කතුවැකි

පුලස්තිනී මහේන්ද්‍රන් සාරා ජෙස්මින් බවට පත් කෙරෙන තුරු අපි බලා සිටියෙමු

පාස්කු ප්‍රහාරයේ සැකකාරියක ලෙස නම් කර සිටින පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මව, එම ප්‍රහාරය පිළිබඳ සොයා බලන කොමිසම හමුවේ කර ඇති ප්‍රකාශය මගින් කාගේත් අවධානයට ලක්විය යුතු කාරණයක් සඳහන් කර තිබේ. පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් යනු පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොම්මදු හස්තුන් යන අයගේ බිරිඳය. පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු පසුගිය වසරේ අප්‍රේල් 26 දා අම්පාර සායින්දමරුදු හි නිවසක පිපිරීමක් සිදු වූ අවස්ථාවේ ඇයද එහි සිටි බව වාර්තා වී තිබුණද ඒ බව තහවුරු වී නැත.

සාරා ජෙස්මින්ගේ මව පවසන්නේ හින්දු පවුලක උපන් ඇයගේ දියණිය, අබ්දුල් රසාක් නම් අයකු විසින් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවාගෙන ඇති බවය. පුලස්තිනී මහේන්ද්‍රන්, සාරා ජෙස්මින් වන්නේ ඒ අනුවය. ඉන්පසු අබ්දුල් රසාක් ඇතුළු පිරිස සාරාගේ කැමැත්තෙන් තොරව මොහොම්මදු හස්තුන්ට විවාහ කර දී තිබේ. ඉන් පසු මේ කණ්ඩායම තමන්ගේ දියණියට පිටස්තරයන් සමග සම්බන්ධතා පැවැත්වීමට පවා තහනම් පනවා තිබූ ආකාරය සාරාගේ මව කොමිසම හමුවේ දීර්ඝ විස්තරයක් කර තිබේ.

ඉස්ලාම් අන්තවාදීන් මධ්‍යස්ථ ඉස්ලාම් බැතිමතුන්ව බලහත්කාරයෙන් බියවද්දා අන්තවාදයට ගෙන යන බවට චෝදනා නැගෙන්නේ, පාස්කු ප්‍රහාරයට පෙර සිටමය. එපමණක් නොව ඔවුන් අන්‍ය ආගමිකයන්වද ඉස්ලාම් ආගමට බඳවා ගන්නා බවට චෝදනා නැගී තිබේ. එසේ වුවත් අන්‍ය ආගමිකයකු බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට බඳවා ගැනීමක් මීට පෙර වාර්තා වී නැත. තමන්ගේ දියණිය එම අන්තවාදීන්ගේ ග්‍රහණයෙන් නිදහස් කර ගැනීමට තමන් කොතෙකුත් උත්සාහ කළත් එය සාර්ථක නොවූ බව සාරාගේ මව ප්‍රකාශ කොට තිබේ. වැදගත්ම කාරණය වන්නේ පොලිසියෙන්ද ඒ සඳහා ඇයට සහායක් නොලැබීමය.

ඇතැම් විටෙක පොලිසිය සාරාගේ මවගේ පැමිණිල්ල මත සාධාරණ පරීක්ෂණයක් පැවැත්වූයේ නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉන්දීය ඔත්තු සේවා හෙළිදරව් කරන්නට පෙර බොහෝ දේ අනාවරණය කර ගන්නට පවා ඉඩක් ලැබෙන්නට තිබිණි.

කෙසේ වෙතත් පොලිසිය සාරාගේ මවගේ පැමිණිල්ල කෙරෙහි බරපතළ ලෙස නොසලකන්නට ඇත්තේ, රටේ පාලකයන් පවා ඉස්ලාම් අන්තවාදය ගැන නොදැක්කා සේ සිටීම නිසා විය හැකිය. රට තුළ ඉස්ලාම් අන්තවාදයක් ඇති බවට විවිධ සංවිධාන විටින් විට හඬ නැගුවද වගකිව යුතු කිසිවකු ඊට අවධානයක් යොමු නොකළ බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ද පාස්කු කොමිසම හමුවේ ප්‍රකාශ කොට තිබේ. උන්වහන්සේ පවසන අන්දමට මුස්ලිම් අන්තවාදී සංවිධාන 43 ක් මෙරට ක්‍රියාත්මකය. ඉස්ලාම් අන්තවාදය ගැන කතා කරන අය අන්තවාදීන් ලෙස හංවඩු ගැසුණා සේම ඒ ගැන වාර්තා කරන මාධ්‍යවලට පවා ජාතික සමගියට වින කරන්නේ යැයි චෝදනා එල්ල වූ අවස්ථා තිබේ. අවසානයේ ඉස්ලාම් අන්තවාදීන් බිහිසුණු ප්‍රහාරයකට සූදානම් වන බවට තොරතුරු වාර්තා වූ අවස්ථාවේ පවා ඒ ගැන නිහඬව සිටින්නට තරම් අපේ පාලකයෝ ඔලමොට්ටල වූහ.

එතරම් බිහිසුණු අපරාධයක් සිදුවීමෙන් පසුව හෝ තවමත් ඉස්ලාම් අන්තවාදයට වැට බඳින්නට අපට හැකි වී නැත. ඕනෑම කෙනකුට තමන්ගේ විශ්වාසය අනුව ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස තිබේ. එහෙත් කිසිවෙක් බලහත්කාරයෙන් තමන්ගේ අන්තවාදයට රැගෙන යෑමට කිසිවකුට අයිතියක් නැත. අන්තවාදීන්ගේ ඉගැන්වීම් රජයේ පෙළ පොත්වලට පවා ඇතුළත් වී ඇති අතර තවමත් මද්‍රසා පාසල් මේ රට තුළ ක්‍රියාත්මකය. එසේ නම් මේ වන විටත් බලහත්කාරයෙන් අන්‍ය ආගමිකයන් තමන්ගේ අන්තවාදයට ගැනීම සිදු නොවන්නේ යැයි සහතික විය හැක්කේ කාටද?

පුලස්තිනී මහේන්ද්‍රන්ට කළ බලහත්කාරය ආගමික බලහත්කාරයක් ලෙස නොසැලකුවත්, එය කෙනකුගේ පෞද්ගලික නිදහසට එල්ල කළ බලවත් පහරකි. තමන්ගේ ආගමික විශ්වාසය අත්හැරීමට, කැමැත්තෙන් තොරව විවාහයකට ඇතුළත් වීමට ඇයට කළ බලපෑම ගැන අප ගෙන තිබෙන පියවර කුමක්ද? ඊට වගකිව යුතු අය, ඇතමෙක් මේ වන විට ජීවතුන් අතර නැතත් ඊට මුල් වූ අබ්දුල් රසාක් නම් පුද්ගලයා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක්ද? අවශ්‍යතාවක් ඇත්නම් මේ මොහොතේ වුවත් ඇයගේ මවගේ පැමිණිල්ල මත විමර්ශනයක් ආරම්භ කළ හැකිය. එවැනි විමර්ශන කිසිසේත්ම ඉස්ලාම් බැතිමතුන්ට එරෙහිව කෙරෙන විමර්ශනයක් නොව, තරුණියකගේ මානව නිදහස අහිමි කිරීම පිළිබඳ විමර්ශනයකි.

කෙසේ වෙතත් මේ වන විට සාරා ජෙස්මින් ජීවතුන් අතර සිටින්නේද, යන්න පැහැදිලි නැත. ඇය මේ වන විට ඉන්දියාවට පලා​ගොස් ඇතැයි වාර්තා වී තිබේ. එසේ නම් ඇය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඉන්දියාවේ සහාය ලබාගත හැකිය. එසේ නොමැති නම් ඇය එහි සිටියදීම ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බාධාවක් ඇතැයි අපි නොසිතමු.

දේශපාලකයකුට හෝ ඉහළ නිලධාරියකුට හයියෙන් වාතයක් පිට වුවත් පාරට බහින, ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන, නිවේදන නිකුත් කරන ඊනියා මානව හිමිකම් සංවිධාන සාරාගේ මූලික අයිතීන් උල්ලංඝනය වීම ගැන කියන්නේ කුමක්දැයි දැනගැනීමට ද අපි කැමැත්තෙමු. එසේම මේ රටේ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් ඇතැයි කියන කාන්තා සංවිධාන ද සාරාගේ අයිතීන් වෙනුවෙන් හඬ නංවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන කොමිසමේ අවසන් ප්‍රතිඵලය කුමක් වනු ඇත්දැයි අපි නොදනිමු. මේ රටේ බොහෝ කොමිසම්වල ඉතිහාසය දන්නා ජනතාවද පාස්කු කොමිසම ගැන වැඩි විශ්වාසයක් තබා නොමැති බව අපි දනිමු. එසේ වුවත් මෙම කොමිසමේ සාක්ෂි විභාග කිරීම තුළින් ඉස්ලාම් අන්තවාදය කොතරම් සූක්ෂ්මව මෙරට සමාජය තුළ පැතිර තිබේද යන්න ගැන කරුණු අනාවරණය වෙමින් තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය යනු මෙරට ඉස්ලාම් අන්තවාදයේ එක් සිද්ධියක් පමණකි. ඉන් විනාශ වූයේ ජීවිත 260 ක් පමණකි. තුවාල ලැබූ සංඛ්‍යාව 500 ක් පමණ විය. ඉස්ලාම් අන්තවාදය මෙරට සමාජයට, රටේ ආරක්ෂාවට, ජාතීන් අතර සහයෝගීතාවට මිනිස් නිදහසට කර ඇති හානිය හා සසඳන විට, පාස්කු ප්‍රහාරයේ හානිය ඉතා සුළු එකක් ලෙස සැලකිය හැකිය. පාස්කු කොමිසමේදී හෙළිවන කරුණුවලින් එම ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඬුවම් කිරීම කෙසේ වෙතත්, තවමත් ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදය මැඬලීමට වගකිවයුත්තන් පියවර ගනු ඇතැයි අපේක්ෂා කරමු. එසේ වුවහොත් එය පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණය ඉටු කිරීමක්ද වනු ඇත.