විශේෂාංග

පිටි කිරි වල ඌරුතෙල් තියෙනවාද?

අපි ක්ෂීරපායී සත්ත්වයෝ වම්හ. වර්තමානයේ අප ක්ෂීරපායී සත්ත්වයන් ගණයට අයත් වන්නේ මව්කිරි බී වැඩෙන නිසාම පමණක් නොව, ඊටත් වඩා සිය ගුණයකින් ජීවිත කාලයක් පුරා පිටි කිරි බොන නිසා යැයි කියන්නට පුළුවන් දත්ත සංඛ්‍යා ලේඛන අපට තිබේ.

2018 වසරේ කිරිපිටි මෙට්‍රික්ටොන් අනූනව දහසක් මෙරට ජනතාව වෙනුවෙන් ආනයනය කර ඇත. ඒ අනුව දිනකට කිරිපිටි මෙට්‍රික්ටොන් 271 ක් අපි පරිභෝජනය කරන්නෙමු. මෙරට ජනතාවගේ දිනකට සහල් පරිභෝජනය කරන්නේ මෙට්‍රික්ටොන් 571 කි. මේ කිරිපිටි ප්‍රමාණය ලාංකිකයෝ සම්පූර්ණයෙන් දියකර පානය කරන්නේ නැත. ඒ වෙනුවට ලංකාවට ගෙන්වන පිටිකිරිවලින් සෑහෙන ප්‍රමාණයක් යෝගට්, බිස්කට් ආදියට දියවී යයි.
මෙතරම් ආනයනික කිරිපිටි ප්‍රමාණයක් කන බොන ජාතියකට අතිශය වැදගත් වන්නා වූ කාරණයක් බුද්ධික පතිරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කළේ ය.

‘‘පිටරටින් ගෙන්වන ආනයනික කිරිපිටිවල මෙලමයින්, ඌරු තෙල් ෆාම් ඔයිල් තියෙනවා.’
බුද්ධික පතිරණ අමාත්‍යවරයා පාරිභෝගික කටයුතු භාර අමාත්‍යවරයාද මේ ප්‍රකාශය කර තිබෙන්නේ නිකමට නොවේ. ඔහු මේ ආනයනික කිරිපිටිවල තත්ත්වය පරීක්ෂා කර බලන්නට නියම කළේ පාරිභෝගික අධිකාරියටය. පාරිභෝගික අධිකාරියේ ආනයනික කිරිපිටිවල තත්ත්ව පරීක්ෂා කර බලන්නට ඒවායේ සාම්පලයක් පුද්ගලික ආයතනයක් වෙත භාර දී ඇත්තේය. ආනයනික කිරිපිටි සාම්පලය භාරගත් පුද්ගලික ආයතනය සතියක් වැනි කෙටි කාලයකදී එම පරීක්ෂණය පැවැත්වීම ප්‍රතික්ෂේප කළේ ය. ඇමැතිවරයා සිතන්නේ මේ පිටුපස අදෘශ්‍යමාන හස්තයක් ඇති බවය.

බුද්ධික පතිරණගේ සැකය තහවුරු කෙරෙන තවත් ප්‍රකාශ දෙකක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් විය. ඒ විමල් වීරවංශගෙන් සහ විජිත් විජයමුණි සොයිසාගෙනි. විමල් පවසන පරිදි අපගේ ආනයනික කිරිපිටිවල ප්‍රමිතියේ ගැටලු පවතින බව බ්‍රිතාන්‍යයේ පර්යේෂණයකින් තහවුරු වී ඇත. එම පර්යේෂණය සඳහා මූලිකව කටයුතු කර ඇත්තේ විද්වතුන් පිරිසකි. ඔවුන්ට නඩු පැවරීමට කිරිපිටි සමාගම් මේ වන විට පියවර ගෙන තිබේ. වයඹ විශ්ව විද්‍යාලය මගින් කරන ලද පර්යේෂණයකින් ද මෙයම තහවුරුව ඇතැයි පැවසෙන හෙයින් එම වාර්තාව පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කිරීමට හැකි බවද කියයි.
මෙරට ඕනෑම නිෂ්පාදනයක ප්‍රමිතිය නිර්ණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි. 1991 සම්මත කරන ලද පනතකින් එම ආයතනය කිරිපිටි සඳහා ප්‍රමිතියක් හඳුන්වා දී ඇත. කිරිපිටිවල ප්‍රමිතිය පරීක්ෂා කෙරෙන්නේ එම ප්‍රමිතියානුකූලවය. එහිදී රසායනික අවශ්‍යතා මෙන්ම ක්ෂුද්‍ර ජීවී අවශ්‍යතා පිළිබඳවද සලකා බැලෙයි.

රසායනික අවශ්‍යතා යටතේ කිරිපිටිවල තිබිය යුතු මේදය සැලකිල්ලට ගනී. සම්පූර්ණ යොදය සහිත කිරිපිටිවල 26% ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් මේදය තැන්පත් විය යුතුය. එමෙන්ම ශ්‍රී ලංකාවට ආනයනික කිරිපිටිවල මේද කොටස් සහ ප්‍රෝටීන් ඉවත්කොට එමගින් ප්‍රෝටීන් අධික කිරිපිටි වර්ග මෙන්ම බටර්, චීස් වැනි ගුණාධික ආහාර නිෂ්පාදනය කෙරෙන බවට විවේචන පවතී. මේදය සහ ප්‍රෝටීන් ඉවත් කරන ලද කිරිපිටිවල ඉතිරිවන්නේ ගුණයක් නැති කුඩක් පමණි. එහෙත් කිරිපිටිවල ප්‍රමිතිය සැකසීම සඳහා මෙම කුඩ්ඩට මෙලමයින් සහ ඩී.සී.ඩී. වැනි විෂ රසායන එකතු කොට ප්‍රෝටීන් ප්‍රතිශතය කෘත්‍රිමව නිර්මාණය කරන බව පැවසේ. ඉවතට ගන්නා මේදය වෙනුවට ඌරුතෙල්, ෆාම්තෙල් යොදා මේද ප්‍රතිශතයද යළි සකස් කෙරෙන බවට චෝදනා නැගෙයි.
මෙවැනි චෝදනා නිසාම 2008 වර්ෂයේ දී කිරිපිටි සඳහා එස්එල්එස් ප්‍රමිතිය නැවත සංස්කරණය කරන්නට තීන්දු කෙරිණ. ඊට අනුව කිරිපිටිවල තිබිය යුතු නියමිත මේදය වෙනුවට වෙනත් සත්ත්ව හෝ ශාක තෙල් අඩංගුද යන්න පරීක්ෂා කර බලනු ලබයි. මෙහිදී කිරිපිටිවල තෙතමනයද සලකා බැලෙන කාරණයකි.
කෙසේ වෙතත් කිරිපිටිවල ප්‍රෝටීන් ගුණය කෘතිමව ඇති කිරීම සඳහා මෙලමයින් සහ ඩීසීඩී යොදා තිබේදැයි පරීක්ෂාවක් මේ වන විට ශ්‍රී ලංකාවේ සිදුවන්නේ නැත. එස්එල්එස් ප්‍රමිතිය යටතේ සිදු කෙරෙන පූර්ව ආනයන පරීක්ෂාවට එය ඇතුළත් වී නැත. මෙලමයින් සහ ඩීසීඩී පිළිබඳ තහවුරුව ලබා ගන්නේ කිරිපිටි ආනයනය කෙරෙන රටේ පර්යේෂණාගාරයක් මගින් ලබාදෙන සහතිකයක් මතය.

ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කෙරෙන සමාගම් දෙකක කිරිපිටි නිෂ්පාදනයන්ට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව සහතිකයද හිමිය. මෙම එක් සමාගමක මෝල්ටමය කිරි පානයක් සඳහා ද ප්‍රමිති සහතිකය හිමිව තිබේ. එහෙත් ඇතැම් සමාගම්වල කිරිපිටි නිෂ්පාදන සඳහා ප්‍රමිති සහතිකයක් නැත.
කෙසේ වෙතත් මෙම සමාගම් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර විද්‍යාගාර ඇතුළු ප්‍රධාන ආයතන ගණනාවකින් ඔවුන්ගේ ආනයනික කිරිපිටිවල සුරක්ෂිතතාව තහවුරු කර ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේද ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන කිරිපිටි එළවළු තෙල් හෝ සත්ත්ව මේදවලින් තොර ආරක්ෂිත කිරිපිටි බවට තහවුරු කළ හැකි බවකි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ එම තහවුරුව ලබා දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන්ය. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් කීවත්, බුද්ධික පතිරණ අමාත්‍යවරයා මේවා විශ්වාස කරන්නේ නැත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තහවුරු කිරීම් පිළිබඳ කුකුස මතුවන කතාවක් බුද්ධික පතිරණ නි. ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පසුගියදා සිදු කළේ ය. ඔහු එහිදී පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි කොට විශ්‍රාම ගිය කිහිප දෙනකුම පසුව කිරිපිටි සමාගම්වල නිලතලවලට පත් වූ බවයි.
සෞඛ්‍යය අමාත්‍යාංශයේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අතුල කහඳලියනගේ විශ්‍රාම ගිය පසු කිරිපිටි සමාගමක තනතුරකට පත් වූ බවද පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපතිවරයකු පසු කලක කිරිපිටි සමාගමක ඉහළ තනතුරකට පත් වූ බවද බුද්ධික පතිරණ පෙන්වා දෙන්නට යෙදුණේය.
බුද්ධික පතිරණගේ තර්කය වූයේ එවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය ආයතන මගින් කිරිපිටි සම්බන්ධයෙන් ලබාදෙන තහවුරු කිරීම් පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතු බවකි.
දේශීය වශයෙන් කිරිපිටි සඳහා මෙලෙස තත්ත්ව සහතික ලබාදෙන ආයතනයන්ට අමතරව කිරිපිටි සඳහා ලෝක ප්‍රමිති ආයතනය මගින් අනුමත ක්‍රමවේදයක් ද වෙයි. එහෙත් ශ්‍රී ලංකාව එම අයිඑස්ඕ ප්‍රමිතිකරණයට එක්ව නැත. ශ්‍රී ලංකාවේ දී කෙරෙන එස්එල්එස් පරීක්ෂාවේදී පරීක්ෂාවට ලක්වන්නේ තෝරාගත් නියැදියක් පමණි. කිරිපිටි ආනයනය කෙරෙන්නේ කිලෝ 25හේ පැකට් ලෙසය. එම සෑම පැකට්ටුවක්ම පරීක්ෂාව ප්‍රායෝගික නොවන්නා සේම, අහඹු පරීක්ෂාව ද සමස්තයේ නියෝජනයක් ලෙස සැලකීම සාර්ථක නොවේ.

අනෙක් කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ රසායනාගාර සතු පරීක්ෂණ උපකරණ කිරිපිටිවල නිසි ප්‍රමිති පරීක්ෂාවකට කෙතරම් දුරට යෝග්‍ය ද යන්නයි. පාරිභෝගික අධිකාරියද මෙම තාක්ෂණික උපකරණවල සීමාසහිත බව අවධාරණය කරයි.
ආනයනික කිරිපිටි සම්බන්ධ සාධාරණ වූද, ස්වාධීන වූද පරීක්ෂණයක් පවත්වන ලෙස පාර්ලිමේන්තුව විසින් භාරිභෝගික අධිකාරියට වගකීමක් ද පවරා තිබේ. අධිකාරියේ අභ්‍යන්තර අනාවරණයන්ට අනුව කිරිපිටි පිළිබඳ එම පරීක්ෂණය සිදු කළ යුතුව ඇත්තේ විදේශයකය. එයට හේතුව කිරිපිිටි පිළිබඳ නිසි පරීක්ෂණයක් සඳහා මෙරට තාක්ෂණික උපකරණ ප්‍රමාණවත් නොවීමය.

කිරිපිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ද ලැයිස්තුගත කර ඇත. එම අත්‍යවශ්‍ය භාණ්ඩය පරිභෝජනය කරන ජනතාව අද සිටින්නේ උභතෝකෝටික තත්ත්වයකය. කිරිපිටි බොනවාද, නැද්ද? අප මේ සිදු කරන්නේ දරුවන්ට වස පොවා අපිත් වස බොනවා වැනි වැඩක්ද? කිරිපිටි ගැන මේ පැතිර යන කතා ඇත්තද? බොරුද, සාමාන්‍ය ජනතාවට මෙය ප්‍රශ්නයකි. කිරිපිටි පැකට්වල මුද්‍රණය කොට ඇති අඩංගු ද්‍රව්‍ය පිළිබඳ ලේඛනයේ විටමින්, ප්‍රෝටීන්, මේදය, ඛනිජලවණ ආදී ලැයිස්තුවක් වෙයි. මේ සංඛ්‍යා සැබෑ ලෙසම නිවැරදිද යන සැකයද සාමාන්‍ය ජනතාවට මතුව තිබේ.

මෙම ප්‍රශ්නවලට විසඳුමක් ලෙස ආනයනික කිරිපිටි භාවිත නොකර සිටීමට නම් දේශීය වශයෙන් කිරිපිටි අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය වී තිබිය යුතුය. එහෙත් දේශීය සාමාගම් දෙක තුනකටම කිරිපිටි නිෂ්පාදනය කළ හැකිව ඇත්තේ රටේ සමස්ත ඉල්ලුමෙන් සියයට 8-10 ත් අතර ප්‍රමාණයකි. එම ප්‍රමාණයෙන් බහුතරය සපයන්නේ මිල්කෝ සමාගමයි. ඒ අනුව රටේ මුළු කිරිපිටි පරිභෝජනයෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුව තිබේ. ඒ සඳහා වසරකට ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් බහුජාතික සමාගම් වෙත ශ්‍රී ලංකාවෙන් ඇදී යයි. ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන කිරිපිටි අතර 60% ක පමණ අධිකාරියක් දරන්නේද එක් සමාගමක් මගිනි.

කිරිපිටි භාවිතයෙන් ඈත්ව දේශීය දියර කිරි භාවිතයට හුරුවීම මගින් මෙම ගැටලුවට විසඳුමක් සෙවිය හැකි බව ඇතැම් දේශීය සමාගම් ප්‍රකාශ කර සිටියි. එසේ වීමට නම් අවශ්‍ය ප්‍රමාණයට දේශීය වශයෙන් සම්පත් තිබිය යුතුවෙයි. කිරි නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධාන සම්පත් වන්නේ කිරි ගොවීන් සහ කිරි ගවයන්ය.

කිරි ගොවීන්ට මුහුණ පෑමට සිදු වූ තවත් ප්‍රශ්නයක් වූයේ ආනයනික කිරි ගවයන්ගේ හදිසි මිය යාමය. නවසීලන්තයෙන් ආනයනය කෙරුණු ඉස්තරම් වර්ගයේ යැයි සඳහන් කළ කිරි ගවයන්ගෙන් දිනකට කිරි ලීටර් 15-20 ක් ලබාගත හැකි බව ගොවියාට පැවසුවද කිරි ලීටර් 4-5 ක් ගොවියාට ලබා දී ගවයා මියගියේ ය. මෙම සතුන් මිලදී ගැනීමට වැය කළ මුදල් අපතේ යාමක් සිදු වූ බව පවසමින් කිරිගොවීහු පසුගිය සමයේ උද්ඝෝෂණ ද කළහ. ශ්‍රී ලංකාවේ කිරිගොවීහු ලක්ෂ 3 කට වැඩි ප්‍රමාණයක් සිටිති. එම ගොවීන්ගෙන් පාලනය වන කිරි ගවයන්ගේ ප්‍රමාණය ලක්ෂ 13 කට ආසන්නය. එම කිරි ගවයන්ගෙන් දිනකට ලබාගත හැකි දියර කිරි ප්‍රමාණය ලීටර් ලක්ෂ 12 ක් පමණය. මේ ආකාරයට ගණන් හැදුවහොත් මුළු ලංකාවටම එළදෙන්නු දුන්නද අපේ රටේ ක්ෂීරපායි ජනතාවට වුවමනා කිරි දොවන්නට නොහැකිය.

කෙසේ වෙතත් මේ වන විට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට ලබා දෙන්නේ ද දියර කිරිය. පාර්ලිමේන්තු සංකීර්ණයට කිරිපිිටි වද්දා නොගනී. පාර්ලිමේන්තුවට වද්දා නොගන්නා කිරිපිටි රටේ ජනතාවට පොවන්නේ ඇයිද යන්නත් ගැටලුවකි.

තුෂාර උඩවත්ත