කතුවැකි

පුංචි වුණත් කළ යුතුම වැඩ ටිකක්

නව ජනාධිපතිවරයා පත්වී ඇත්තේ දෙසතියක් පමණකි. මේ දෙසතියක කාලය තුළ ජනතා අපේක්ෂාවන් දල්වන තීන්දු තීරණ ගණනාවක්ම ගෙන තිබේ. බදු සහන දෙන්නට ගත් තීරණය ඒ තීරණ අතරින් ප්‍රමුඛය. බදු සහන නිසා ජනතාවගේ ආර්ථිකයට සැහැල්ලුවක් ඇතිවීමට ටික දිනක් ගතවනු ඇතත්, මේ තීරණය නිසා දැනටමත් ඔවුන්ගේ සිත් සැහැල්ලු වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අන්තර් කාලීන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නිදහසින් පසු කුඩාම කැබිනට් මණ්ඩලය විය හැකිය. මේ ගැන මැසිවිලි නැතුවා නොවුණත් කොතැනින් හෝ පටන් ගත යුතු නාස්තිය දූෂණය අවම කිරීමට ජනාධිපතිවරයා තමන්ම උදාහරණය බවට පත්වෙමින් පියවර කිහිපයක්ම ගෙන තිබේ. ඒ ගැන ජනතාව සතුටට පත්ව සිටින අතර ආණ්ඩුවේ ඉදිරිය ගැන ඔවුන් තුළ ඉහළ බලාපොරොත්තු ඇති කර තිබේ.

ආණ්ඩුවක අසීරුම කාරණය වන්නේ මේ අන්දමට ජනතාව ඉහළ මට්ටමින් අපේක්ෂා කරන දේ එලෙසින්ම ඉටුකිරීමය. දින 14ක් තුළ ජනතාවගේ ප්‍රසාදයට පත්වන පියවර ගෙන ඇත්තේ ජනාධිපතිවරයා විසිනි. දැන් අමාත්‍ය මණ්ඩලයද පත් කර ඇති නිසා ඒ වගකීම අමාත්‍ය මණ්ඩලයටද පැවැරේ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ අමාත්‍ය මණ්ඩලය ස්ථීර නොවන අන්තර්කාලීන ආණ්ඩුවකි. ඒ නිසා දිගු කාලීන සංවර්ධන ව්‍යාපෘති, අධිවේගී මාර්ග, වරාය හෝ ගුවන් තොටුපොළ වැනි දැවැන්ත ව්‍යාපෘති මේ කාලය තුළ අපේක්ෂා කළ නොහැකිය. එසේ වුවත් කඩිනමින් ඉටුකරනු ඇතැයි ජනතාව අපේක්ෂා කරන, ස්ථිර ආණ්ඩුවක් එනතුරු ​නොසිටිය යුතු ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගණනාවක් කෙරෙහි ආණ්ඩුවේ ඉක්මන් අවධානය යොමුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

මේ දිනවල කාගෙත් අවධානය යොමුව ඇත්තේ නගර මං මාවත් දෙපස ගොඩගැසී තිබූ කුණු කසළ ඉවත් කිරීම කෙරෙහිය. මේ පිරිසුදු කිරීම ඩෙංගු වසංගතය මර්දනය කිරීමටද ඵලදායී පියවරක් වන නමුත් ​ඩෙංගු ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා විශේෂ අවධානයක් අත්‍යවශ්‍ය වේ. නගර මං මාවත් පොදු ස්ථාන පිරිසුදු වුවත් නිවාස, කාර්යාල පරිශ්‍ර ආදිය පිරිසුදු කිරීම ගැන අවධානය ගිලිහී ගොස් ඇති බැවිනි.

පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීම සමාජයේ ගැටලු බොහෝ ගණනක් විසඳිය හැකි අංක එකට එන කාරණයක් සේ සැලකිය හැකිය. පොදු ප්‍රවාහන සේවය භාවිත කරන්නේ රටේ සාමාන්‍ය ජනතාවයි. මේ සියලුදෙනා කුමන හෝ ආකාරයකින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ වූවෝ වෙති. දිනපතා උදේ සවස පොදු ප්‍රවාහන සේවාවන් තුළ මානසික අසහනයට පීඩාවට පත්වීම නිසා මේ ශ්‍රම බළකායෙන් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට උපරිම දායකත්වයක් නොලැබෙන බව මේ දක්වා කිසිවකුගේ අවධානයට යොමු නොවූ කාරණයකි. රටේ පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට අලුතෙන් ප්‍රතිපත්ති අවශ්‍ය නොවේ. එසේම මහා ලොකු මූල්‍ය ප්‍රතිපාදනද අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඉලක්ක ගත සැලසුමක් හා වුවමනාවෙන් කෙරෙන අධීක්ෂණයක් පමණකි.

මත්ද්‍රව්‍ය, පාතාලය හා කප්පම් සංස්කෘතිය මර්දනය කිරීම වහා ඉටු කළ යුතු එකිනෙක හා සම්බන්ධ කාරණා තුනකි. අද ඇත්තේ ලෝකයේ පවතින ඕනෑම මට්ටමක මත්ද්‍රව්‍ය පාසල් සිසුන් අත පවා සංසරණය වන තත්ත්වයකි. පාතාලයේ කිසියම් නිහඬතාවක් ඇතැයි දක්නට ඇතත් ඔවුන් මුළුමනින්ම මර්දනය වී ඇති බවත් ඉන් අදහස් නොවේ. මේ ඇතමෙක් සිපිරි ගෙදර සිටම තමන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කොන්ත්‍රාත් හා කප්පම් ගැනීම ජයටම කරගෙන යති. මේ පාතාලයන් නිසා පසුගිය දිනෙක සිසිල් බීම නිෂ්පාදන කම්හලක නිෂ්පාදන කටයුතු ඇනහිටි බවද වාර්තා විය. එය වාර්තා වූ එක් සිද්ධියක් පමණකි. මේ අන්දමට පාතාලයන් විසින් ව්‍යාපාරිකයන්ගෙන් කොතරම් මුදලක් ඩැහැ ගන්නවා ඇතිද?

තමන් දුක් මහන්සියෙන් උපයන මුදල් වියදම් කර වස විසෙන් තොර කෑම ටිකක් කන්නට නොමැතිකම අප කවුරුත් නගන විසඳුමක් නොමැති මැසිවිල්ලකි. භව භෝගයන්ට පොහොර දමන අවස්ථාවේ සිට වෙළෙඳ පොළේ අලෙවියට තබන අවස්ථාව දක්වාම කෙරෙන්නේ වස විස එකතු කිරීම ය. කල් ඉකුත් වූ පණුවන් ගැසූ සහල් හොඳ සහල් සමග මිශ්‍ර කිරීමේ සිද්ධියක් මේ ඊයේ පෙරේදා ද වාර්තා විය. මේ අන්දමට වෙළෙඳ ​පොළේ ඇති ආහාර ද්‍රව්‍යවල පිරිසුදුකම ගැන සෞඛ්‍ය සම්පන්න බව ගැන සහතික විය හැක්කේ කාටද?

රසායනික පොහොර භාවිතය වැනි කාරණා ගැන තීන්දුවක් ගැනීම හදිසියේ කළ හැකි දෙයක් නොවන බව පැහැදිලිය. නමුත් කල් ඉකුත් වූ ආහාර විකිණීම වැනි දේ පාලනය කිරීම එක මො​හොතකින් කළ හැකි දේය. අවශ්‍ය වන්නේ පවතින නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම පමණය. ආහාර ද්‍රව්‍යවල විවිධ දේ කලවම් කිරීම අතීතයේදී අසන්නට ලැබුණේ තනි තනි ව්‍යාපාරිකයන්ගේ අකටයුතුකම් ලෙස වුවත් වර්තමානයේ එය සංවිධානාත්මක ජාවාරමකි. මේ නිසා අද සුපිරි වෙළෙඳ සලකින් මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය පිළිබඳ වුව සහතික විය ​නොහැකිය.

මේවා ඉතාමත් සරල කාරණා ලෙස ඇතැමෙකුට පෙනී යා හැකි මුත් මේ කාරණා ශරීරයක් තුළ නිහඬව වැඩෙන පිළිකාවක් බඳුය. පිළිකාවක් එක රැයින් දැනගන්නට නොලැබෙන අතර රෝගය මතුවන විට සිදුවිය හැකි විනාශය වළක්වා ගන්නටද නොහැකි තරමට ඔඩු දුවා තිබෙන්නට පුළුවන. අපට මේ බොහෝ ප්‍රශ්න මගහැරුණේ වසර 30ක් තිස්සේ තිබූ යුද්ධය නිසාය. එහෙත් යුද්ධය අවසන් වූ පසුත් අප ඒ ප්‍රශ්න ගැන අවධානය​ යොමු කළේ නැත. යුද්ධය අවසන් වීමෙන් පසු අප කල්පනා කළේ ගොඩනැගිලි මාර්ග වැනි දැවැන්ත ව්‍යාපෘති ගැන පමණය. ඉන් පසු ඒ සියල්ල අත හැර සහජීවනය ගැනය. ඒවාද අවශ්‍ය නමුත් ඒ සියල්ල රඳා පවතිනු ඇත්තේ අප මේ කියන පුංචි පුංචි කාරණා මතය.