විශේෂාංග

පිටකොටු‌වේ ඇපල් කිලෝව හාරසීයයි එනසාල් දහදාහයි

ලංකාවේ වැඩිම මිලට අලෙවි වන මල කුමක්දැයි ඔබත් ඇසුවහොත් ඔබ ඕකිඩ්, ගාඩිනියා, ලැවැන්ඩර් ආදී විවිධ මල් වර්ග සිහියට නගා ගනු ඇත්තේ නිතැතිනි. එහෙත් ලංකාවේ මිල අධිකම මල ඔය කියන එක කෙහෙල්මලක් නොවේ. ලංකාවේ මිල අධිකම මල සාදික්කා මලය. එය පිටකොටුවේ කුළු බඩු තොග අලෙවිකරුවන් අතර තොග මිල කිලෝවක් රුපියල් 4500කි.
එසේ නම් ලංකාවේ මිල අධිකම කුළුබඩු වර්ගය කුමක්දැයි ප්‍රශ්නයක් පැන නගින්නේ නිතැතිනි. පිටකොටුවේ කුළුබඩු තොග අලෙවි පොළේ කරක් ගැසූ අපට අවසානයේ එය සොයා ගත හැකි විය. බොහෝ කුළුබඩුවලට මේ මිලට කිට්ටුවන්නටවත් හැකි වන්නේ නැත. ඒ එනසාල්ය. පිටකොටුව කුළුබඩු තොග වෙළෙඳපොළේ එහි මිල තත්ත්වය නොහොත් කොලිටිය මත රුපියල් දහදහසේ සිට දොළොස්දහස් පන්සිය දක්වා මිල නියම වන අයුරු දුටු අප මවිතයට පත් විය.

එනසාල් මිල මෙතරම් ඉහළ යාම ගැන අප සමග කතාවට වැටුණේ කුළුබඩු අලෙවියේ නියුතු සෙල්ලාය.
‘‘ලංකාවේ ඒ කාලේ ඉඳන් එනසාල් ආවේ සීත පළාත්වලින්. වත්තේගමින් පන්ගොල්ලමඩ පාරේ හුන්නස්ගිරියටම යන කම් තිබුණා. රත්තොටින් ඇලහැර පාර පැත්තෙනුත් එනසාල් තොග කොළඹට ආවා. කරාබු නැටි, සාදික්කා, පුවක්, කෝපි, කොකෝවා, ඒවා ඔක්කොම ඒ කාලේ කොළඹට ආවා. දෙදහස් දහයට කලින් එනසාල් කිලෝවක් වුණේ රුපියල් හත්සියයක් විතර, ඒත් දැන් ඔය කියපු කුළුබඩු කොළඹට එනවා අඩු නිසයි මෙච්චරම මිල ඉහළ ගියේ.’’

අපි ඔහුගේ තොග වෙළෙඳ කුටියේ ඇති එනසාල් තොග පරීක්ෂා කර බැලුවෙමු. තත්ත්වය අනුව ඒවා වීදුරු පෙට්ටිවල අසුරා කොණ්ඩිපට්ටම්ද සවිකර තිබුණත් ඉබ්බන් දමා තිබුණේ නැත. මේ වෙළෙඳුන් පවසන්නේ ලංකාවේ එනසාල් තරම් ගුණවත් භාවයක් නොහොත් කොලිටියක් ආනයනික එනසාල්වල ඇති බවය. ආනයනික එනසාල් එන්නේ කිලෝවේ මනරම් විසිතුරු කොරුගේටඩ් පෙට්ටිවලය. එහි නිෂ්පාදිත රට ලෙස මුද්‍රණය කොට තිබුණේ (Gothamala) ගෝතමාලාය. එම ආනයනික එනසාල් ටිකක් කහපාටට හුරුවන අතර හොඳ සැරෙන් යුතු ලංකාවේ එනසාල් ළා කොළ පැහැයට හුරුය. බොහෝ තොග වෙළෙන්දන් අපට පැවසුවේ තමන්ට එනසාල් ලැබෙන්නේ ඩුබායිවල සිට බවය. අප සිතුවේ අරාබිකාරයෙක් කාන්තාරයෙන් ඔටුවන් පන්නා පස් පුරවා එනසාල් හිටු කියා වගා කර ඇතිය කියාය. එනසාල් හේන් රකින අරාබිකාරයන් පැල්වල සිට කියන ‘‘එනසාල් කවිද’’ අපට සිහියට නැගෙන්නට විය. නමුත් ඩුබායිවල සිට එනසාල් එන අයුරු අපට දැන ගත හැකි විය.

‘‘ඩුබායි කාන්තාරේ හැදෙන ඉලව් එනසාලක් නෑ බොසා! ගෝතමාලාවෙන් ඩුබායිවලට එනසාල් එක්ස්පෝට් කරනවා. එහේ ෆ්‍රී ඉකොනොමි (විවෘත ආර්ථිකයක්) තියෙන්නේ. ලංකාවෙන් යන අය බැගේජ්දාලා (ලොකු ගමන්මලුවල) හංගලා කස්ටම් එක අල්ලගෙන තමයි හොරට එනසාල් ගේන්නේ. නීත්‍යානුකූලව ලංකාවට එනසාල් ගෙනාවොත් කිලෝවක් රුපියල් විසිපන්දහසටත් වැඩියි.’’

පිටකොටුවේ කුළුබඩු තොග අලෙවි පොළේ මිල නිතර උච්චාවචනය වේ. නමුත් මීට මසකට පෙර ගොරකා කිලෝ 30,000ක් රුපියල් 350 බැගින් මිලදී ගත්තත් අද තොග මිල රුපියල් 100ට බැස ඇතිනිසා තමන්ට වූ ලක්ෂ ගානක පාඩුව ගැන ලිපියක් ලියන ලෙස එක් වෙළෙන්දකුගෙන් අපට බේරෙන්නට බැරි විය. මේ වෙළෙඳසල්වල කරාබු නැටි කිලෝවක් රුපියල් 1300ක්, ගම්මිරිස් රුපියල් 680ක්, සාදික්කා ඇට රුපියල් 750ක්, අලෙවි වන තොග මිලයි.  මේ වෙළෙඳපොළ තුළ සැරිසරන විට සිංහල, මුස්ලිම්, දෙමළ විවිධාකාර ජාතිවල ව්‍යාපාරිකයන් අතර රසවතුන්ද සිටී.

මේ අතරින් ඉබ්‍රාහිම් නමැති ව්‍යාපාරිකයකු අප සමග කතාවට වැටුණේ සංසාරයේ පතාගෙන ආ මිතුරකු පැමිණියා ලෙසය. ‘‘මොකද බොසා දෙරණෙන් මුස්ලිම් අපට මේ තරම් ගහන්නේ යැයි’‘ කියමින් ඔහු කතාවට වැටුණේය.
ඉබ්‍රාහිම් කියන පරිදි (මේ පාස්කු ප්‍රහාරයේ ඉබ්‍රාහිම් නොවේ) එනසාල්  කොළඹට එන්නේ හුන්නස්ගිරිය, නකල්ස්, මීමුරේ, කළුපහන, පල්ලේගම, ලග්ගල වැනි ප්‍රදේශවලිනි. මැතිනියගේ 1970-77 රජයේ ප්‍රධාන අපනයන භෝගයක් වී ඇත්තේ එනසාල්ය.

‘‘වික්ටෝරියා වේල්ල විවෘත කරන්න මාග්‍රට් තැචර් ආපු වෙලේ ඒ ප්‍රදේශවල එනසාල් වගාව තහනම්  කළා. ඒකට හේතුව වික්ටෝරියා ජලාශයට රොන්මඩ එකතුවීම. එනසාල් වැවෙන්නේ සීතල දේශගුණය තියෙන රූස්ස ගස් යට. එනසාල් පඳුරු හැදෙන්නේ. ඒ යට තණකොළ ගහක්වත් නෑ. කෙළින්ම බත් දාලා කන්න පුළුවන් තරම් පිරිසිදුයි. වැස්ස වැහැපු ගමන් එනසාල් ගස් යට ඔක්කොම පස් හේදිලා රොන්මඩ වික්ටෝරියා ජලාශයට ගියා. ඒ නිසයි එනසාල් තහනම් කළේ. සිංහල රජකාලෙත් එනසාල් තිබිලා තියෙනවා. අපේ සීයා අවුරුදු 106ක් ජීවත් වෙලා 1965දී අන්ත්‍රා වු‍ණේ. සීයාගේ සීයලා ලංකාවට යේමනයෙන් කොළඹට ඇවිල්ලා තියන්නේ එනසාල් එකතු කරන්න.’’

අප තම්බියන්, හම්බයන්, මරක්කලයන් ලෙස අතීතයේ අවඥාවෙන් බැලුවද එසේ අවඥාවට ලක් කළ යුත්තේ නැති බව අපට ඒත්තු යෑමට වැඩි වෙලා ගියේ නැත. මොවුන් අතර සිටින විවිධ ජාතිකයන් සමග කතා කරන විට එන්ජීඕකාරයන් ජාතිවාදය ලෙස හඳුන්වන්නේ කුමක්දැයි අපට ප්‍රශ්නයක් පැන නැගුණේය.

‘‘රටේ වැෙවන කුළුබඩුවක් ආනයනය කරන කොට එම කුළුබඩුව රටේ අලෙවි වන මිල වගේ 100%ක් ටැක්ස් එකක් ගහන්න ඕන. මේ රටින් ගෙනාපු ඔක්කොම එනසාල් නීති විරෝධීයි. දැන් ලංකාවේ එනසාල් බසාර් එකේ 5%ක් වත් නෑ. සිංහරාජ වනාන්තරේ වගේ පැතිවලින් තමයි ඒ ටිකත් එන්නේ.’’

මේ තොග වෙළෙන්දන් පවසන්නේ එනසාල් තොග රැගෙන යන ව්‍යාපාරිකයන් වර්ග කිහිපයකි. පැකට් කර සුපර් මාකට්වලට අලෙවියට දාන සමාගම්, ආයුර්වේද බෙහෙත් නිෂ්පාදන ආයතන, සුවඳවිලවුන් නිෂ්පාදන ආයතන හා අපනයන කුළුබඩු සමාගම් ඒ අතරින් ප්‍රධානය. මොවුන් කියන පරිදි ශ්‍රී ලංකා මහබැංකුව නමැති ආයතනය කිසි දින තම හමුවට පැමිණ නැත. මහබැංකු වාර්තාවේ එනසාල් ගැන ඇති දත්ත දැක එක් ව්‍යාපාරිකයකු කොක් හඬලා සිනාසුණේ සිංගප්පූරුවේ සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන ඇලෝසියස්ටද ඇහෙන තරමටය.

‘‘ඉස්සර වාණිජ මණ්ඩලයේ කුළුබඩු ඔක්ෂන් එකට උදේ 3-4ට අපිත් ගියා. ඒකට කුරුඳු – ගම්මිරිස් – සාදික්කා – එනසාල් – වසාවාසි වගේ ඔක්කොම ආවා. ඒත් දැන් බඩු නැති නිසා ඔක්ෂන් එකක් ෆුල් හබක්. ඒ කාලේ පදියතලාවෙන් කෝපි ආවා වෙන්දේසියට. දැන් ඉන්දියාවෙන් ගේන කෝපි පදියතලාවට අපි යවනවා. මේක තමයි ලෝකේ ගොවියෝ වහබොන එකම රට. කෘෂිකර්ම ඇමැතිලා ඒත් හැටහුටාමාරක් තමා ඉන්නවා.’’

අප රාජ්‍ය තොරතුරු සේවයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දුරකථන අංකය ඉල්ලාගෙන එනසාල් මිල ගැන හා වගාවට තහනමක් ඇත්දැයි විමසා සිටියදී එතැන නිලධාරීන් රාජ්‍ය අංශයේ උදාන පාඨය වූ ‘‘පුළුවන් නම් වැඩේ කරගෙන පෙන්නපන්’’ යන පාඨය ප්‍රායෝගිකවම අපට අත්දැකිය හැකි විය. දුරකථනය කිහිප තැනකට යොමුකළද එනසාල් ගැන කියන්නට කෘෂිකර්ම අමාත්‍යාංශය මෙලෝ හසරක් දැන සිටියේ නැත. එනසාල් මිල අසා එක් නිලධාරියකු තවත් නිලධාරියකුට එය උස් හඬින් කිව්වේ විමතියට පත් වෙමිනි.

එනසාල් මිල ගැන සොයන්නට පිටකොටුවේ කරක් ගැසූ අපට ඇත්තටම මෙරට පාලනය කරන පාලකයන් ගැන ඇති වූයේ ද්වේශයකි. මෙරටට දැවැන්ත විදේශ විනිමයක් රැගෙන ආ හැකි ‘‘එනසාල්’’ වගේම ගම්මිරිස්, කරුංකා, කුරුඳු වැනි බෝග රාජ්‍ය මැදිහත්වීමකින් අපනයන ක්‍රමවේදයක් සකස් නොකිරීම නිසා ඒවාට අත්විඳින්නට වී ඇති ඉරණම කනගාටුදායකය. හතරවන හරස්වීදිය, වේල්ලවීදිය, පරණ යෝන් වීදිය පසුකර පිටකොටුව බෝගහ මංසන්දියට එන විට එහි ආනයනික ඇපල් බදු ගෙවා ශීතාගාරවලින් ලයිට් බිල් ආදියද ගෙවා විකිණීමට තිබුණි. ඇපල් කිලෝවක මිල රුපියල් 400කි. ඒ කියන්නේ එනසාල් කිලෝවක් ගන්නට ඇපල් කිලෝ 25ක් විකිණිය යුතු බව නොවේදැයි අපට සිතුණි.

වජිර ලියනගේ