කතුවැකි

පී.සී.ආර්. මිල පාලනය ඇත්තටමද?

පී.සී.ආර්. හා ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා වන ගැසට් නිවේදනය ඊයේ (12 වැනිදා) නිකුත් කිරීමට නියමිතව තිබිණ. ඒ අනුව පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම මිල රුපියල් 6500 කි. ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 2000 කි. මෙම තීරණය ගෙන ඇත්තේ පෞද්ගලික රෝහල් හා රසායනාගාර මෙම පරීක්ෂණ සඳහා අසාධාරණ ගාස්තු අය කරන බවට නැගෙන චෝදනා සැලකිල්ලට ගනිමිනි. මේ අනුව මෙම තීරණය සැලකිය යුත්තේ පොදුජන ප්‍රශ්නයක් විසඳීම සඳහා ගනු ලැබූ සාධනීය පියවරක් ලෙසය. එහෙත් සත්‍ය නම් මෙම තීරණය පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමට සමාන දෙයක් බවය.

පෞද්ගලික අංශය පී.සී.ආර්. හා ඇන්ටිජන් පරීක්ෂණවලින් පොදු ජනතාව ගසාකන බව ඇත්තය. පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා රුපියල් දසදහසක් තරම් ඉතාමත් අසාධාරණ අධික මිල ගණන් අය කරන තැන්ද තිබේ. එතරම් ඉහළ මිල ගණන් ගෙවා ගන්නා පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාව ගැනද විශ්වාසය බිඳ වැටෙන අවස්ථා වාර්තා වී ඇත. මේ නිසා මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක පරීක්ෂණ වාර්තා පිළි නොගන්නා බව චීනය දැනටමත් ප්‍රකාශ කර තිබේ.

මෙවැනි තත්ත්වයක් තිබියදීත් පොදු ජනතාවට පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂා සඳහා පෞද්ගලික අංශයේ සරණ යන්නට සිදුව ඇත්තේ එම පරීක්ෂණ ඉල්ලුමේ තරමට කිරීමට රාජ්‍ය අංශය අසමත් වීම නිසාය. කොවිඩ් ව්‍යාප්තියේ සීග්‍රතාව නිසා අදවන විට ලොව බොහෝ රටවල් මහජනතාවට සිය නිවසේදීම තම තමන්ගේ පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂාවන් කර ගැනීමට හැකි නව ක්‍රමවේදයන් හඳුන්වා දී තිබේ. මේ අනුව මුව සෝදන දියරයකින් පවා කොවිඩ් වයිරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ හඳුන්වා දී ඇත. අපට ඒ තත්ත්වයට යා නොහැකි නම් අඩුම වශයෙන් ගම්බද රජයේ රෝහල්වල පවා මෙම පරීක්ෂා කිරීම සඳහා පහසුකම් ඇති කළ හැකිය.

මේ සඳහා පහසුවෙන් භාවිත කළ හැකි රැපිඩ් පී.සී.ආර්. යන්ත්‍ර තිහක් මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දුන්නේ පසුගිය මැයි මාසයේ ය. ඒ වෙනුවට මෙවන් යන්ත්‍ර 14 ක් පමණක් ගැනීමට ජුනි මාසයේ ටෙන්ඩර් කැඳවා ඇතත් තවමත් එම ප්‍රමාණය හෝ සපයා ගැනීමට අමාත්‍යාංශය අපොහොසත් වී තිබේ.

කළ යුතු දේ නොකර පෞද්ගලික අංශයේ පී.සී.ආර්. ගාස්තු පාලනය කරන්නට මීට පෙර ද උත්සාහ කළ බව අපට මතකය. එහෙත් සිදු වූ දෙයක් නැත. මෙවර ඒ සඳහා ගැසට් නිවේදනයක් මගින් නියෝග පැනවීම නිසා මිල පාලනයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකි නමුත් මේ නිසා පෞද්ගලික අංශයෙන් හෝ මෙම පරීක්ෂණ කර ගැනීමට තිබූ අවස්ථාවන් සීමා වීමේ අවදානමක් මතුව තිබේ.

පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාධාරණ නිශ්චිත මිලක් නියම කිරීම ජනතාවට යම් සහනයක් වන නමුත් පෞද්ගලික රෝහල් දැනටමත් එම තීරණයට විරෝධය පළ කර ඇත. ඔවුන් කියන්නේ මෙම මුදල පරීක්ෂණ සඳහා භාවිත කරන උපකරණ සඳහා වන වියදම හෝ සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවය. මේ නිසා මින් ඉදිරියට නිවෙස්වලට ගොස් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම වැනි සේවා නතර කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව ඇතැයි දැන ගන්නට ඇත. එසේම ඔවුන් තමන්ගේ රෝහල්වල වුවත් පී.සී.ආර්. පරීක්ෂණ සීමා කරන තැනකට යොමු වීමේ අවදානමක් තිබේ.

පෞද්ගලික අංශය මෙවැනි පියවරක් අනුගමනය කළහොත් සිදුවන්නේ ජනතාවට වැඩි මිලක් ගෙවා හෝ පහසුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ කර ගැනීමට තිබෙන ඉඩ ඇහිරී යෑමය. දැන් පී.සී.ආර්. පරීක්ෂණ යනු කොවිඩ් ආසාදිතද, නැද්ද යන්න තීරණය කරන පරීක්ෂණයක් නොව ජනතාවගේ ජීවිතය හා මරණය තීරණය කරන පරීක්ෂණයකි. දරු උපතකට පෙර, හෘද සැත්කමකට පෙර පමණක් නොව කුමන රෝග තත්ත්වයකට හෝ රෝහල්ගත වීමට පෙර මෙම පරීක්ෂණ කළ යුතු නිසාය. ආණ්ඩුවේ මිල නියම කිරීමේ තීරණය නිසා පෞද්ගලික අංශය පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සීමා කිරීම හෝ ඒ හා සම්බන්ධ අනෙකුත් සේවා අත්හිටුවුවහොත් හෘද ​රෝගීන් වැනි බරපතළ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයට මිය යන්නට සිදුවනු ඇත්තේ එම රෝගයෙන් නොව පී.සී.ආර්. ප්‍රමාදය නිසාය.

පී.සී.ආර්. පරීක්ෂණ සඳහා මිලක් නියම කරන්නේ නම් කළ යුතුව තිබුණේ දැන් නොව, මෙම පරීක්ෂණ ආරම්භ කෙරුණු මුල් අවස්ථාවේදීමය. අප බොහෝ ප්‍රශ්නවලදී ඉස්තාලය වසන්නේ අශ්වයා පැන ගිය පසුය. පෞද්ගලික අංශයේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කිරීම ඇස්බැන්දුමක් බව සිතෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයම තව තවත් පෞද්ගලික අංශයට ඒ සඳහා අවස්ථා සලසා දෙමින් තිබෙන නිසාය. කටුනායක ගුවන්තොටුපොළින් විදෙස්ගතවන අයගේ පී.සී.ආර්. හා ඇන්ටිජන් පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල් හා රසායනාගාර නවයකට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දුන්නේ දින දෙක තුනකට පෙරය. අමාත්‍යාංශය මෙම පියවර ගත්තේ පෞද්ගලික අංශය පී.සී.ආර්. පරීක්ෂණ සඳහා අයථා ලෙස මිල ගණන් අය කරන බව නොදැනද? කටුනායක ගුවන්තොටුපොළේ මෙම පරීක්ෂණ සඳහා අමාත්‍යාංශයෙන් පෞද්ගලික අංශයට අවස්ථාව සලසා දෙන්නේ රාජ්‍ය අංශයට එවැනි දෙයක් කර ගන්නට නොහැකි යැයි සිතන නිසාද? අපේ සෞඛ්‍ය සේවය ඒ තරම් දුර්වල යැයි අප නම් සිතන්නේ නැත. එසේ නම් මීට වෙනත් හේතුවක් තිබිය යුතුය.

මොන තරම් දියුණු සෞඛ්‍ය සේවයක් තිබුණේ වුවත්, කිසිම රටකට පෞද්ගලික සෞඛ්‍ය සේවයේ සහය නොමැතිව කොවිඩ් වැනි ජාතික ව්‍යසනයකට මුහුණ දිය නොහැකි බව අපි දනිමු. එසේම පෞද්ගලික අංශය සෑම විටම කටයුතු කරන්නේ ලාභය මුල්කරගෙන බවද අපි දනිමු. මෙහිදී ජනතාවට සාධාරණ මිලකට පෞද්ගලික අංශයෙන් සේවා ලබා ගැනීම සඳහා මැදිහත් විය යුත්තේ ආණ්ඩුවයි. එහෙත් පෞද්ගලික අංශය වන්දනා කරන අතරේ ඔවුන්ට නියෝග පැනවීමෙන් පමණක් එය කළ හැකි යැයි අප සිතන්නේ නැත. වඩා ඵලදායී ක්‍රමය වන්නේ කිසියම් තීරණයක් ගැනීමට පෙර අදාළ සියලු අංශ සමග සාකච්ඡා කිරීමය. එවිට ඒ තීරණයට එකඟවන සියලු දෙනාටම එම තීරණය වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය මෙන්ම ඊට අනුව කටයුතු කිරීමේ වගකීමද ලැබෙන නිසාය.

පී.සී.ආර්. පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කිරීමේදීවත් ආණ්ඩුව එලෙස කටයුතු කළ බවක් පෙනෙන්නට නැත. එසේ වූයේ නම් පෞද්ගලික අංශයට ඊට විරෝධය පළ කරන්නට ඉඩක් නොමැති නිසාය. පෞද්ගලික අංශයේ එකඟතාවකින් තොරව මෙවැනි නියමයන් පනවන්නේ ආණ්ඩුව මිල අඩු කළත් පෞද්ගලික අංශය එය පිළි නොගන්නා බව කියා ඇඟ බේරා ගන්නටදැයි අප දන්නේ නැත.