brand logo

පුළුවන්නම් අපි එළියට දාන්න එතකොට බලාගන්න පුළුවන්

15 January 2022

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩුවේ ඇතැමුන් සමග අළුයට තිබූ ගිනි දැන් දැන් උඩට විත් එළිපිටම පත්තු වෙමින් තිබේ. ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන මෙන්ම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රිවරු ආණ්ඩුවේ කටයුතු දැඩිව විවේචනය කරමින් සිටිති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් යන කතාවක් ද කියැවිණි. මේ ගැන පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සමග කළ සාකච්ඡාවකි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තිබෙන දීගය කැඩෙන්නද යන්නේ නැහැ, එහෙම එකක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂ ප්‍රතිසංවිධාන වැඩේ කරගෙන යනවා. වත්මන් ආණ්ඩුවේ සිටින පක්ෂ අතරින් පක්ෂ ප්‍රතිසංවිධානය කරන එකම පක්ෂය අපියි. එහිදී ආණ්ඩුවේ රටේ තත්ත්වය ගැන පාක්ෂිකයන් ඉදිරිපිට කතා කරනවා. ඒවා මාධ්‍ය වාර්තා කරනවා. නමුත් පාක්ෂිකයාට රටේ ඇත්ත තත්ත්වය අපි තේරුම් කර දිය යුතුයි. නැතිනම් පාක්ෂිකයා හිතනවා ආණ්ඩුව කරන සියලු දේට අපි සහයෝගය දක්වමින් අන්දභක්තිකයන් ලෙස ඉන්නවා කියලා. අපි අපේ මතවාදය කියනවා. එය මාධ්‍යයේ පළවූ පසු ආණ්ඩුවේ ඉන්න ඇතැම් අය මෝඩ විදිහට තීන්දු තීරණ ගන්නවා. දේශපාලනය නොදන්නා තොත්ත බබාලා අපට පහර දෙනවා. අපිට කරන්න දෙයක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවානම් වෙනම විසඳගන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කසාද බඳිනකොට පොරොන්දු වූ දෑවැද්ද නොලැබුණු ප්‍රශ්නයක්ද මෙතන තියෙන්නේ? කසාදෙවත්, දෑවැද්දෙවත් ප්‍රශ්නයක් නොවෙයි. ඒවා ගැන විරෝධතා දක්වා තියෙනවා. කතා කරලා තියෙනවා. කසාද කොන්දේසි කඩ කිරීම් නොවේ විහින් හදාගත්ත ප්‍රශ්න තියෙනවා. මොනවද එම ප්‍රශ්න? ගෑස් ප්‍රශ්නය මාස ගණනක් ප්‍රශ්නේ තියෙනවා. ප්‍රමිතිය වෙනස් කළ අයට පියවර ගත්තද? ජනතාව පෝලිම්වල ඉන්නවා. පොහොර පිළිබඳව ජනාධිපතිවරයා හොඳ තීන්දුවක් ගත්තත් කඩිනමින් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඇති කරගත් ප්‍රශ්න තියෙනවා. මේවා තමයි අර්බුද. කසාදයේ දෑවැදි ලැබුණේ නැහැ කියා ප්‍රශ්නයක් නැහැ. මුලින් කතා කරලා තියෙන්නේ විහින් හදා ගත්ත ප්‍රශ්න නිසා ලොකු මහජන විරෝධයක් ආණ්ඩුවට තියෙනවා. ඒක පිළිනොගනිමින් කටයුතු කරනවා. මේ ප්‍රශ්න ගැන දේශපාලන දැනුමක් ඇති ආණ්ඩුවේ මැති ඇමැතිවරු සමග කතා කළේ නැද්ද? ඒ අයත් එක්කත් කතා කළා. ජනාධිපති අගමැති මුදල් ඇමැති සමග කතා කළා. නමුත් මේ වන තුරු විසඳුමක් ලැබුණේ නැහැ. අපට තියෙන්නේ ඇමැති තනතුරුවලට ප්‍රශ්නයක් නොවෙයි. අපේ අපේක්ෂකයෝ, මන්ත්‍රිවරු සංවිධායකවරු ඉන්නවා. අපි කියන්නේ බලය හදන්න එකතු වුණා වගේ ආණ්ඩුකරණයේදීත් අපිව එකතු කර ගන්න කියලයි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට අපේ සංවිධායකයන් සහභාගි කරවා ගත යුතුයි. ඇතැම් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට මේ වනතුරුත් අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහභාගි කරවාගෙන නැහැ. ආරාධනාත් නැහැ. මෙහෙම සිද්ධ වෙන කොට ආණ්ඩුවේ නොවෙයිනේ අපි ඉන්නේ. විරුදධව වැඩ කරන සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ අයට අණ්ඩුව සලකනවා. උදව් කරලා මොකද වුණේ කියලා අපි කල්පනා කරනවා. එම නිසා මේ පළිගැනීමේ ප්‍රමාණය මොකක්ද කියා අපි සිතනවා. ශ්‍රීලනිපයට පල නොකියා පලා බෙදනවාද? පළ නොකියා කියා නොවෙයි ඇත්තටම අපට ගහනවා. අපි පොඩි ළමයින් නොවෙයිනේ. අපිට තේරෙනවා අපි එම ප්‍රශ්න තමයි ජනතාවට කියන්නේ. නාමල් රාජපක්ෂ ඇමැතිතුමාත් කියනවා කිය කියා ඉන්නේ නැතිව යන්න කියලා? තරුණයෝ කාන්තාවන් එක්ක සම්බන්ධකම් තිබිලා ඒ අය දූෂණය කළාම. පාවිච්චි කළාම සමහරු කියනවා ‘‘අඬන්නේ නැතිව යන්න ඕයි යන්න කියලා’’ ඔය කතාවත් ඒ වගේ වැඩක්. කුණු කතා අහමින් තවත් ඉන්නේ ඇයි? අපි ජනාධිපතිවරයා, ආණ්ඩුව හදන්න මහන්සි වුණ පක්ෂයක්. අපිට අයිතියක් තියෙනවා පාවිච්චි කරලා ‘‘කොන්ඩම්’’ වගේ එළියට දාන්න ආණ්ඩුවට බැහැ. එළියට දානවා නම් දාන්න කියමු. එතකොට බලාගන්න පුළුවන්. ඇමැති ධුර දාලා යන්න ලෝබද? අපෝ නැහැ. ඇමැති ධුර දාලා යන්න අපට පුළුවන්. අතහැරලා යනවා නම් ආණ්ඩුවෙන් ගිහිල්ලා විපක්ෂයේ වැඩේ පටන් ගන්න ඕනි. ඒක පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත යුතු තීරණයක්. මට හෝ හිටපු ජනාධිපතිතුමාට එම තීරණය ගන්න බැහැ. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිවරයා වරක් කීවා ‘‘අග්‍රඵලය’’ ලබන්න ඉවසන්න ඕනේ කියලා. මේ දැන් හදන්නේ අග්‍රඵලය ලබන්නද? අග්‍රඵලය ලබනවාද? නැද්ද කියා මම දන්නේ නැහැ. එතුමාටත් යම් විවේචනයක් තියෙනවා. කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ‘‘අපි වවමු රට නගමු’’ සංකල්පය ගෙනල්ලා රටේ ආහාර හිඟයට ශක්තියක් ගෙනදුන් නායකයෙක්. පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලිකව දැනුවත් කළා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා කාබනික පොහොර වගාව පිළිබඳව අවශ්‍ය වෙලාවේ අවශ්‍ය උපදෙස් ගන්නවා කියලා. නමුත් කිසිම කමිටුවකට කතා කළේ නැහැ. අපේ රටේ ජනාධිපතිවරු තුන්දෙනෙක් ඉන්න එකම ආණ්ඩුව. ඒ අයගෙන් ප්‍රයෝජනයක් ගත යුතුයි. තනතුරු නොවෙයි හිටපු ජනාධිපතිවරුන්ගෙන් උපදෙස් අරගෙන වැඩ කළ යුතුයි. එහෙම නොවෙන නිසා වේදනාකාරී තත්ත්වයක් හිටපු ජනාධිපතිතුමාට තියෙනවා. පොහොර ප්‍රශ්නය අවුල් කළේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය බවට චෝදනා එල්ල වුණා. ආර්ථික ප්‍රශ්නයේදී පී.බී. ජයසුන්දරට චෝදනා එල්ල වුණා. ඔවුන් දෙදෙනාම කුරුණෑගල. මේක කුරුණෑගල ප්‍රශ්නයක්ද? කුරුණෑගල හැම කෙනාම දෙන උපදෙස් වැරැදිලා නැහැ. කුරුණෑගල හරි අයගෙන් උපදෙස් නොගැනීම තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් තියෙනවාද? එය සම්පූර්ණයෙන් බොරු කතාවක් අරුණ පත්තරේ කරපු ‘‘ප්ලාන්ට්’’ එකක් විදිහටයි මම දකින්නේ. කිසිදු තීන්දුවක් අරගෙන නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් තියෙනවා කියලා අරුණ පත්තරේ ලියලා තිබුණේ පරිසර අමාත්‍යාංශය ආවරණය කරන වාර්තාකරුවා. ඔහුට මේ බෙදීම් ගැන කීවේ කවුද කියලා මම දන්නේ නැහැ. අපේ පක්ෂයේ බෙදීමක් නම් නැහැ. ප්‍රවෘත්තියේ තිබුණා හිටපු ජනාධිපති හා වයඹ ප්‍රබලයෙක් පක්ෂය සමගි ජන බලවේගයට අරන් යන්න හදනවා කියලා. ප්‍රවෘත්තිය දුන්න කෙනාට ඕන ඇති දයාසිරි ජයසේකර සමගි ජන බලවේගයේ එල්ලන්න. මම පක්ෂ මාරු කරපු නිසා ඒ අය උත්සාහ කරනවා මම සජබයට එළවන්න. මම කිසිවිටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් දේශපාලන පක්ෂයකට එල්ලන්න කතා කරලා නැහැ. අනාගතයේ වෙන්නෙත් නැහැ. පක්ෂයේ කොටසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වෙනවා කියා තිබුණා. ඒකත් බොරුවක්. කිසිම කෙනෙක් ඉල්ලා අස්වෙලත් නැහැ. පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුදයක් හදන්න ලබා දුන්න ප්‍රවෘත්තියක්. මමත් හිටපු ජනාධිපතිත් අතර ගැටුමක් හදන්න කරපු නින්දිත උත්සාහයක්. අපේ කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ. ඔබ එජාපයේ හිටපු ආකර්ෂණීයම තරුණ දේශපාලනඥයෙක් දිගටම එක්සත් ජාතික පක්ෂයේ හෝ සමගි ජන බලවේගයේ හිටියනම් නායකයෙක් වෙන්න තිබුණා නේද? ගිය දේ ගියා ඒවා ගැන දැන් කල්පනා කරලා වැඩක් නැහැ. ඊළඟ මැතිවරණවලට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් සැලසුමක් තියෙනවාද? තවම කතා කරලා නැහැ. ඔබගේ ප්‍රශ්න ගැන අගමැති හෝ මුදල් ඇමැති සමග කතා කළේ නැද්ද? අගමැතිතුමා සමග නම් කතා කළේ නැහැ. මුදල් ඇමැතිතුමා සමග නම් කතා කළා. මුදල් ඇමැතිතුමා හොඳට සවන්දීලා කරන්නම් කියනවා. තවම වෙලා නැහැ. හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂයත් දැන් ගහනවනේ? ‘‘කොළඹ හාදයා’’ කීවේ එයාට කියලා රවි කරුණානායක මහතා තොප්පිය දාගෙන තියෙනවා. ඒකට තමයි ෆයිල් මතක් වෙලා තියෙන්නේ. කොළඹ හාදයාලා ලංකාවේ කොච්චර ඉන්නවාද? රවිටත් ෆයිල් ගන්න මතක් වෙලා තියෙන්නේ දැන්. කවුරු විසින් මෙහෙයවනවාද කියා ප්‍රශ්නයක් තියෙනවා. එතුමාගේ නඩුවේ කෑලි කෑලි අයින් වෙනවානේ. තව චෝදනා කිහිපයක් තියෙනවා. ඒ ටිකත් ඉවත් කර ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. කවුරු හරි කියලා ඇති. හිටපු ජනාධිපතිවරයා විවේචනය කිරීම නිසා අනෙකුත් චෝදනාවන් ඉවත් කර නිදොස් කොට නිදහස් කරන්න පුළුවන් කියලා. ආණ්ඩුවත් සමග කරන අරගලයේ අවසානය කොතනද? අවසානය ඉදිරියේදී. බලමු එක පැත්තකින් මාධ්‍ය විසින් හදපු රණ්ඩුවකුත් තියෙනවා. එක එක දේශපාලනඥයාගෙන් ‘‘වොයිස්කට්’’ අරගෙන මෙම ප්‍රශ්නය උත්සන්න කරනවා. මාධ්‍ය මගින් උලුප්පා දක්වන ලද භේදයකුත් තියෙනවා. ප්‍රවේශම් විය යුතුයි. වයඹ මහ ඇමැති ධුරයට ඔබ ඉල්ලුවේ රාජපක්ෂවරු සමගයි. ඒ මොහොතේ ඔබ චන්ද්‍රිකාගේ වාර්තාවක් කඩලා ඡන්ද ගත්තා. රාජපක්ෂවරු සමග දේශපාලන ගමන ඉදිරියට ගියාන් ඔබට හොඳ කලදසාවක් තියෙනවා නේද? මට එහෙම කල දසාවක් ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපේ කලදසාව ගැන කතා කළේ නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා. පක්ෂය කඩාගෙන ගියේ නැහැනේ. මම පක්ෂයට නැවත ආවේ 2013 වසරේදී පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණා. පොහොට්ටුව හදනකොට පක්ෂය කඩාගෙන මම එතැනට ගියේ නැහැ. මම වෙන පක්ෂයකට යන්නේ නැහැ කියා මම තීන්දු කරලා තියෙනවා. එම තීන්දුව නිසා තමයි කැපිලි කෙටිලි ඇවිත් තියෙන්නේ. ඕවා තාවකාලිකයි. දේශපාලනය තාවකාලිකයි. ඔබත් මේ වෙලාවේ අනුගමනය කරන්නේ මහින්ද රාජපක්ෂ තියරියද? ඒ කියන්නේ මොකක්ද? මහින්ද රාජපක්ෂ පක්ෂ මාරු නොකර සිටියනේ? ඇයි මහින්ද මහත්තයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර පොහොට්ටුවට ගියානේ. නැහැ මහින්ද රාජපක්ෂට චන්ද්‍රිකාගේ කාලේ කොතරම් කෙනහිලි ආවත් ඔහු ඉවසාගෙන හිටියා. පක්ෂය දාලා ගියේ නැහැ. ඔහු ජනපති ධුරයට දෙවරක් පත්වන තුරුම පක්ෂය මාරු කළේ නැහැනේ. මම මහින්ද රාජපක්ෂගේ තියරියම අනුගමනය කරනවා කියලා කියන්නේ නැහැ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයේත් රැඳිලා ඉන්නවා. පිට යන්නේ නැහැ. පක්ෂයේ ඉදිරි අරමුණ මොකක්ද? ඕනෑම දේශපාලන පක්ෂයක අරමුණ බලය ගැනීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අනාගතයේ හොඳ ආණ්ඩුවක් හැදීමේ අරමුණ බලාපොරොත්තු තියෙනවා. අපි ඇතිවෙන්න පාඩම් ඉගෙන ගෙන තියෙනවානේ. ඒ නිසා තමයි අපේ සැලසුම් ක්‍රියාත්මක වන්නේ. උදයජීව ඒකනායක
 

More News..