කතුවැකි

කතුවැකිය

පුංචි සිඤ්ඤොල වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නේ කවදාද?

අරුම පුදුම සංඛ්‍යා ලේඛන ගණනාවක් ‘අරුණ’ පුවත්පත මගින් පාඨකයාට ඉදිරිපත් කිරීමට අපට හැකි විය. ඉන් එකක් මෙබඳුය;

2020 වසරේ මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් අතරින් 433 ක් අනතුරට ලක්ව ඇති අතර ඉන් තිස්නවයක් මියගොස් තිබේ. මේ වසරේ ගෙවුණ මාස තුනට මාර්ග රාජකාරියේ යෙදුණ පොලිස් නිලධාරින් අතරින් 110 ක් හදිසි අනතුරුවලට ලක්ව සිටින අතර ඉන් 14 දෙනෙක් දැනටමත් මරු වැලඳගෙනය.

කොහොමත් අපේ රටේ හුදී මගියා මහ මගට බසින්නේ ‘‘රැකෙම්වා මියෙම්වා’’ කියා සිතාගෙන දික්තලා වෙනුවෙන් ගඟට පැන්න කාලගෝලයා සේය. ට්‍රැෆික් පොලිස් නිලධාරීන් පාරට යන්නේ මේ ආකාරයට මර බියෙන් පාරේ යනෙන සුවහසක් පුංචි සිඤ්ඤොලා වෙනුවෙන් මාර්ග නීති රකින්නටය.

මාර්ග නීති කඩා දමා මාර්ග නීති රකින්නට ඉන්නා නිලධාරීන් මරුවට බිලිවන්නේ නම් අපේ මාර්ග කෙතරම් භයානකද? උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී යුද්ධය තිබියදීවත් මාසයකට මෙතරම් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් මරා දමන්නට ප්‍රභාකරන්ට පුළුවන් වුණේ නැත. කරුණු එසේ නම් ගිනි අවියක් වෙනුවට සුක්කානමක් අතේ තියෙන රියැදුරු ප්‍රභාකරන්ලා දහස් ගණනක් අපේ පාරවල යති එති. ඔවුන්ව සාම සාකච්ඡා සඳහා නම්මාගෙන නීත්‍යනුකූල විනයානුකූල රියැදුරන් කිරීම අද තිබෙන මහ අභියෝගයකි. එයට හේතුභූත වන සංඛ්‍යාලේඛනයක්ද පසුගිය සතියේ ‘අරුණ’ පත්තරෙන් අපි ඉදිරිපත් කළෙමු. පෞද්ගලික බස් රියැදුරන් 5000කට රිය පැදවීමේ ප්‍රවීණතා සහතිකය නැත.

මෙරට පුද්ගලික බස් රථ 20000ක් ඇත්තේය. ඉන් 5000කට ප්‍රවීණතා සහතිකය නැතිනම් ඉන් අදහස් වන්නේ පුද්ගලික බස් රියැදුරන්ගෙන් හතරෙන් එකක් සුක්කානම කරකවන්නේ මරුවා සමග වාසේ කියන කියමනට අනුව බවය.

ලංගම බස් සේවය පමණක් පැවැති කාලයේ ඩිපෝවේ මුත්‍රා කිරීම සම්බන්ධයෙන්ද චක්‍ර ලේඛන මගින් නියෝග දී තිබිණ. එහෙත් දැන් පුද්ගලික බස් රියැදුරෙකුට යුනිෆෝමයක් නියම කළොත් ඊට එරෙහිව වර්ජනය කර ඒ ආණ්ඩු පෙරළන්නට යති. සිගරැට් බීමත් තහනම් කර තිබෙන බසයේ යන ගමන් මාර්ග සංඥා අසල බසය නවතා කුඩු ගසති. රියැදුරු අසුනේම හිඳ බෝතලයකට මූත්‍රා කර පාරේ කානුවකට විසි කරති. පුද්ගලික බස් රියැදුරන්ට දුන් මේ වරම වෙසමුනියා රීරි යකාට දුන් වරමටත් වඩා භයානකය.

පසුගිය දෙසතියම ගෙවී ගියේ පොල් තෙල්වල අඩංගු පිළිකා කාරක පිළිබඳ බියකිනි. ඒ අතරේ මෙරට තිබෙන කෑම වර්ග අතරින් ප්‍රමිති ආයතනයේ පරීක්ෂාවට ලක්වන්නේ කෑම වර්ග 48 ක් පමණක් බව ප්‍රමිති කාර්යාංශය ප්‍රකාශ කර තිබේ. ප්‍රමිතියකින් තොර වස සහිත ආහාර කොපමණ අප වෙළෙඳ පොළේ ඇත්ද? තරුපහේ හෝටල්වල එක වතාවක් පමණක් බැදුම් පිලිස්සුම් කිරීමට යොදා ගන්නා පොල්තෙල් කුඩා හෝටල් හිමියෝ අඩු මිලට ගනිති. එක වතාවකට වඩා ළිප තබන පොල් තෙලේ පිළිකා කාරක ඇති බව කවුරුත් දන්නා සත්‍යයකි. මේ දෙවැනි වතාවට පොල්තෙලේ බදින ආහාර කොපමණ අප වෙළෙඳපොළේ ඇත්ද? අජිනමොටෝ ඇතැම් හෝටල්වලට ගෙනෙන්නේ ටොන් ගණනෙනි. මෙරට ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කළ විට ගොවියෝ තම ඉඩම්වල වල් නැසීමට අජිනමොටෝ දියකර ඉස වල් නැසූහ. දේවානි මහත්මියගේ කට දෙස බලා ඉන්නා ජනතාවට ඔවුන්ගේ කටින් වස කවා තිබෙන්නේ පුදුම අන්දමිනි. මේ සියලු විස ආහාර පොල් තෙල් බවුසරයට වැසී ඇත.

මේ අතර තවත් සංඛ්‍යා ලේඛනයකින් කියවුණේ මෙරට ඉන්නා පෙර පාසල් ගුරුවරියන්ගෙන් සියයට පහළොවක් සුදුසුකම් නැති අය බවය. අප ඉහත සඳහන් කළ මාර්ග අනතුරු, වස සහිත ආහාර අලෙවිය, මරු කැඳවන රියැදුරන් ආදී ව්‍යසනවල මුල මෙතනය. ඉහත සඳහන් සියලු සංඛ්‍යා ලේඛනවලින් වෙන හානියට උප්පත්තිය දෙන්නේ මෙතනය. අපේ රටේ පෙර පාසල් සංඛ්‍යාව විසිදාහකට කිට්ටුය. ඒවායේ උගන්වන ගුරුවරියන් සංඛ්‍යාව 45000ක් පමණය. මේ අතරින් සියයට පහළොවකට සුදුසුකම් නැති බව කියන්නේ අධ්‍යාපන සුදුසුකම්ය. දැන් පෙර පාසල් ගුරුවරියකට වුවමනා අධ්‍යාපන සුදුසුකම් මොනවාද? මේ රටේ ලංකාවේ පෙර පාසල්වල උගන්වන්නට යන්නේ උසස් අධ්‍යාපනයට සුදුසුකම් නොලද පිරිසය. පෙර පාසල්වල ඉගැන්වීම තවමත් සලකන්නේ පහළ බාලාංශයේ වැඩක් ලෙසය.
ඒ නිසාම කටේ කිරි සුවඳවත් නොගිය දරුවන් ලක්ෂ ගණනකගේ ස්නායු පද්ධතියම විකෘති කරන්නේ පෙර පාසලෙනි. දවසකට පිටු දෙකක් පුරා ගෙදර වැඩ දෙන පෙර පාසල් ගුරුවරියෝ එමටය. ඉංග්‍රීසි කට පාඩම් කරවන ගුරුවරියෝ අපමණය.

පොල් තෙල්වල පිළිකා කාරක සොයන සිංහරාජය කපන අය සොයන උන් ගැන කතා කරන කිසිවෙක් පෙර පාසල්වලට කඩා පනින්නේ නැත. ඒවායේ දරුවන්ට දෙන වධ ගැන කතා කරන්නේ නැත. ඒ නිසා අධිවේගයේ පඬු කරඳ ගහ, සිංහරාජයේ කැලෑව සේම විෂ කාරක පොල්තෙල් ගැන කරන ​ෙඝා්ෂාව රැකෙම්වා- මියෙම්වා කියා පාර පනින පුංචි සිඤ්ඤොලා වෙනුවෙන් කෙරෙන්නක් නොවන බව අපට පෙනේ..