කතුවැකි

පිත්ත කිහිලි ගන්නාගෙනද එන්නේ නැත්නම් වන වනාද?

ලංකාව ලෝක කුසලානය දිනූ සමයේ පානදුර ආතර් වී. දියෙස් නම් වීදි නාම පුවරුව උඩින් රතු තීන්තෙන් සනත් ජයසූරිය මාවත යැයි ලියා තිබුණි. එය වරදක් බවත්, ආතර් වී. දියෙස් යනු මහා දානපතියකු හා ජාති හිතෛෂී වීරවරයකු බවත් පුවත්පතකට ලියූ විට එසේ ලියූ ලේඛකයා හෙළා දකිමින් විශාල පිරිසක් ඒ යුගයේ කතා කළහ. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් තිබෙන ආදරය එපමණටම වැඩිය. රණවිරුවා, ජාතික වීරයා, නළුවාටත් වඩා ක්‍රිකට් ක්‍රීඩකයා ජනතා සම්භාවනාවට පාත්‍ර වී සිටී.

එබඳු තත්ත්වයක් යටතේ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ 2011 ලෝක කුසලානය පරාද වූයේ තරග පාවා දීමක් නිසාය කියා ප්‍රසිද්ධියේ චෝදනා කළේ ය.

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා මේ පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ යැයි තමන් විශ්වාස නොකරන බව කීවේය. එසේ කීවේ ක්‍රිකට් ක්‍රීඩකයන් මහ ජනතාව අතර පතුරුවා තිබෙන ආනුභාවයට ඇති බිය නිසාය. එහෙත් මහජනතාවගේ ක්‍රිකට් ලෝලයන්ගේ තිබෙන ආදරයට මුවා වී ක්‍රීඩකයන් කරන පාවාදීම් සහ නින්දිත වැඩ ගැන කවදා කොතැනකදී හෝ කතා කළ යුතුය. පිට්ටනියටත් හතරේ සීමාවටත්, එහායින් ක්‍රීඩා බලධාරීන්ද ක්‍රීඩකයෝද තරගවලට බලපාන බොහෝ ගනුදෙනුවල යෙදෙති.

බොහෝ දෙනා සිතන්නේ ක්‍රිකට් තරගයක් පවා දී මුදල් කන්දරාවක් ගැනීමට නම් තම රටේ තරගයක් පරාජය කර දිය යුතු බවය. නැත.

ක්‍රිකට් තරගයකදී හිස පලඳින්නේ කැප් එකද, හැට් එකද, පිත්ත කිහිලි ගන්වාගෙන යන්නේද, වන වනා පිටියට යන්නේද, ඕවරයක් තුළ කී වතාවක් සපත්තුවේ ලේස් ගැට ගහයිද? නැද්ද? ආදී දෑ සඳහා ඔට්ටු ඇල්ලීම සිරිතය. තරගයට කැප් තොප්පිය දාගෙන එන ක්‍රීඩකයා කැප් තොප්පියට තබන ඔට්ටු ප්‍රමාණය ඉතා ඉහළ ගිය විට හැට් එක පැලඳ ඇවිත් ඔට්ටුකරුවා දිනවා තමන්ද දිණුමක් ලබයි. මේවා තරගයේ තීන්දුවට බල නොපෑවත් ක්‍රීඩාව පිරිහීමට ලක් කරන කටයුතුය.

2011 ලෝක කුසලාන තරගය මේ කාරණයේදී ඉතා තීරණාත්මක වූවකි. ඉන්දියාවේ පැවති ලෝක කුසලාන තරගය නැරඹීමට ලංකාවේ ක්‍රීඩාලෝලීන් දහස් ගණනක් ගියේ ජාතික කොඩිය ඔසවාගෙන මහත් බලාපොරොත්තු සහගත අභිමානවත් හැඟුමකිනි. එහෙත් ඒ යන විටත් අවසාන මහා තරගයේ තීරණය තීන්දු වී තිබෙන්නට ඇත. කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ සිට මේ පාවාදීම සිදු වූ බව පැවැසෙයි. තරග ආරම්භයේදී හොඳින් කඩුලු ගනිමින් පන්දු යවමින් සිටි මාලිංග වෙනස් කර දඟ පන්දු යවන්නන් යොදා ගනිමින් ඉන්දීය ක්‍රීඩකයන්ට නිදහසේ සෙල්ලම් කරන්නට ඉඩ දීම දක්වා දෑ එදාම සැකයට ලක් වූ දේ වෙයි. දැන් පෙනෙන හැටියට ජාතික ධජය ඔසවාගෙන රට වෙනුවෙන් ඉන්නේ නරඹන්නන් පමණය. ඒ රට වෙනුවෙන් ඉන්දියාවට ගිය ක්‍රීඩාලෝලීන් මව්බිම ආවේ ඒ ධජ අඩකුඹු කරගෙනය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලංකාවේ ක්‍රීඩකයන්ගේ මේ පාවා දීම් ගැන ලංකාවට දන්වා තිබූ බවද කියැවෙයි. මේ ගැන පරීක්ෂණයක් කරන විට එය ඉන්දියාවටද බලපායි. ඉන්දියාවේ තිස්තුන් කෝටියක් දෙවිවරුන් අතරේ දැන් ඉදිරියෙන්ම ඉන්නේ ක්‍රිකට් හා සිනමාව නම් දෙවියන්ය. ඉන්දියාවේ ක්‍රිකට් නැතිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටද පැවැත්මක් නැති තරම්ය. ඒ නිසා මේ පරීක්ෂණවල පැවැත්ම ගැන කාටවත් කිව නොහැකිය. මේවා අහිංසක ක්‍රීඩාලෝලීන්ට අල්ලන්නට බැරි පන්දුය.

ක්‍රිකට් පිස්සුව නිසා ලංකාවේ ක්‍රීඩාවට ලැබුණ දේට වඩා නොලැබුණ දේ වැඩිය. දැන් මේ රටේ ක්‍රිකට් හැර මෙතෙක් ක්‍රීඩාවක් නැති තරම්ය. ජාතික ක්‍රීඩාව ලෙස විරුදාවලි ලත් වොලිබෝල් ක්‍රීඩාවේ හොඳම ප්‍රහාරකයා ගැන දන්නා කෙනෙක් නැත. ලංකාවේ හොඳම ධාවකයා කව්දැයි දන්නා කෙනෙක් නැත. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පාසලක පිටියක්, සකස් කරන්නේ ජවන හා පිටිය ඇතුළු සෙසු ක්‍රීඩා පස් පිඩැල්ලකට යට කරමිනි. ලංකාවේ මැරතන් ශූරයෝ දහසින් බැඳි පියල්ලෙන් සම්මාන ලබන්නට අවුරුදු උත්සවවලට ගම වටා දිව යා යුතුය.

රටකට එකොළොස් දෙනකුගේ ක්‍රීඩා කෞශල්‍යය වෙනුවෙන් දස දහස් ගණන් ක්‍රීඩකයෝ කොර කෙරී ඇත්තේය. මේ පාවා දුන් උන් ගැන පරීක්ෂණ කරනවාට වඩා සමස්ත ක්‍රීඩාව දෙස බැලීම ජාතියට වැදගත්ය.