පිනි පලස

පොතක් ලියන්න තරම් වේදනාත්මක අත්දැකීම් තියෙනවා

ජයලාල් රෝහණ කියලා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රූපණවේදියෙක්. තමන්ට ලැබෙන චරිතය ආයාසයකින් තොරව ප්‍රේක්ෂක මනසේ සනිටුහන් කරන්නට ඔහුට ඇත්තේ නිසඟ හැකියාවක්. ජීවිතේ දිනෙන් දින අත්දැකීම් එකතු කරමින් කලාවේ ආ දිගු ගමන් මග ආපස්සට හැරී බලන්නට අපි මොහොතක් ඔහුට කතා කළා.

මගේ උපන් ගම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. අද වනවිට ජනාකීර්ණ වෙලා තිබුණට අපේ ළමා කාලය වෙද්දී ගමක්. මම පාසල් ගියේ කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලයට. වයස අවුරුදු 13 දී තමා මම මුලින්ම කලාවට යොමුවෙන්නේ. පාසලේ තිබ්බා වාර්ෂික නාට්‍ය උළෙලක්. එහි නාට්‍ය තරගයක් තිබ්බා. එක එක ශ්‍රේණිවලින් පුංචි නාට්‍ය හදනවා. ඒ නාට්‍ය හදන්න අපිට උදව් කළේ කලාවේ දැවැන්ත චරිතයක් වුණ ගුණසේන ගලප්පත්ති සර්. පී.බී. කහවත්ත සර්, සෝමා පෙරේරා කියන නැටුම් ගුරුවරිය සහ පතිරගේ කියලා තව ගුරුතුමියක් හිටියා.

මගේ අප්පච්චි හරි ආසයි කලාවට. එතුමා මට අවුරුදු 13 දීම මිය ගියා. හැබැයි ඒ වෙද්දී එතුමා මගේ ජීවිතේට කලාවේ අත්තිවාරම දාලා තිබ්බේ. අප්පච්චිගේ මිතුරෙක් තමා හිටපු රංගන ශිල්පියෙක් වන උපාලි අත්තනායක මහතා. ඒ වෙද්දී එතුමා ශ්‍රී ලංකාවේ වෙළෙඳ දැන්වීම් කලාවේ මහා පෙරළියක් කරපු පුද්ගලයෙක්. ඒ වගේම එතුමා සයිමන් නවගත්තේගමගේ සුබ සහ යස නාට්‍යයයේ රඟපෑවා. එතුමාට මාව හඳුන්වා දුන්නා. ඊට පස්සේ මාව දවසක් ගෙනිච්චා සයිමන් නවගත්තේගම මහතාගේ නාට්‍යයක ළමයෙක්ගේ පොඩි චරිතයක් කරන්න. ඒ ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක් කියන නාට්‍යය.
මම 1980 දී උසස් පෙළ හදාරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලේ මම එකතු වුණා ආචාර්ය ගාමිණී හත්තෙට්ටුගම මහතාගේ විදී නාට්‍ය කණ්ඩායමට. ඒ එකක්ම ඈෂ්ලි හැල්පේ මහත්තයාගේ වැඩමුළු තිබ්බා විශ්වවිද්‍යාලය ඇතුළේ. ඒ සියල්ලටම මම මගනොහැර සහභාගි වුණා. එතකොට ලංකාවේ කලාකරුවන් හඳුනා ගන්න සහ ඔවුන්ගේ නාට්‍යය නිර්මාණවල රඟපාන්න අවස්ථාව ලැබුණා. විශ්වවිද්‍යාලයේ හිටිය කාලය අවුරුදු 10ක්. මොකද ඒ භීෂණ කාලේ.

උපාධියෙන් පස්සේ මට ගුරු වෘත්තීය ලැබෙනවා. මුලින්ම තණමල්විල මහාවිද්‍යාලයට. නමුත් මම වැඩි කාලයක් එහෙ ඉන්න වුණේ නැහැ. මොකද මම ඒ වෙද්දී සයිමන් නවගත්තේගම මහත්තයාගේ නාට්‍යයවලට සම්බන්ධ වෙලා හිටිය නිසා එතුමාගේ විශේෂ ඉල්ලීමකට අනුව මට මීගමුවට පත්වීම මාරු කරලා දුන්නා.

වේදිකාවට සම්බන්ධ වෙලා ගොඩක් වැඩ කළා. 92 දී තිලක් ගුණවර්ධන මහතා මට ඇවිත් කතා කළා ජාතික රූපවාහිනියෙ ටෙලි නාට්‍යයක රඟපාන්න එන්න කියලා. මේ නාට්‍යය රන් මිරි වැඩි කියලා ජයතිලක කම්මැල්ලවීර ලියපු නාට්‍යයක්. කොටස් හයයි. කුසුම් රේණුගේත් පළමු වෘතාන්ත නාට්‍යය. එතනින් ටෙලි නාට්‍යය කලාවට පිවිසියා.

ඊට පස්සේ සිනමාවේ මුල්ම නිර්මාණය වෙන්නේ පරාක්‍රම නිරිඇල්ල මහතාගේ අයෝමා චිත්‍රපටය. අවසානයේ මේ මෑතක රඟපෑවේ මගේ ශිෂ්‍යයකු වූ සරත් කොතලාවලගේ ද නිව්ස් පේපර් චිත්‍රපටය.

රඟපාන නාට්‍යයක් වෙනුවෙන් සම්මාන ලැබුණු හැම මොහොතක්ම මට සුවිශේෂී වුණා. ඒ අතර මට ලැබුණු ඉහළම සම්මානය සහ මගේ ටෙලි නාට්‍යය ජීවිතේ අමතක නොවනම නිර්මාණය වෙන්නේ සුසිරන්ද ද සිල්වා මහතා අධ්‍යක්ෂණය කරපු ඉසුරු යෝගය කියන නාට්‍යයේ මුතුමිණගේ චරිතය. මට සුමති සම්මාන උළලේ හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. ටෙලි නිර්මාණවල මගේ හැරවුම් ලක්ෂ්‍යය විදියට මම දකින්නේ ඉසුරු යෝගය.

මම හරි ආසයි කලාකරුවෙක් වීම ගැන සහ කලාව තුළින් ජීවිතය දකින්න ලැබීම. නමුත් ශ්‍රී ලංකාවේ කලාකරුවෙක් වීම ගැන නම් පොතක් ලියන්න තරම් දුක්මුසු කාරණා තියෙනවා. මේ රටේ අවාසනාව නෙවෙයි රට කරවන සහ පරිපාලනයට සම්බන්ධ අයගේ තියෙන ජඩකම නිසා අපි හරියට දුක් වෙනවා. මේ මම කියන හැමදෙයකටම මම වගකියනවා. මොකද මට සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්. නාට්‍ය අනුමණ්ඩල, රාජ්‍ය නාට්‍යය උළලේ විනිශ්චය මණ්ඩල කියලා එකක් තියෙන්නේ ඒක තමා ලංකාවේ තියෙන ලොකුම බොරුව සහ විහිළුව. කොහොමද එහෙම වෙන්නේ කියලා ප්‍රසිද්ධ සංවාදයක ඔප්පු කරන්න මම කැමතියි. හැබැයි කවුරුත් එන්නේ නැහැ. මොකද ඔය ඔක්කොමගේ බොක්කේ බිත්තර. මම 76 ඉඳන් ඉන්නේ මේ ක්ෂේත්‍රයේ. ඒ නිසා ඔය අයියලා එන්නේ කොහේ ඉඳන්ද කියන එකේ ඉඳන් දන්නවා.

ජීවිතය ගැන ආපස්සට හැරිලා බලද්දී නම් මම හිතන්නෙ කලාවට නැඹුරුවීම තුළින් විශාල විදියට වෙනස් වුණා. ඒ හරහා ජීවිතය දකින්න පටන් ගත්තා. මේ වෙද්දී මම බුද්ධ දර්ශනය හදාරන්න පෙලඹුණා. ඒ කියන්නේ පිච්ච මල් පූජා නෙවෙයි. ඒ තමයි ලංකාවේ බුද්ධාගම නැති කරන්න තියෙන ලොකුම බොරුව. ඒවා මට අදාළ නැහැ. හැම ආගමකටම මම ගරු කරනවා. නමුත් මම හදාරන්නේ බුද්ධ දර්ශනය. ත්‍රිපිටකය හොඳින් කියලා තේරුම් ගන්න උත්සහ කරන්න ඕනේ. මමත් තවම උත්සාහ කරනවා. කලාව නිසා මගේ ජීවිතය ආලෝකමත් වුණා. ඒ ගැන සංතෝෂයි. ඒ වගේම කියන්න ඕනේ මම ඇතුළු තව රූපණවේදීන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනා නම් ඉපදිලා තියෙන්නේ පෙර කරුමයකට. බොරු වංචාකාර කපටි අයට යන්න මාර්ග තියෙනවා ඕනේ තරම්. මම කතා කළේ උත්තම කලාව ගැන. මට උගන්වපු සියලු දෙනා බුදු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. උත්තම කලාව මට පෙන්වා දුන්නේ ඒ ගුරුවරුන්.

අනුෂා රණසිංහ