අතන මෙතන

පෘතුගාලයට පනින්න ගිය තරුණයෙක් මාට්ටු

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර පෘතුගාලයට පැන යාමට තැත් කළ, ශ්‍රී ලාංකික තරුණයෙකු අද(14) අළුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙක් වන අතර මෙම පුද්ගලයා කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් ඉතාලිය හරහා පෘතුගාලය වෙත පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ගුවන් තොටුපළ විගමන අංශය වෙත පැමිණි අවස්ථාවේ ඔහු ඉදිරිපත් කළ පෘතුගාල වීසා බලපත්‍රය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නොවන අයුරින් සකස් කළ, ව්‍යාජ එකක් බව එහි සේවය කළ නිලධාරීන්ට අවබෝධ විය.

ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා විසින් ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකයට යොමු කළ අවස්ථාවේ මෙම වීසා බලපත්‍රය තාක්ෂණික වශයෙන් ව්‍යාජ ලෙස සකස් කළ කූඨ ලියවිල්ලක් බව තහවුරු විය.

වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කිරීමේදී පෘතුගාලයේ සිටින තම ඉන්දීය ජාතික මිතුරෙකු , තමාට එරටට පැමිණීම සදහා උදව් කරන බව පැවසීය.

මෙම තරුණයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හට භාර දීමට පියවර ගෙන තිබේ.