විශේෂාංග

පිටකොටුව ගමේ ග්‍රාමසේවක සොයා ගියෙමි!

රූපවාහිනියේ ගිය සතියේ මීට දශක දෙකකට පමණ පෙර විකාශය වූ විකට වැඩසටහනක් ප්‍රචාරය වූයේ ඇනස්ලි, බර්ටි, සැමුවෙල්ගේය. එහි වූයේ රජයේ කාර්යාලයකි. එය දඬුවම් ලෙස රාජ්‍ය නිලධාරීන් දුෂ්කර පැතිවලට මාරු කරන තැනකි. ආයතනයේ ප්‍රධානියා එක් රජයේ නිලධාරියකු මාරු කර හරින ලද දුෂ්කර ප්‍රදේශය ගැන කරුණු විමසන්නට විය. දඬුවමක් ලෙස රජයේ නිලධාරියා මාරු කර තිබූ ප්‍රදේශය ‘‘පිටකොටුවය’’. මාරුවීම කළ රජයේ නිලධාරියා තම ප්‍රධානියාට මෙසේ උත්තර දෙයි.

‘‘සර් බැරිම තැන තමයි ඕකව පිටකොටුවට මාරු කළේ. හරිම දුෂ්කර පළාතක්. හරියට වතුර ටිකක්වත් නාගන්න තියෙනවද සර්’’

ප්‍රශ්නය වී ඇත්තේ මේ විකට වැඩසටහන රචකයා පිටකොටුව ගැන අනවබෝධයෙන් මේ විකට වැඩසටහනට රචනා කිරීමය. අදද අතින් වතුර ඇද නාගත හැකි නාන ළිං සමූහයක් පිටකොටුව හා ඒ ආශ්‍රිතව ඇත.

සමහර දුර බැහැර ප්‍රදේශවලට සමහරු දුෂ්කර බව පෙන්වන්නට කියන්නේ අමු වන්නිය කියාය. එමෙන්ම පිටකොටුවේ ඉන්න බව කියන්නට සමහරු යොදා ගන්නේ ‘‘අමු කොළඹ’’ වැනි වදනයි. අප කොයිතරම් නගරයක් යැයි සිතා සිටියාත් පිටකොටුවද ගමක් බව පෙනී යන්නේ පිටකොටුවේද ‘‘ග්‍රාම නිලධාරි’’ වරයකු සිටින නිසාය.

ග්‍රාම නිලධාරී යන තනතුර ආරම්භය පණ්ඩුකාභය රජතුමාගේ රජසමය තෙක් දිව යයි. ලංකාවේ ප්‍රථම වරට ග්‍රාම රාජ්‍යයක් නිර්මාණය කළ රජු ලෙස ඉතිහාසගතව ඇත්තේ පණ්ඩුකාභය රජතුමාය. ග්‍රාම නිලධාරී තනතුරු සැලකෙන්නේ පණ්ඩුකාභය රජ සමයේ සිට යටත්විජිත පාලන යුගවලද නොවෙනස්ව පැවැති අද දක්වාත් බලාත්මකව ඇති තනතුරක් ලෙසය.
පිටකොටුව වැඩ බලන ග්‍රාමනිලධාරී මහතා වන්නේ ඒ.ඒ.එල්. චතුරංග මහතාය. අප මුලින්ම අසා සිටියේ පිටකොටුව ග්‍රාම සේවා කොට්ඨාසයේ මායිම ඇත්තේ කොහේද යන වගයි.

‘‘ඔය දැන් ෆ්ලෝටින් මාකට් එක, ගුණසිංහපුර, වේල්ල වීදියපැත්ත, මල්වත්ත පාර මායිම තමයි පිටකොටුව ග්‍රාම නිලධාරී වසමට අයත් වන්නේ’’

චතුරංග මහතා පිටකොටුව ග්‍රාම සේවා කොට්ඨාසය ගැන සඳහන් කරද්දී අප මතකයට ආවේ මෙරට ග්‍රාම නිලධාරී ඉතිහාසයයි. පෙර රජ සමයේ නම් රජුගේ නියෝග ක්‍රියාත්මක කිරීම මෙන්ම යටත් විජිත යුගවල රටවැසියාගෙන් බදු එකතු කිරීම සිදු කරන ලද්දේද ග්‍රාම නිලධාරීවරයා විසිනි. ලංකාව ජනරජයක් වූ පසු ශ්‍රී ලංකා ජනරජයේ සිටින ගමේ නියෝජිතයා වන්නේ මේ ග්‍රාම නිලධාරිවරයාය. අපේ පොදු ජනතාව නම් ග්‍රාම සේවක මහත්තයා ලෙස කියූ සැණින් මනසේ මවා ගන්නේ එදිනෙදා ගැටලු ඇති වූ විට උපදෙස් ලබා ගැනීමටත්, ස්වාභාවික අතුරු අන්තරාවලදී තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කොට සහන ඉල්ලීමටත් මෙරට පරිපාලන ව්‍යුහය තුළ සිටින ජනතාව අතිශයින් සමීප රාජ්‍ය නිලධාරියා ලෙසය.

අප මේ ජනතාව ගැන විස්තර කියන විට මේ උදේ හවස බස් එකේ නගින්නට, කෝච්චියේ නගින්නට පිටකොටුවට එන ජනතාවට පිටකොටුවේ මොන ජනාවාසදැයි අන්දුන්කුන්දුන් විය හැකිය. එහෙත් පිටකොටුවේත් ජීවත් වන පවුල් ඇති බව අසන බොහෝ දෙනකු විමතියට පත්වනු නියතය. මේ පිටකොටුව ‘‘ගමේ’’ ග්‍රාම නිලධාරී චතුරංග මහතා තම ග්‍රාමසේවා කොට්ඨාසයේ සිටින පදිංචිකරුවන් ගැන කරන විග්‍රහයයි.

‘‘මගේ පිටකොටුව ග්‍රාම සේවා වසමේ ගෙවල් 29ක් තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සම සමව වගේ ඉන්නවා. මේ ග්‍රාමසේවා කොට්ඨාසයේ ස්ථිර නිවාස ගණන 29ක්. මේ ප්‍රදේශයේ වැඩිපුරම තියෙන්නේ ව්‍යාපාරික ස්ථාන, ගබඩා, තොග කඩ සහ කාර්යාල.

පිටකොටුවේ ස්ථිර නිවාස 29ක් තිබේනම් ඡන්දදායකයන් කොපමණ සිටී දැයි දැනගැනීම අපගේ ඊළඟ අවශ්‍යතාව විය. විශේෂයෙන් නාගරික ප්‍රදේශයකදී පාසලට දරුවන් ඇතුළත් කිරීම, ඡන්ද නාම ලේඛනය අලුත් කර ගැනීම වැනි කටයුතුවලදී ග්‍රාම නිලධාරියාගේ සේවය අනිවාර්ය කරුණකි. ඡන්ද කාලයේදී නම් පිටකොටුව ප්‍රදේශය පුරා මනාප පෝස්ටර් අලවන්නේ මරාගනිමිනි. ඒ පිටකොටුවෙන් තම ගමන් වාරය ආරම්භ කරන ඡන්දදායකයන්ට යැයි මෙතෙක් අප සිතා සිටියද පිටකොටුව ග්‍රාමසේවක මහතා තම ප්‍රදේශයේ ලියාපදිංචි ඡන්දදායකයින් ගැන කියන්නේ මෙවැන්නකි.

‘‘මේ පිටකොටුව ග්‍රාමසේවා වසමේ ඡන්ද දායකයෝ 129ක් ඉන්නවා. රුපියල් දෙදාහේ වැඩිහිටි දීමනාව ගන්න දෙන්නෙක් ඉන්නවා. වැඩිමල්ම පුද්ගලයාගේ වයස අවුරුදු 72ක්. මං මේ තනතුරට පත්වෙච්ච දවසේ ඉඳන් මේ ඡන්දදායකයින් සංඛ්‍යාව වැඩිවුණෙත් නැහැ. අඩුවුණෙත් නැහැ.

සාමාන්‍යයෙන් ගම්බද ප්‍රදේශවල නම් ග්‍රාම නිලධාරියා බොහෝ විට ගමේම මිතුරකු බවට පත්වේ. එහෙත් පිටකොටුව යනු ඉතා සීමිත පදිංචිකරුවන් පිරිසක් සිටින අති බහුතරයක් පිටස්තරයන් පිරිසක් උදේ සිට රාත්‍රි දක්වා සැරිසරා ගම්බිම් බලා යන පෙදෙසකි. ඔවුනට ‘‘පිටකොටුව ග්‍රාම නිලධාරියාගෙන්’’ ඇති ඵලප්‍රයෝජනද විවිධාකාරය.

‘‘ඇත්තටම ගමක ග්‍රාමසේවක මහත්තයකුගෙන් ගමේ උදවිය බලාපොරොත්තු වන සේවයට වඩා වෙනස් සේවයක් මේ පළාතේ ගැවසෙන පුද්ගලයන් ග්‍රාමසේවක කියන රාජ්‍ය නිලධාරියාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, බැංකු ගිණුමක් ආරම්භ කිරීම, ව්‍යාපාර නාමයක වෙනසක් කිරීම, ආයතනයට ස්ථාවර දුරකථනයක් ලබාගැනීම වගේ දේවල්වලට තමයි ඉතින් මේ පළාත්වල ග්‍රාමසේවක සොයාගෙන එන්නේ.’’

පිටකොටුවේ ග්‍රාමසේවක මහතාගෙන් අප අසා සිටි එක් වැදගත් කාරණයක් වූයේ පිටකොටුවේ ග්‍රාම සේවා වසමේ පදිංචිකරුවන් ගංවතුර ආධාර, හෝ නියං ආධාර එහෙම ඉල්ලාගෙන එන්නේ නැද්ද යන පැනයයි’’
‘‘මේ පැත්තේ මොන ගංවතුරද? නියං ආධාර නම් කවුරුත් ඉල්ලල නෑ. මං කලින් කිව්ව වැඩිහිටි දීමනාව ගන්න දෙන්න විතරයි ඉන්නේ.’’

ග්‍රාම නිලධාරියා යනු අධිකරණ කටයුතුවලදී බලාත්මක චරිතයකි. මානසික රෝගී ආඥා පනතේ සිට ග්‍රාම නිලධාරිවරයාගේ සාක්කිය නීතිමය කටයුතුවලදී කෙතරම් තිරනාත්මක සාධකයක් වේදැයි දැනගැනීමට ග්‍රාම නිලධාරිවරයකු සම්බන්ධයෙන් වෘත්තීය ගෞරව අධ්‍යයනයේදී වැදගත් වන කරුණකි. මෙරට ලේඛනගත නඩු තීන්දු නිරීක්ෂණයේදී ග්‍රාම නිලධාරිවරයකු නඩුවක පාර්ශ්වකරුවකු ලෙස සාක්කි දීම හෝ ග්‍රාමනිලධාරිවරයා විසින් ගරු අධිකරණයට නිකුත් කර තිබූ ලිපියක නීතිමය ‘‘බලවත්කම’’ තහවුරු කර ගත හැකිය. පිටකොටුව ග්‍රාමනිලධාරී මහතා අපට මේ ගැන සඳහන් කරමින් තම අදහස් පළ කළේ මෙසේය.

‘‘මම නම් මේ තනතුරට ඇවිත් මාස 5ක් විතර වෙනවා. මේ රටේ පොදු නීතිය යටතේ තවම නම් අධිකරණයක සාක්ෂිකරුවකු විදිහයට නඩු කටයුතුවලට සහභාගි වෙලා නැහැ සිතාසි නියමිත පුද්ගලයා අතට පත්කිරීම වගකීමක්.
නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නෙවෙයි. ග්‍රාම නිලධාරිවරයකුට නීතිමය අවබෝධයක් තිබීම ඉතා වැදගත්. මේ වගේ කොමර්ෂල් ඒරියාවල ගොඩක්ම සිතාසි ලැබෙන්නේ ආයතනවලට මුදල් ආරවුල් සම්බන්ධයෙන්. බැංකු අයිරා නොගෙවීම, ෆිනෑන්ස්, ලීසිං නඩු වගේ ඒවා.’’

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේදී පුවල් සංස්ථාව තුළ සිදුවන අඬදබර වැනි ගැටුම්වලදී ග්‍රාමීය ප්‍රදේශවල නම් තම ප්‍රශ්නය ඉදිරිපත් කරන පළමු පුද්ගලයා නොහොත් දුක්ගන්නාරාල වන්නේ ග්‍රාම නිලධාරියාය. මේ පිටකොටුව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවුල් අතර ආරවුල්වලදී ග්‍රාම නිලධාරියා ලෙස මැදිහත් වී ඇත්තේ කෙසේ දැයි දැන ගැනීමට අපට අවශ්‍ය විය.
‘‘පවුල් ආරවුල්, ඉඩම් ආරවුල්, ඉඩම් මායිම් ප්‍රශ්න වගේ දේවල් ග්‍රාමීය ප්‍රදේශවලට විතරක් සීමා වෙච්ච පොදු දේවල් නෙවෙයි. මේ පළාතෙත් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳන එකේදි වැදගත් වෙන්නේ ගමද නගරයද කියන එක නෙවෙයි. ග්‍රාම නිලධාරියකු ලෙස තමන්ගේ නීතිමය වපසරිය තුළ ප්‍රශ්නය විසඳාදීමයි.’’

අපට අවසන් වශයෙන් ඇසීමට අවශ්‍ය වූයේ මේ පිටකොටුව ග්‍රාම නිලධාරී වසම පසුගිය වසර තුළ වාර්තා වූ මරණ හා උපත් කොපමණ යන පැනයයි.

‘‘මේ පැත්තේ පොඩි අය නැති තරම්. ඉන්නෙම වයසක තලත්තෑනි අය. මගේ කාලේ නම් එක මරණයක්වත් දරු උප්පත්තියක්වත් වාර්තා වෙලා නෑ කියලා මට අවසන් වශයෙන් කියන්න පුළුවන්.

වජිර ලියනගේ