අතන මෙතන

පොදු අපේක්ෂක පෝලිමට අර්ජුනත්

අපේක්ෂකත්ව කතාබහ පසුගිය සතියේ නව මානයකට හැරුණේ රාජ්‍ය මාධ්‍යයක පළව තිබුණු පුවතක් නිසාවෙනි. එහි සඳහන්ව තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයකු පොදු අපේක්ෂකයා වීම සඳහා ඔහුගේ නුගේගොඩ පිහිටි නිවසේදී සාකච්ඡාවක් පත්වා ඇති බවකි. අපේක්ෂකයා කවුරුද යන්න ප්‍රවෘත්තිය කියවූ බොහෝදෙනකුට අමුත්තක් වූයේ නැත.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සිකුරාදා පාර්ලිමේන්තුවේ දී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා හමු වූ අවස්ථාවක මේ ගැන විමසා සිටියේය.

“අර්ජුන රණතුංග ඇමැතිතුමා පොදු අපේක්ෂකයා වෙනවලු නේද?’’ මන්ත්‍රීවරුන් ප්‍රසන්නගෙන් විමසා සිටියේය.

“කවුද කියන්නේ? ප්‍රසන්න ඇසුවේය.

“ඔය පත්තරවලත් තියෙන්නේ. මොකද කරන්නේ එහෙම වුණොත් ඔබතුමා උදව් කරනවද?’’ මන්ත්‍රීවරු ඇසූහ.

“මම ඉතින් මහින්ද මහත්තයා එක්ක මුල ඉඳන් දේශපාලනය කළේ එක එක වෙලාවල්වලට පීල්ල මාරු කරන අදහසින් නෙමෙයිනේ. මේ පාර එක්සත් ජාතික පක්ෂයෙන් කවුරු අපේක්ෂකයා වුණත් වැඩක් නැහැ. මිනිස්සුන්ගේ හදගැස්ම හඳුනන කෙනෙක් කවදාවත් යූ.එන්. පී එකෙන් ඡන්දේ ඉල්ලන්නේ නැහැ. අනික මේ වතාවේ දිනන්නේ මහින්ද මහත්තයාගේ ආශිර්වාදය ලබන අපේක්ෂකයයි. කවුරු ඉල්ලුවත් ඉතින් මගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ” ප්‍රසන්න මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය.