විශේෂාංග

පිරිපහදු ජලය බීමෙන් වකුගඩු ආබාධ වලට වඩා දරුණු රෝග අවදානමක්?

කළුතර ප්‍රදේශයේ පානීය ජලයට මුහුදු ජලය මිශ්‍ර වීම  විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. කාලාන්තරයක් තිස්සේ  අනුරාධපුරයේ සිට  යාපනය දක්වා ජනතාව පානීය ජල ප්‍රශ්නයකට මුහුණ දී සිටිනවා.  ආණ්ඩුව උතුරු  නැගෙනහිර පළාත්වල නම් ප්‍රති ආස්‍රැතකරණ පිරිපහදු පද්ධති බෙදා  හරිනවා  පෙනුණත් කළුතර ප්‍රදේශයේ නම් එවැනි ව්‍යාපාතියක් ගැන සඳහන් වන්නේ  නැහැ.  ඇත්තටම මුහුදු ජලය හෝ කිවුල මිශ්‍ර ජලය පානීය ජලය බවට පත් කරන්නට ඇති   ප්‍රායෝගික විසඳුම කුමක්ද?

කළුතර නෙමෙයි, උතුරු නැගෙනහිර පළාත්වල   වුවත් ප්‍රති ආස්‍රැතකරණ ජලය (R/O Water) තමා මේ ප්‍රශ්නයට විසඳුම ලෙස යොදා ගන්නේ.  කළුතරදී නම් ප්‍රධාන ප්‍රශ්නය මුහුදු ජලය ඉවත් කිරීමයි. මෙම ජලය  ප්‍රතිආස්‍රැත  කරණයේදී ජලයෙහි සංඝටක අනුව ක්‍රියාවලිය වෙනස් වෙනවා. මෙහිදී  භූගත ජලය  ප්‍රති ආස්‍රැතකරණය ඉතාමත් ප්‍රායෝගිකයි. භූගත ජලය ඉහළට  ගැනීමෙන් සාමාන්‍ය  ළිං ජලය හිඳෙනවා කියන එක ප්‍රායෝගික තත්ත්වය නොදැන කරන  ප්‍රකාශයක්. ඒ දෙක  අතර සම්බන්ධයක් නැහැ. ඒත් භූගත ජලය ගැනීමේදී මතුපිට  කළුගල් ස්ථරයේ යම්  ඉරිතැලීම් නිසා භූගත ජලයට මඳ වශයෙන් මුහුදු ජලය හෝ  කිවුල් ජලය මුසු වෙන්න  පුළුවන්. කෙසේ වෙතත් ප්‍රතිආස්‍රැත ජලය භාවිතය දැඩි  තත්ත්ව පරීක්ෂණයක් යටතේ  සිදුවිය යුත්තක්. නැත්නම් කළුතර මුහුදු ජලය  මිශ්‍ර ජලය පානය හෝ උතුරු  නැගෙනහිර කිවුල් ජලය භාවිතයෙන් හැදෙන වකුගඩු  රෝගවලට වඩා දරුණු රෝගාබාධ  ඇතිවිය හැකිය.

ලංකාවේ පානීය ජලය සම්බන්ධයෙන් ප්‍රමිතියක් තිබෙනවද?

ලංකාවේ  පානීය ජලය ගැන ප්‍රමිති කෙටුම්පතක් සකස් වන්නේ 1988 දී පමණ. මමත් ඊට දායක  වුණා. එතෙක් ලංකාවේ පානීය ජලය ඇසුරුම් කරන්න භාවිත කළේ PVC බෝතල්වල. ඉතා කෙටි කාලයකින් ඒ බෝතල්වල පතුලේ රතුකුඩු විශේෂයක් තැන්පත් වුණා. තවත් කල් තබා ගත  නොහැකි තත්ත්වයක් උදා වුණා. ඊට පස්සේ තමා අද පානීය ජලය ඇසුරුම් කර භාවිත  කරන්න භාවිත කරන PET බෝතල් භාවිතය ආරම්භ කළේ.
කළුතර පානීය ජලයට මුහුදු ජලය මිශ්‍ර වීමට ප්‍රථම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හම්බන්තොට ජල ප්‍රශ්නයට විසඳුමක් ලෙස මුහුදු වතුර පානීය ජලය බවට පත් කරන යෝජනාවක් ගෙනාවා නේද?

අපේ  රටේ ඕනෑතරම් පිරිසුදු මූලාශ්‍ර තියෙනවා. වෙන රටවල නම් මුහුදු වතුර  විශේෂයෙන් අරාබි රටවල පානීය ජලය බවට පත් කරනවා. අපට ඒ තරම් අහේනියක් නැහැ.  මෙච්චර ජල මූලාශ්‍ර තියෙන රටේ කළ යුත්තේ නිසි නියාමනයක් ඇතුව වතුර පිරිපහදු  කිරීමයි.

ඉස්සර ඔය මොන ජල පෙරණවත් තිබ්බෙ නැහැ. වකුගඩු රෝග තිබ්බෙත් නැහැ. දර ළිපට වතුර කේතලේ තියල රත් කරල බිව්වා නේද?

ජලය  රත් කිරීමේදී සිදුවන්නේ ජීවීන් විතරයි විනාශ වෙන්නේ. දැන් ෆ්ලෝරයිඩ් වගේ  දේවල් ජලය රත් කිරීමේදී වැඩි වෙනවා. ෆ්ලෝරයිඩ් වැඩිවීමෙන් දත්වල පැල්ලම්  ඇති වෙනවා. නිසි ප්‍රමිතියෙන් තොර ජලය පානයෙන් උණසන්නිපාත, බඩේ අමාරු,  අජීර්ණ වැනි රෝගාබාධවලට නිරතුරුව ලක් විය හැකියි. දැන් බලන්න ජල බෝතල්  නිෂ්පාදන ආයතන වසර 3කට වරක් තම බලපත්‍රය අලුත් කර ගත යුතුයි. එය ඉතා දුෂ්කර  කටයුත්තක්. ඒත් මේ අනුරාධපුරෙන් එහා පාරවල් අයිනේ තියාගෙන වතුර විකුණන අයට කිසිම බලපත්‍රයක්  නැහැ. රජයත් මෙම ජල පෙරණ යන්ත්‍ර, ප්‍රති ආස්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධති  පිහිටුවීමට නිසි නියාමනයක් නැති නිසා ඉදිරියේ හිතුවටත් වඩා බරපතළ සෞඛ්‍ය  ප්‍රශ්න ඇති වන්න පුළුවන්.

දැන් අනුරාධපුරයෙන් එහාට ගියාම පොඩි පිරිපහදු යන්ත්‍ර තියාගෙන වතුර ලීටරය රුපියල් 2ට දෙනවා. වකුගඩු නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය පවා මෙවැනි පිරිපහදු යන්ත්‍ර බෙදා දෙනවා. ඉතින් ඔබ කියන්නෙ කොහොමද නියාමනයක් නෑ කියලා.

පානීය ජල ප්‍රශ්න තිබෙන ප්‍රදේශවලට මෙම යන්ත්‍ර බෙදාදීම අගයම කළ යුතුයි. එහෙත් එම  යන්ත්‍ර නිසි නියාමනයකට ලක් විය යුතුයි. ඡන්දයකදි හිරමන, උදලු බෙදනවා වගේ  වතුර පිරිපහදු යන්ත්‍ර බෙදන්න බෑ. ජල මූලාශ්‍රය අනුව ඊට අවශ්‍ය පෙරණය වෙනස්  වෙනවා. 2002දී තමයි වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ජලය බව හෙළිදරව් වුණේ.  දැන් මේ වකුගඩු රෝගවලින් බේරෙන්න ප්‍රමිතියෙන් තොර බොන වතුරවලින් වකුගඩු  රෝගවලට වඩා දීර්ඝකාලීන රෝගාබාධ ඇති වන්නට පුළුවන්. මෙහිදී වෙන්න ඕන  ජලමූලාශ්‍රය හා පිරිපහදු යන්ත්‍රය ක්‍රමවත් අධීක්ෂණයට ලක්වීම තමයි.

දැන් බලන්න වතුර බෝතල් ෆැක්ටරියක් පටන් ගන්න තැන් කීයකින් බලපත්‍ර ගන්න  ඕනද. ඒ එකක්වත් මේවට නැහැ. රජය මේ ජල පෙරණ මහජන හිතසුව පිණිස බෙදාහැරියාට  ජල සම්පත් මණ්ඩලයේත් සෞඛ්‍ය අමාත්‍යාංශයේත් නිරන්තර අධීක්ෂණය මේ ජලය සඳහා  යොමුවිය යුතුයි.

මේ යන්ත්‍රවල වැදගත් වන්නේ පෙරහන් පටලය (Filler member) එය නිසි  වකවානුවේදී අලුත් කළ යුතුයි. මුදලාලි කියනවා ඔන්න වතුර RO කළා (Reverse  Osmosis) කළා කියලා. ජනතාවත් විශ්වාස කරල බොනවා. මේ ජලය සුරක්ෂිත බවට ඇති  සහතිකය කුමක්ද?

හොඳයි පෙරහන් පටලය නිසි කාලයෙදි ඉවත් නොකිරීමෙන් සිදුවන්නේ කුමක්ද?

මෙතැනදී වෙන්නේ ජලයේ ඇති ශරීරයට අවශ්‍ය ස්වාභාවික ලවණත් ඉවත්වී යාමයි.  බැක්ටීරියා, වෛරස්, බැරලෝහ ආදී සියල්ලම ඉවත් වෙනවා. ඒකෙන් වෙන්නේ මේ ජලය  පානය කළහම මේ ජලයට ශරීරයේ ඇති ඛනිජ ලවණ උරාගෙන ඒවත් ශරීරයෙන් ඉවත්වීමයි.

මේ ජල ප්‍රශ්නය නිසා දැන් රටේ සමහර තැන්වල RO වෝටර් ජලය බෝතල් කර විකුණන බව පේනවා. ඒත් ඒවායේ ප්‍රමිතිය ගැනත් බරපතළ සැකයක් තිබෙනවා නේද? 

මේ ජලය කීයටවත් බෝතල් කරන්න නීතියෙන් තහනම්. පළාතේ සෞඛ්‍ය පරීක්ෂකවරයා  ලවා එම ජලය පරීක්ෂා කර ගන්න අයිතියක් තියෙනවා. අනික සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අනුමැතිය නැතුව මේ ජලය බෝතල් කරන්න බැහැ. එහෙම බෝතල් කරනවා නම් එක්ස්පයර්  ඩේට් තීරණය කරන්නේ කවුද. (කල් ඉකුත්වන දිනය) සමහරු ඉන්නවා බවුසරයට ගහල වතුර පිරිපහදු කරනවා. මේ  වතුර බෝතල් කරනවා නම් එය ඉතා විශාල නීතිමය ක්‍රියාවලියක්. නීතියෙන් ජල  මූලාශ්‍රය තියෙන තැනමයි බෝතල් කළ යුත්තේ. මිනිසුන්ට පුළුවන් දැන් ජල සම්පත්  මණ්ඩලයේ ප්‍රාදේශීය රසායනාගාර තියෙනවා ඒවායෙන් මේ ජලය පරීක්ෂා කර බලන්න  පුළුවන්. නැත්නම් එහෙම හැදෙන ලෙඩ වකුගඩු රෝගවලට වඩා වැඩි වෙන්න පුළුවන්.

මෙම පිරිපහදු කළ ජලය පරීක්ෂා කළ හැකි රාජ්‍ය ආයතනයක් තිබෙනවාද?

ඒකට  තමයි වියළි කලාපීය ජල පර් යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ආරම්භ කළේ.  එතැන ඒ වතුර ගැන පර් යේෂණත් කරනවා විතරක් නෙවේ. මේ ගැන කණ්ඩායම් වශයෙන්  පුහුණු කිරීම් කටයුතුත් කෙරෙනවා.
හොඳයි අවසාන වශයෙන් ඔබේ නිර්දේශය කුමක්ද මේ සම්බන්ධයෙන්?

ආර්.ඕ. වෝටර් වුණත් මොන පිරිපහදු ක්‍රම වුණත් ලෝකයේ භාවිත වන ක්‍රම  පිරිසිදු පානීය ජලය පිරිපහදු කරන්නේ නිසි අධීක්ෂණයක් යටතේයි. රජයේ අරමුණ  ජනතාව වකුගඩු රෝගවලින් බේරා ගැනීම නම් එක්කෝ ආණ්ඩුවෙන් දීපු යන්ත්‍ර වගේම  හන්දියක් හන්දියක් ගානේ තියෙන ජල පිරිපහදු RO වෝටර් යන්ත්‍ර සෞඛ්‍ය  අමාත්‍යාංශයේත්, ජල සම්පත් මණ්ඩලයේත් නිරන්තර අධීක්ෂණයට ලක් කළ යුතු වන බව  අනිවාර්යයෙන්ම කිව යුතුයි.

ජනාධිපතිතුමා පසුගිය කාලේ කතාවක් කිව්වා හැම  පාසල් සිසුවකුටම වතුර බෝතලයක් ලබා දිය යුතු බව. රජය ජල පිරිපහදු යන්ත්‍රවලට  වැය කරන මුදලත් ඒවා අධීක්ෂණයට යොමු කරන මුදලත් සැලකිල්ලට ගැනීමේදී බොහෝ  විට ප්‍රමිතියෙන් යුතු බෝතල් කළ පානීය ජලය ලබාදීම ලාභදායී මෙන්ම ප්‍රායෝගික  පියවරක් වෙන්නට පුළුවන්. රජයේ මැදිහත් වීම මත මේ ජල ප්‍රශ්නය කඩිනමින්  විසඳා නොගතහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවපු රෝගාබාධවලට වඩා වැඩි  දීර්ඝකාලීනව බලපාන රෝගාබාධවලට පවා ජනතාව යොමු කරවන්න පුළුවනි.

වජිර ලියනගේ