අතන මෙතන

පොදු අපේක්ෂකයා නිසා එ.ජා.පය. අර්බුදයක

මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයත් සමග රට නායකත්වයක් නොමැති අරාජික තත්ත්වයකට පත් වූ බවක් දිස්වන වාතාවරණයක රටට ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව අවධාරණය වෙමින් තිබේ. හැම පක්ෂයකම සේම දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සෑම දෙනාම මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ අවධානයෙන් පසුවන්නේ ඒ නිසාය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය මෙහිදී ද අර්බුදයකට ලක්ව සිටින බවක් කියැවෙන සිදුවීම් කිහිපයක්ම මේ සතියේ වාර්තා විය. ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් විය යුතු බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැඩි තීරණයක ඉන්නා බවක් පෙනී යන අතර ඔහුගේ සමීප කණ්ඩායමද තහවුරු කරමින් සිටින්නේ රනිල් තරග කළ යුතු බවය.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අදහස් කර සිටින්නේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවය. ඔවුන්ගේ මතය වී ඇත්තේ මීට පෙර දෙවරක්ම පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කළ නිසා මෙවර අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අයකු ඉදිරිපත් කළ යුතු බවකි. එහෙත් ඒ සඳහා රනිල් ඉදිරිපත් වුවහොත් පරාජය නියත බැවින් සජිත් ඉදිරිපත් කළ යුතු බව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහසය.

කෙසේ වෙතත් පක්ෂයේ ඉහළින් ඔවුන්ට දැනුම් දී ඇත්තේ අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ඔක්තෝබර් මැද වන තෙක් ඉවසා සිටින ලෙසය.

කෙසේ වෙතත් එජාපයේ මෙම ’අතීරණය’ නිසා යළිත් වරක් පොදු අපේක්ෂකයකු’ ඉදිරිපත් කළ යුතු යැයි යන මතයද ප්‍රබලව මතුවෙමින් තිබේ. මේ අන්දමට කරළියට පැමිණි එක් චරිතයක් වන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාය. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වූ තොරතුරු අවලංගු තොරතුරක් බවට පත් වූයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන්ගේ අදහසක් නැතැයි ධම්මික පෙරේරා රජයේ රූපවාහිනියක් ඔස්සේ ප්‍රකාශ කිරීමත් සමගය.

පොදු අපේක්ෂකයකු අවශ්‍ය බවට වූ මතය දැඩිව සමාජගත කරමින් සිටින්නේ 2015 යහ පාලනය ගෙන ඒම සඳහා මුල් වූ සිවිල් සංවිධාන විසිනි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 77 වැනි ජන්ම දින සැමරුම පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් විණි. එහිදී එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය යළිත් වරක් පොදු අපේක්ෂකයකු ගෙන ආ යුතු බව කියා සිටියේ වත්මන් ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කිරීම ගැන තමන්ටම සාප කර ගනිමිනි.

එජාපයේ පසුපෙළ පක්ෂයේ අපේක්ෂක ලෙස සජිත් පේමදාස ගෙන එන්නට සූදානම් වන අතරේ සිවිල් සංවිධාන පොදු අපේක්ෂකයා දෙස භෞතීස්ම කරන්නට සූදානම් වන්නේ කථානායක කරු ජයසූරිය බවට කතාබහක් දේශපාලන ලෝකය තුළ ඇති වී තිබේ. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ 2015 දීද, තෝරා ගෙන සිටි අපේක්ෂකයා වූයේ කරු ජයසූරිය මහතාය.

හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාද පොදු අපේක්ෂක සිහිනයක සිටින බවක් කියැවුණේ ඔහු ‘ජාතික මග’ නම් සංවිධානයක් ආරම්භ කිරීමත් සමගය. එහෙත් මේ වන විට ඒ උණුසුම යටපත් වී තිබේ.