේ දී බස් රථයක් ඉලක්ක කර ක්ලේමෝ බෝම්බයක් පුපුරුවා හැරීම නිසා 70 දෙදෙනකු මිය ගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුවිය.

එවකට ජනාධිපති ධූරයේ කටයුතු කරමින් සිටි මහින්ද සිද්ධියෙන් පැය කිහිපයක් ගෙවෙන්නටත් මත්තෙන් කැබිතිගොල්ලෑවට ගොස් විපතට පත් ජනතාව හමුවූයේ ආරක්ෂක අංශයේ දැඩි විරෝධය මැදය. බෝම්බයෙන් මිය ගිය ඥාතීන් මහින්දගේ දෑත් අල්ලාගනිමින් හඩන ආකාරයත් දෑසේ කදුලු පුරවා ගත් මහින්ද ඒවාට සවන් දෙන ආකාරයත් එකල මාධ්‍යයේ පළ විය.

එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් වසර 12කට පසු මහින්ද පසුගියදා කැබිතිගොල්ලෑව විහාරහල්මිල්ලෑව විහාරස්ථානයට ගියේ මියගිය පිරිස සමරමින් සංවිධාන කර තිබුණු දානමය පුණ්‍යකර්මයකට සහභාගී වන්නටය.

එහිදී අනුශාසනාවක් කළ විහාරහල්මිල්ලෑව ධම්ම රක්ඛිත හිමියෝ  “මේ අවාසනාවන්ත සිද්ධිය වෙච්ච වෙලාවෙත් අපේ මහින්ද මහත්තයා මෙතැනට දුවගෙන ආවා. මහින්ද මහත්තයට මතක ඇති මේ පන්සලේ තමයි ඒ දේහයන් තැන්පත් කරලා තිබ්බේ. මම එතුමාගේ  අත් දෙක අල්ලලා එදා ඉල්ලා හිටියේ මේ කොටි ත්‍රස්තවාදය නැති කරන්න, එහෙම බැරි නම් පුළුවන් කෙනකුට දීලා අයින් වෙන්න කියලත් මම මහින්ද මහත්තයාට කිව්වා.  හාමුදුරුවනේ මම පුළුවන් තරම් ඉක්මනට මේ ත්‍රස්තවාදය අවසන් කරනවා කියලා එදා මහින්ද මහත්තයා මට කිව්වා.”

එතුමා එදා පොරොන්දු වුණා වගේම අවුරුදු තුනක් යනකොට ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කරලා දැම්මා. අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩක් ලැබුණේ මේ මහින්ද මහත්තයා හින්දයි. නමුත් මේ රටේ මිනිස්සු ඒක අමතක කරලා දැම්මා.

දානමය පිංකමෙන් පසු පිටතට පැමිණි මහින්ද වටකරගත් මිය ගිය අයගේ ඥාතීහු කදුලු සලමින් අතීතය සිහිපත් කළහ. මහින්ද ද ඔවුන් අස්වසමින් කතා කළේ කදුලු පිරි දෙනෙතිනි. ඒ අතර මහින්ද අසළට ආ වැඩිහිටි ගැමියෙක් ආරාධනාවක් කළේය.

“ඔබතුමා අපි හදපු දුප්පත් ආහාර වේල සප්පායම් වෙන්න එන්න ඕනේ”  වැඩිහිටියා කීවේය.

“අයියෝ ඕක මොකක්ද . මම එන්නම්” මහින්ද පැවසීය.

“අපි මේ දානය හැදුවේ අපේ ගෙවල්වල. ලොකු දේවල් නම් නැහැ. තෙප්පිලි මාලු, මුරුංගා හොදි එක්ක තමයි අද කෑම තියෙන්නේ. ඔබතුමාට සුදුසුද දන්නේ නැහැ” වැඩිහිටියා පැවසීය.

“ඒ මොකද මට හොද නැත්තේ. මමත් ගමක හැදුනු කෙනෙක්. තමුන්නාන්සේලාට හොද ඕනෙම දෙයක් මටත් හොදයි. කෝ යන් යන්” කී මහින්ද ගමේ මිනිසුන් සමග එකතු වී දිවා ආහාරය භුක්ති වින්දේය.