brand logo
logo

‘පුටුවට’ එකඟ වූ පසු ‘පොහොට්ටුව’ ගැන කතා මොකටද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ කියයි

03 December 2019

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පුටුව ලාංඡනයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමේ එකඟතාවක් තිබියදී පොහොට්ටුව ලාංඡනයෙන් තරග කළ යුතු බවට ඇතැම් මැතිඇමැතිවරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අනුමත කළ නොහැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට ඊයේ (2 වැනිදා) පැවසීය. එම ප්‍රකාශකයා මේ බව සඳහන් කළේ මහ මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කළ යුතු බවට ඇතැම් මැති ඇමැතිවරුන් පළ කරන අදහස් සම්බන්ධයෙන් ‘අරුණ’ කළ විමසුමකට පිළිතුරු වශයෙනි. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවා ගනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ පහළොවක එකඟතාවකින් යැයිද ඊට අදාළ ගිවිසුමකට පවා අත්සන් කර ඇතැයිද එම ප්‍රකාශකයා කීවේය. එසේ තිබියදී ඊට පරස්පර ලෙස අදහස් ප්‍රකාශ කිරීම එකඟතාවන්ට බාධාවක් යැයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීවේය. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සාකච්ඡාවකදීද එකඟතාවකට පැමිණ තිබුණේ ඉදිරි මැතිවරණයේදී පොදු ලකුණකින් තරග කිරීමට බවත් එම එකඟතාවකට පැමිණ තිබුණේ ඉදිරි මැතිවරණයේදී පොදු ලකුණකින් තරග කිරීමට බවත් එම එකඟතා කඩ කිරීම යෝග්‍ය නොවන බවත් හෙතෙම කීවේය. කෙසේ වුවද පොහොට්ටුවෙන් තරග කළ යුතු බවට වගකිව යුතු පුද්ගලයෙක් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති හෙයින් කලබල විය යුතු නැතැයි යන්න ඔහුගේ අදහස විය. පොහොට්ටුවෙන් තරග කළහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අනිවාර්යෙන්ම ලබා ගත හැකි යැයි බලශක්ති රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන ඉකුත් සතියේ ප්‍රකාශ කළේ ඉදිරි මැතිවරණයේදී පොහොට්ටු ලාංඡනයෙන් තරග කිරීම ජයග්‍රහණයට හේතුවක් වන බවයි. නිලන්ත මදුරාවල
 

More News..