පලා පල

පේන්න ලෙඩක් නෑ | ඒත් නිතරම ඇඟට පණ නෑ | වේදනාවත් වැඩියි | අක්මාවේ තෙල් ( Fatty Liver ) දිය කරන හැටි

මිනිස් අක්මාවේ බර කිලෝ ග්‍රෑම් 1.5 කි. එය ශරීරයේ බරින් වැඩි විශාලතම ඉන්ද්‍රියයි. එමගින් ශරීරයට විශාල කාර්ය භාරයක් සිදු කරයි. ඒවායින් කීපයක් පහත දැක්වේ.

අක්මාව ශරීරයේ රසායනාගාරය ලෙසට හඳුන්වන්නේ එහි “ග්ලයිකෝජන්” නම් රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීමත් එම රසායන ද්‍රව්‍ය වරින් වර ග්ලූකෝස් බවට පත්කරමින්, ශරීරයට අවශ්‍ය ලෙසින් රුධිරයට නිදහස් කිරීමේ ක්‍රියාවලය නිසි පරිදි සිදුකිරීමත් නිසාය.

* ශරීරයේ රුධිරයට කැටිගැසීම වළක්වන ප්‍රෝටීන (Clotting Factors) සෑදීම
* ශරීරයට ඇතුළු වන සමහර සැර ඖෂධ වර්ගවල සැර ගතිය අඩුකර දීම
* පිත නිපදවීම (ආහාර ජීර්ණය සඳහා පිත ශරීරයට අත්‍යවශ්‍යය.)
* කොලෙස්ටරෝල් නිපදවීම
* ට්‍රයිග්ලිසරයිඩ නිපදවීම
* ග්ලයිකෝජන් නිපදවීම
* ලේ කැටි ගැසීමට අවශ්‍ය රසායන නිපදවීම
* 500කට අධික හෝමෝන වර්ග නිපදවීම
* විටමින් එක් රැස්කර තබා ගැනීම
ඇතුළුව අපගේ ශරීරයේ ක්‍රියාදාමයන් 500කට අධික සංඛ්‍යාවකට අක්මාව දායක වෙයි.

මේසා ප්‍රධාන කාර්යයන් රාශියක් සිදු කරන අක්මාව මිනිසාගේ නොදැනුවත්කමත්, නොසැලිකිලිමත් බවත් නිසා නොදැනුවත්වම රෝගී වෙයි. ඒ නිසා ඒ ගැන දැනුවත් වීම වැදගත්ය.

වර්තමානයේ අක්මාවේ මේද වැඩි වශයෙන් තැන්පත් වීමේ රෝගීන් විශාල වශයෙන් හමු වේ. මෙසේ අක්මාවේ මේද තැන්පත් වීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වන්නේ මත්පැන් පානය කිරීමයි. එහෙත් ඊට අමතරව මත්පැන් පානය නොකරන අයටත් මෙම රෝග තත්ත්වය දක්නට ලැබේ. ඒ Nonalcoholic fatty liver disease (NAFLD) නම් රෝග තත්වයයි.

මත්පැන් පානය නොකළ ද අක්මාවේ මේදය වැඩියෙන් තැන්පත් වීමට හේතුවන සාධක කීපයකි. එවැනි ගැටලු කල්තියා හඳුනා ගැනීමෙන් මෙම රෝග තත්වයෙන් වැළකිය හැකිය.

* ශරීරයේ අධික ස්ථුලතාව (අධික ස්ථුලතාවෙන් පෙළෙන අයගෙන් 2/3 කට මෙම ගැටලුව තිබේ.)
* දියවැඩියා රෝගයෙන් පෙළීම
* මන්දපෝෂණයෙන් පෙළීම
* ඇතැම් රෝග සඳහා ගන්නා ඖෂධ නිසා ද අක්මාවේ තෙල් තැන්පත් වේ.
අක්මාවේ තෙල් තැන්පත්වීම හෙවත් ෆැටී ලිවර් සුවකර ගන්නා අයුරු
* දිනකට අවම ලෙස මිනිත්තු 40ක් හොඳින් ඇවිදින්න. නැතිනම් පිහිනීම ද ඉතා සුදුසු ව්‍යායාමයකි.
* ගැඹුරු තෙලේ බදින ලද ෂෝටීස් වර්ග, තෙල් සහිත ආහාර, පාන්පිටි ආහාර වර්ග, ක්ෂණික ආහාර හැකි තරම් අවම කරන්න.
* හරක් මස්, ඌරු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් වැනි ඌෂ්ණ අධික ආහාරවලින් තොරවීම ගුණදායක වේ.
* ෆ්‍රයිඩි රයිස්, කොත්තු, පරාට, පාන්, ඉඳිආප්ප වැනි පිටි සහිත ආහාර නිතර ගැනීමෙන් වළකින්න. කිරිපිටි, මුදවපු කිරි, බටර්, මාගරින්, චීස් වැනි ආහාර හැකි තරම් අවම කරන්න.
* ඇල්කොහොල් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නතර කරන්න.
* ශාඛ තෙල් හෝ සත්ත්ව තෙල් ආහාර පිසීම සඳහා භාවිතය අවම කරන්න. සීනි, ලුණු අවම කරන්න.
ෆැටී ලිවර් රෝගියෙකු විසින් ගත යුතු ආහාර මොනවා ද?
අක්මාවේ තෙල් දිය කිරීමට බලගතු ආහාර වර්ග මේ මිහිතලය මත ඕනෑ තරම් තිබේ.
* නැවුම් එළවළු සහ පලතුරු වැඩි වශයෙන් ගැනීම
* තන්තු සහිත ආහාර
* කොළ පැහැති පලා වර්ග වැඩි වැඩියෙන් ගැනීම
* මාළු ( විශේෂයෙන් ඔමේගා 3 මේද අම්ල සහිත මසුන් ආහාරයට ගැනීමෙන් ෆැටි ලීවර් රෝගීන්ට රෝගය පාලනය කරගත හැකි ය.)
* මේදය අඩු කැලරි අඩු ආහාර (එවිට ඔබේ සිරුරේ ස්ථුලභාවය අඩු වේ. එවිට ෆැටි ලීවර් රෝගය අලුතෙන් වැළඳීම හෝ තිබෙන ෆැටිලීවර් තත්ත්වය ක්‍රමයෙන් සමනය වීම සිදු වේ.)

ෆැටී ලිවර් රෝගීන් ගත යුතු ඖෂධීය ආහාර

මේ සඳහා විශේෂ කැඳ වර්ග පානය කිරීම යෝග්‍ය වේ. ආයුර්වේදයේ පෙන්වා දෙන අන්දමට සමහර අවස්ථාවලදී නිසි ලෙස තමා විසින්ම පාලනය වුවහොත් රෝගය මුලිනුපුටා දැමීමට ද මෙම ඖෂධීය කැඳ ඉවහල් වේ.

* යකිනාරං කොළ කැඳ
* හීන් බා්විටියා කොළ කැඳ
* මොනරකුඩුම්බිය කොළ කැඳ

මේවා හීනටි හාල් හා දෙවෙනි හෝ තුන්වෙනි කිරි දමා සාදා ගැනීම වඩාත් ගුණ දායක වේ. මෙහිදී කොලෙස්ටරෝල් තැන්පත් වීම ඉවත් කරයි. අක්මා සෛල යථා තත්ත්වයට පත් කරයි.

* කොක්මොට කැඳ – මෙහිදී අක්මාවේ එන්සයිම යථා තත්වයට පත් වේ.
සෙංගමාල රෝගීන්ට ද ගුණදායක ය.
* පිටවක්කා කැඳ හෝ පිටවක්කා සම්පූර්ණ ශාකය තම්බා බීම
* බක් මී පොතු කැඳ
* දිවුල් පොල්කිරිවල දෙවැනි කිරි දමා සාදාගත් දිවුල් කිරි පානය අක්මාවේ විෂ නසයි.

මෙහිදී කැඳ කිතුල් හකුරු සමග ගැනීම වඩාත් යහපත්ය. කිතුල් හකුරු අක්මාවට වඩාත් ගුණදායක වේ.

■ අමතරව ගොටුකොළ කරපිංචා කොළ කැඳ පානය කිරීමද සුදුසු ය.
■ මැල්ල කොළ ආහාරයට ගැනීම
විෂ හරණය කිරීමේ හැකියාව වැඩියි. කොලෙස්ටරෝල් අඩුකරයි.
■ කැබැල්ල දළු මාළුව
කොලෙස්ටරෝල් අඩු කරයි. අක්මාවේ තෙල් අඩුකරයි.
■ මීට අමතරව වට්ටක්කා, කෝමාරිකා ව්‍යාංජනය, මූස්සන්න ව්‍යාංජනය, කිතුල් පිටි කැඳ, මුං ඇට තැම්බූ වතුර සහ මුං ඇටත් සුදුසුයි.

රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම පරීක්‍ෂා කර එහි වැඩිවීමක් ඇත්නම් සුදුසු ආහාර පාලනයක් සහිතව දේශීය ඖෂධ භාවිතා කරන්න.

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වී ඇති විට විශේෂ හේතුවක් නොමැතිව උදයේ අවදිවන විට ඔබගේ පාදයේ වළලුකර ප්‍රදේශය ඉදිමී ඇත්නම් ඔබගේ මුත්‍රාවල වර්ණය අඳුරු පැහැයට හුරුනම් ඔබට වෙනදාට වඩා වෙහෙසකාරී බවක් දැනේනම් ඔබගේ අක්මාව ද පරීක්‍ෂා කර ගැනීමද වඩාත් සුදුසු ය.

ආයුර්වේද වෛද්‍ය කල්‍යාණි පරණවිතාන