විශේෂාංග

පුංචි හඳුන්කූරේ අලි කතන්දරේ

හඳුන්කූර අපේ ජීවිතයේ ඉතාම සමීප අයිතමයකි. ගේ ඇතුළේ සුවඳ හමන්නට පත්තු කරන හඳුන්කූර රජ කළේ මදුරු කොයිලය එනතුරුය. දැන් කවුරුත් ඇඳ යට මදුරු කොයිල‌යෙන්​ එන රසායනික වාතය ඉවසා ගත නොහැකිව කාමරයක හඳුන්කූරක් දෙකක් ගහන සංස්කෘතියක්ද ඇතිවී ඇත. එයින් නොකියා කියන්නේ ලංකාවේ නිදහසෙන් පසු බිහි වූ ආණ්ඩු අඩුම තරමේ මදුරුවෝ ටිකවත් මරාගන්න බැරි ආණ්ඩු වූ බව නොවේද?

ඉකුත් දා ලොව පුරා පැතිර ගිය ප්‍රවෘත්තියක තිබුණේ ඊජිප්තුවේ මිනිස් හිස් කබල් සමග මමියක සුනඛ හිසක්ද තිබුණ බවය. එම ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන් කළේ සුවඳ කූරු බහාලනයක් එහි තිබී ඇති බවය. එය විශේෂ කරුණක් නොවූයේ ලෝකයේ සුවඳ කූරු භාවිත කළ ආදිතමයන් වන්නේ ඊජිප්තු වැසියන් වීමය. සුවඳකූරුවල දැවෙමින් දසත සුවඳ විහිඳුවීම ඊජිප්තුවේදී ඉතිහාසගත වී ඇත්තේ ලොව මුල්වරටය.ඒ
Combustible bouqvets යන නිර්මාණයක් ලෙසය. එමෙන්ම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ද මේ සුවඳකූරු භාවිත කළ බවට ඇඳ ඇති සිදුවීම්වලින් පැහැදිලි වේ.

ලංකාවේ නම් හඳුන්කූරු කියූ සැණින් අපේ මතකයට එන්නේ ඉන්දියන් හඳුන්කූරුය. එහෙත් ඒ කලකට ඉහතය. හඳුන්කූරු සම්බන්ධ රාජ්‍ය බදු ප්‍රතිපත්තිය වෙනස් වීම නිසා ඉන්දියන් හඳුන්කූරු නිෂ්පාදකයන්ට සිදුවූයේ ලංකාවේ නව කර්මාන්ත ශාලා ආරම්භ කොට ලංකාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නටය. 1977 දී ජේ.ආර්.​ ගේ ධර්මිෂ්ට ආණ්ඩුව පිහිටවූ යුගයේ ලංකාවේ රුපියල ඉන්දියාවේ රුපියලකට වඩා දෙගුණයකටත් වඩා
වටිනාක​ෙමන් වැඩිය. ඒ යුගයේ පුවත්පත් බැලූ විට පෙනී යන්නේ එකල ලංකාවට මුළුමනින්ම හඳුන්කූරු මෙන්ම බිත්තරද ගෙනවිත් ඇත්තේ ඉන්දියාවෙන් බවය. ජේ.ආර්.ගේ ආණ්ඩුවේ මුදල් අමැති රොනි ද මැල් එවකට රුපියල් 7කට තිබූ ඇමෙරිකන් ඩොලරය පළමු අයවැයෙන්ම 100% රුපියල අවප්‍රමාණ වීම නිසා රටේ ඇතිවූයේ අර්බුදකාරී තත්ත්වයකි.

මෑතක් වනතුරුත් මෙරට දේශීය හඳුන්කූරු කර්මාන්තය පැවැතියේ ගෘහ කර්මාන්තයක් ලෙසය. හැට්ට චීත්ත ඇඳගත් නැන්දලා උණබට කූරට අතින් සුවඳ කුඩු තලපය ගල්වා දෙඅත්ලේ ඒ පැත්තටත් මේ පැත්තටත් යවන්නේ කුර හඳුන්කූරු මුදලාලි කියන නිසි ප්‍රමාණයට ගෙන එන්නටය. උන්දලට දවසේ පඩිය ලැබුණේ අතින් හදන ලද හඳුන්කූරු ප්‍රමාණයටය. සේවා කාලය නිමවීමෙන් පසු හඳුන්කූරු අතින් හදන බලවත් උදවිය තව අමුද්‍රව්‍ය ටිකක් ගෙදර ගෙන ගියේ ගෙදර ගොස් ද හදාගෙන ඒමෙන් ගෙදර වියහියදම් කීපයක් එයින් අතමිට මොලවා ගත හැකි නිසා විය යුතුය.

එහෙත් අතින් හඳුන්කූරු හදන ඒ යුගය දැන් හමාර වී ඇත. ඒ සන්දියේ ඒ හඳුන්කූරුවලට කිව්වේ Handrolled bathies කියාය. එදා ගෘහ කර්මාන්තයක් වූ හඳුන්කූරු කර්මාන්තයට දැවැන්ත ආයෝජකන් පිවිසීම නිසා දැන් එය දැවැන්ත හඳුන්කූරු කර්මාන්තශාලා බවට පරිවර්තනය වී ඇත. හඳුන්කුරු කර්මාන්තයේදී එදා මෙන් මන්න අරගෙන කූරු ගන්න උණබට පලන්නේ නැත. අතින් හදන හඳුන්කූරු දැන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. උණ කුරු ගන්න ‌මේ වන විට උණ බට පලන්නේ වියට්නාම් මැෂින්වලිනි. හඳුන්කුරු නිෂ්පාදනය ‌​ෙවන්නේ යන්ත්‍රානුසාරයෙනි. එදා බිම ඉඳගෙන ඕපාදූප කතා කරමින් ගැහැනු අතින් පැය ගාණක් හැදූ හඳුන්කූරු දැන් විනාඩි ගණනකදී දස දහස් ගණනක් නිෂ්පාදනය වන්නේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන මැෂින් මයින්ඩර්ලා දෙදෙනකුගෙනි.

කෙසේ නමුත් අප පුන පුනා හඳුන්කූරු ලෙස නිර්වචනය කරන ව්‍යාපාරය තුළ ඉතිරිව ඇති සුළු නිෂ්පාදකයන් අත ඇත්තේ රු. 50ට අඩු මිලට විකිණෙන හඳුන්කූරුය. බොහෝ විට රු. 20ට විකිණෙන හඳුන්කූරු පැකට් මහා පරිමාණ නිෂ්පාදකයන් නිෂ්පාදනය නොකරන නිසා දේශීය හඳුන්කූරු සුළු නිෂ්පාදකයන් කොටසක් තවමත් ඉතිරිව ඇත. වෙළෙඳපොළේ ඇති හඳුන්කූරු බොහෝ ඒවායේ සාමාන්‍ය මිල බවට රු. 80 පත්වී ඇත. පිටකොටුවේ මෙහි තොග මිල කූරු පැකට් 12ක බණ්ඩලයක් මිලදී ගන්නා විට රුපියල් 60

විවිධ ඉන්දියන් හඳුන්කුරු තවමත් පිටකොටුවේ තොග කඩවල ඇත. මොන බදු ක්‍රම ක්‍රියාත්මක කළත් ලංකාවේ ඉන්දියන් හඳුන්කූරු නැති කරන්නට බැරි බවට එය කදිම සාක්ෂියකි. වල්ලමේ දමා වැල්වැටිතුරේ වැනි ප්‍රදේශවල මෙන්ම ඉන්දියාවේ සිට ගුවනින් බැගේජ් දමා එසේ නැතිනම් නැවෙන් තවමත් ඉන්දියන් හඳුන්කූරු එන එකනම් නැවතුණේ නැත.

ලංකාවේ විකුණන්නට ඇති ඉන්දියන් හඳුන්කූරු ඉන්දියාවටත් වැඩිය හොඳට හොරට හදන්නේ ලංකාවේ හඳුන්කූරු ජාවාරම්කරුවන්ය. ලංකාවේ තවමත් ජනතාව හොයන ඉන්දියන් හඳුන්කූරු නිෂ්පාදනය ඔවුන්ගේ ජාවාරමයි. සාමාන්‍ය හඳුන්කූරකට වඩා මිල වැඩි බැවින් ජාවාරම්කරුවන්ගේ හොද්ද බොර වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. සියල්ල සිදුවන්නේ රහසිගතවය. හඳුන්කූරු පැකට් 12 බණ්ඩලයේ ඇති ලේබල් ඩුප්ලිකේට් හඳුන්කූරු පෙට්ටි ගණන 10කි. කොහේදී හෝ හඳුන්කූරු පෙට්ටියක් ඉන්දියන් කොම්පැනියෙන් ඇවිත් චෙක් කළොත් පෙන්නන්නට වෙළෙන්දන්ට ඔරිජිනල් බඩු දෙකක්ම දී ඇත්තේ මේ නිසාය. ඉන්දියාවෙන් පැමිණ ලංකාවේ පොලිසිය ලවා තම ලියාපදිංචි වෙළෙඳ සලකුණ ඇති ව්‍යාජ හඳුන්කූරු අලෙවිකරුවන්ට අධිකරණ ක්‍රියා මාර්ග ගත්තත් කලකට පසු නැවත ජාවාරමට බැසීම ජාවාරම්කරුවන්ගේ සිරිතය. කලකට ඉහත මේ ජාවාරම නවත්වන්නට බැරි තැන ඉන්දියාවෙන් පැමිණි හඳුන්කුරු නිෂ්පාදකයන් මේ ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට අමුතුම උගුලක් අටවන ලදී. ඔවුන් කළේ තම හඳුන්කූරු භාවිත කරන පාරිභෝගිකයන්ට තෑගි ක්‍රමයක් හඳුන්වාදීමය. තෑගි කූපනයේ තමන් භාවිත කළ හඳුන්කූරු පැකට්ටුව කපා අලවා එවිය යුතු විය. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරගයට අයැදුම්පත් ලැබුණේ කපන ලද පෙට්ටියේ කෑල්ලක්ද අලවාය. තරගයට එවා තිබූ හඳුන්කූරු පෙට්ටි කෑලි අතර වැඩිම ප්‍රමාණයක් අලවා තිබුණේ හොරට ගැසූ ඉන්දියන් හඳුන්කූරු පෙට්ටිය.

ඉන්දියන් කාරයා මේ තරග පැවැත්වූයේ ලංකාවේ උන්දලාට ආදරේට තෑගි​ දෙන්නට වඩා තමන්ගේ නිෂ්පාදන හොරට නිෂ්පාදනය කොට බෙදා හරින පළාත් දැනගන්නටය. එවන ලද අයැදුම්පත්වල අලවා තිබූ පෙට්ටි සාම්පල්වලින් මෙම හොර නිෂ්පාදන බෙදාහැරෙන ප්‍ර​දේශ මෙන්ම නිෂ්පාදකයන් සිටින ප්‍රදේශ පවා හැඳින ගැනීමට ඉන්දියන් නිෂ්පාදකයන්ට හැකිවිය. නීති පියවර ගැනීමට ‘‘තෑගි තරගය’‘ ඔවුනට කදිම ඉල්ලමක් විය.

ලංකාවේ වැඩිම හඳුන්කූරු ප්‍රමාණයක් ගහන්නේ මස් කඩවල හා මාළු කඩවලය. මුස්ලිම් ජාතිකයන්ගේ වෙළෙඳසල්වල හඳුන්කූරු ගසා ඇති අවස්ථා දැක ගත හැකි වන්නේ කලාතුරකිනි. ලංකාවේ දැන් ඉතා අඩු ආයෝජනයකින් පිවිසිය හැකි ව්‍යාපාරයක් නම් හඳුන්කූරු නිෂ්පාදනයයි. ඔබට තිබෙන්නේ බස් රථයක නැගී මල්ලක් රැගෙන පිටකොටුවට යාමය. පිටකොටුවේ වේල්ලවීදිය, සෝන්ඩර්ස් පෙදෙසේ හා නිව්මූර් ස්ට්‍රිට් ආසන්නව ඔබට සුවඳකූරු සඳහා අවශ්‍ය ඕනෑම අමුද්‍රව්‍යයක් මිලදී ගත හැකිය. යන්ත්‍රානුසාරයෙන් මනා නිමාවක් අනුව සැදූ සුවඳ රහිත හඳුන්කූරු කිලෝවක මිල රුපියල් නවසියය තෙක් ඇත.

ලංකාවේ වෙළෙඳපොළේ ඇත්තේ අඟල් 8 සහ 9 හඳුන්කූරු පමණි. සුවඳ කැව්වේ නැති අඟල් අට හඳුන්කූරු 500 මිටි සමහර තැන්වල රුපියල් 135ටත් ඇත. සුවඳ කිරීමට ගන්නා ෆර්ෆියුම් හෝ සෙන්ට් (Perfume cent) මිලිලීටර් 100ක් රුපියල් 900කි. එයට එක් කරන DPI නමැති රසායන ද්‍රව්‍ය කිලෝවක්ම රුපියල් 450කි. සුවඳ කවන්නේ මේ දෙක එකතු කොට රබර් රොටි දමන තැටියකට දමා පෙඟෙන්නට හැරීමෙනි. මුද්‍රණය කරන ලද මනරම් පෙට්ටි රුපියල් 4 සිට 28 දක්වා ඇත. එහෙත් පෙට්ටි සඳහා අලවන හොලොගැම් රහස්‍ය ස්ටිකර් නම් අලෙවියට ඇත්තේ කලාතුරකිනි.

අප හඳුන්කූර යැයි කීවත් දැන් එම සුවඳ කූරුවල විවිධාකාර සුවඳ වර්ග ඇත. පිච්ච, අරලිය, ලැවැන්ඩර්, ස්ට්‍රොබෙරි අතරට දැන් එකතු වී ඇත්තේ අඹ, නාරං, ගස්ලබු, දිවුල් වැනි සුවඳ වර්ගය. මේ අතර කලකට ඉහත සුවඳ වර්ග 2ක් ඇති කූරු වෙළෙඳපොළට පැමිණි අතර එක කූරේ සුවඳ වර්ග 3 කුරුද දැන් වෙළෙඳපොළේ ඇත.

ඒත් ඉතින් දූරියන් සුවඳ හඳුන්කූරු නම් අප පිටකොටුව තොග වෙළෙඳපොළේ දැක්කේ නැත. දැන් පිටකොටුවේ වෙළෙඳපොළ තුළ ක්‍රමයෙන් ආක්‍රමණය කරන්නේ මදුරුවන් එලවන පැඟිරි සුවඳ හඳුන්කූරුය. ලංකාවේ හඳුන්කූරු නිෂ්පාදනයේ මහ පෙරළියක් පසුගියදා සිදුවිය. ලංකාවේ නිෂ්පාදකයකු අලි එළවන්නට සමත් හඳුන්කූරක් නිෂ්පාදනය එම විප්ලවීය වෙනසය.

වජිර ලියනගේ