brand logo

පේරු රටේ ලැම්ඩා දරුණුතම කොවිඩ් වයිරස ප්‍රභේදයක්

11 July 2021

පසුගිය මාස කිහිපයේදී ලෝකයම කතා කළේ කොවිඩ් වයිරසයේ නවතම ප්‍රභේදය වන ඩෙල්ටා ගැනය. එය ලෝකයේ මෙතෙක් හමුවූ දරුණුතම කොවිඩ් වයිරස ප්‍රභේදය ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී තිබුණි. ඉකුත් කාලයේ එන්නත්කරණය කරමින් හා ලොක්ඩවුන් කරමින් කොරෝනාව පාලනය කළ බලවත් රටවල් රැසක්ද ඩෙල්ටා නිසා කබලෙන් ළිපට වැටුණි. ඒ අතරේ ලංකාවෙන්ද ඩෙල්ටා වැලඳුණු රෝගීන් දහ පහළොස් දෙනෙක් හමුවීයේ රටම තිගැස්සීමට පත්කරමිනි. අලි මදිවට කොටි කියන්නාක් මෙන් ඩෙල්ටා පරයමින් දැන් තවත් භයානක වයිරසයක් හමුවී තිබේ. එය නම් කර තිබෙන්නේ ‘සී.37’ හෙවත් ‘ලැම්ඩා’ කොවිඩ් වයිරස ප්‍රභේදය ලෙසයි. එම ප්‍රභේදය සොයා ගත්තේ දකුණු ඇමරිකානු රටක් වන පේරු රටෙනි. ලැම්ඩා ප්‍රභේදයේ පළමු ආසාදිතයා වාර්තාවන්නේ අද ඊයේ 'ක නම් නොවේ. ඒ මීට මාස එකොළහකට පෙරයි. සාමාන්‍යයෙන් මාස කිහිපයක් ඇතුළත සමාජයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේ කෙසේද යන්න කියාත්, ඔවුන්ට වැලඳී ඇති කොවිඩ් වයිරස ප්‍රභේද කවරේදැයි කියාත් අහඹු ජෛව සාම්පල පරික්ෂණ ලොව පුරා සිදු කෙරේ. ඒ ක්‍රමයටම පේරූ රාජ්‍යයේ පේරූ නුවර අශ්‍රිතව අහඹු ජෛව සාම්පල පරීක්ෂාවක් සිදුකිරීමට එරට සෞඛ්‍ය අංශ තීරණය කළේය. එම පර්යේෂණයේ වාර්තාවන්ට අනුව එක්තරා වෙනස් වූ කොවිඩ් වයිරසයක් ආසාදනය වූ අයෙක් සොයා ගැනීමට ලැබුණි.

ඒ අනුව, තවත් අහඹු පරික්ෂාවන් කිහිපයක්ම කිරීමට පේරූ සෞඛ්‍ය අංශවලට සිදුවිය. එහි අලුත්ම වාර්තාවලට අනුව පරීක්ෂා කළ ජෛව සාම්පල සියයට අසූවකගේම ඇත්තේ ‘ලැම්ඩා’ කොවිඩ් වයිරස ප්‍රභේදය බව තහවුරු විය. මේ සමඟම දකුණු ඇමරිකාවේ අනෙකුත් රටවල පවා සිය රටේ ‘ලැම්ඩා‘ කොවිඩ් වයිරස ප්‍රභේදය ව්‍යාප්තව ඇතිදැයි බැලීමට පරීක්ෂණ කළේය. ඒ පර්යේෂණයන්ට අනුව තවත් රටවල් පහළොවකින් ‘ලැම්ඩා’ සොයා ගත්තේය. ඒ පසුගිය ජුනි මාසයේදීය. අද වන විට ඒ සංඛ්‍යාව තිහක් දක්වා වර්ධනය වී තිබුණි. දැන් දැන් ලැම්ඩා ප්‍රභේදය හමුවන්නේ දකුණු ඇමෙරිකාවෙන් පමණක් නොවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම දත්තවලට අනුව ‘ලැම්ඩා’ ප්‍රභේදය ආසාදනය වූවන් සොයාගත් යුරෝපා රටවන්නේ එක්සත් රාජධානියයි. එහි ‘ලැම්ඩා’ ආසාදනය වුවන් හයදෙනෙක් සොයාගෙන තිබුණි. නමුත්, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසන්නේ ඒ හයදෙනාම විදෙස් රටවලින් පැමිණි සංචාරකයන් බවයි. කෙසේවෙතත්, ඇමෙරිකාවේ ලාස් වේගාස්හි නෙවාඩා විශ්වවිද්‍යාලය පසුගියදා පර්යේෂණයකට මුලපුරා තිබුණි. ඒ පේරූ රාජ්‍යයට ‘ලැම්ඩා’ ව්‍යාප්ත වූයේ කෙසේද කියා සොයා බැලීමටය. මෙහි පළමු පියවරේ ප්‍රගතිය පසුගියදා මාධ්‍යට නිකුත් කර තිබුණි. ඒ අනුව මුලින්ම පේරූ රාජ්‍යයෙන් ‘ලැම්ඩා’ වයිරසය සොයාගෙන ඇත්තේ නෙවාඩා ප්‍රාන්තයෙනි. එහි මහජන සෞඛ්‍ය රසායනාගාරය විසින් දත්ත වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ නෙවාඩාවෙන් පමණක් ‘ලැම්ඩා’ ආසාදනය වූවන් පනහකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ බවයි. පසුව ජුනි දෙවැනිදා වනවිට එය පන්සිය අසූ හතරක් දක්වා ඉහළ ගොස් තිබුණි.

බරපතළ තත්ත්වයේ පසුවන්නන් හෝ මරණාසන්න වූවන් හමුනොවූ බව නෙවාඩා ප්‍රාන්ත මහජන සෞඛ්‍ය රසායනාගාරයේ වාර්තාවන්හි සඳහන් වේ. එමෙන්ම, ‘ලැම්ඩා’ ආසාදනය වූ සියල්ලන්ම නිරුපද්‍රිතව සිටින බවත් නෙවාඩා රෝහල් සංගමය පවසන්නේය. නමුත්, පසුගිය දින කිහිපයේදී නෙවාඩා සහ ක්ලාක් යන ප්‍රාන්තයන්ගෙන් කොවිඩ් මරණ වැඩි වශයෙන් වාර්තා වන්නට පටන් ගත්තේය. ඒ මරණ බොහොමයකට හේතුව ‘ලැම්ඩා’ බව පසුව අනාවරණය විය.

කෙසේවෙතත්, නෙවාඩා විශ්වවිද්‍යාලය පර්යේෂක කණ්ඩායම විසින් තවත් අලුත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවිය. ඒ දකුණු ඇමරිකාවේ ප්‍රථම වරට සොයාගත් ‘ලැම්ඩා’ කොවිඩ් වයිරසය දකුණු නෙවාඩා හි අපජලය තුළිනුත් සොයාගෙන ඇති බවයි. එය ප්‍රජාව තුළ ව්‍යාප්ත වන බවටත් පර් යේෂකයන් විසින් අනතුරු අඟවා තිබුණි. මීට අමතරව රටවල් අතර පැතිරී යන කතාවක් වන්නේ ‘ලැම්ඩා’ ප්‍රභේදය කිසිදු කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතකට ප්‍රතිචාරයක් නොදක්වන බවයි. ආචාර්ය සොටෝ රයිසස් සහ වෛද්‍ය ලන්ඩෝගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් ෆයිසර්, මෝඩර්නා සහ කොරෝනාවැක් යන එන්නත් ‘ලැම්ඩා’ ට එරෙහිව ප්‍රතිචාර දක්වන්නේද නැද්ද කියා සොයන්නට පර්යේෂණයක් කළහ. ඔවුන්ගේ ඒ පර් යේෂණ වාර්තාවට අනුව ෆයිසර්, මෝඩර්නා සහ කොරෝනාවැක් යන එන්නත් වලින් ‘ලැම්ඩා’ ට එරෙහිව ලැබෙන්නේ අඩු ආරක්ෂාවක් බව තහවුරු විය. ඒත් ‘ලැම්ඩා’ හි අඩංගු ස්පයික් ප්‍රෝටීන මෙම එන්නත් තුළත් අඩංගු වන්නේය. එබැවින් ශරීරයට ඇතුළුවන ‘ලැම්ඩා’ කොවිඩ් ප්‍රභේදයේ බල බිඳ දැමීමට මෙම එන්නත් ත්‍රිත්වයටම හැකියාවක් පවතින බව ඔවුහු කියා සිටියහ. එමෙන්ම, මේ පිළිබඳව දීර්ඝ අධ්‍යනයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කළයුතු බව වෛද්‍ය සොටෝ රයිසස් විදෙස් මාධ්‍ය වෙත පැවැසීය. කෙසේවෙතත්, ආසියාතික රටවල් වෙත ‘ලැම්ඩා’ හි බලපෑමක් තවමත් සිදුව නොමැත. නමුත්, එයින් අදහස් කරන්නේ ‘ලැම්ඩා’ හි අවදානම පහව ගිය බවක් නම් නොවේ. ලංකාවට ලැම්ඩා එනවා නම් එය ඒමට ඇත්තේ එක ක්‍රමයකි. ඒ විදේශවලින් පැමිණෙන්නන්ගෙනි. ඔවුන්ගෙන් ‘ලැම්ඩා’ කොවිඩ් වයිරස ප්‍රභේදය ඕනෑම අවස්ථාවක මෙරටට ඇතුළුවිය හැකි බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අකුරටම පිළිපැදීම ඉතාමත් වැදගත් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියන්නේය.   හර්ෂණී දිසානායක
 

More News..