අතන මෙතන

පිල්ලෙයාර් වැවෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

ආලයඩිවෙම්බු ඉත්තියඩි, තිල්ලෙයාරු වැවේ තිබී අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

අක්කරපත්තුව පොලිස් වසම අංක 234, පාසල් පාර ආලයඩිවෙම්බු ලිපිනයේ පදිංචිකරුවෙකු වන අක්කරපත්තුව යුධ හමුදා කඳවුරේ සේවයේ නියුතු ජීවරත්නම් ශෂි කුමාර් නැමැති අය නිවාඩු ලබා සිටි අවස්ථාවේ දී මිතුරන් සිව් දෙනෙකු සමග ඊයේ (02) දින ආලයඩිවෙම්බු ඉත්තියඩි, තිල්ලෙයාර් වැවේ මාළු අල්ලමින් සිටිය දී පාදයක දැවටුන බෑගයක් ගොඩගෙන එහි ආයුධ ඇති බවට සැක මතු වීමෙන් ඔවුන් අක්කරපත්තු පොලිසියට දැනුම් දී ඇත.

අක්කරපත්තු පොලිසිය සාගම විශේෂ කාර්යය බලකා නිලධාරීන් කණ්ඩායමක් යොදවා එම ස්ථානය හා බෑගය පරීක්ෂාවට ලක් කර තිබේ.

එහි දී 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 12ක්, එම චාජර් 02ක්, ආර්.පී.ජී. උණ්ඩ 04ක්, ජොනි බට්ටා 01ක්, එස්.එෆ්.ජී. 87 වර්ගයේ අත්බෝම්බ 02ක්, ඒ.කේ. 400 වර්ගයේ අත්බෝම්බ 03ක්, දුම් බෝම්බ 02ක්, 61 වර්ගයේ මෝටාර් උණ්ඩ 02ක්, පීඩන බෝම්බ 02ක්, එස්.එෆ්.ජී. 82 වර්ගයේ අත්බෝම්බ 02ක්, පීඩන බෝම්බ 02ක්, බෝර 12 පතොරම් තුවක්කු උණ්ඩ 02ක්, පැති බෝම්බ 02ක්, ටැෆින් බෝම්බ 05ක්, එම්.පී.එම්.75 වර්ගයේ බෝම්බ 01ක්, පූචස් 01ක් ඇතුළු අවි ආයුධ තොගයක් සොයාගෙන තිබේ.

සොයා ගත් මෙම පුපුරන ද්‍රව්‍ය තොගය බොහෝ සෙයින් දිරා පත් වී තිබූ අතර යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් භාවිතා කරන ලද ඒවා බවට පොලිසිය සැක පහල කරයි.

අක්කරපත්තුව පොලිසිය මගින් සොයා ගත් මෙම භාණ්ඩ පිළිබදව අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.