විශේෂාංග

පිටකොටුවෙ කඩවල පොකැට් රේඩියෝ

‘‘මේ කතා කරන්නේ කොළඹින් කොළඹගේ.’’

‘‘මේ ලියන්නේ දිවලකඩින් ගුලීය.’’

මේ හැටේ දශකයේ මුල කොළඹින් කතා කළ ඩී.ඇම්. කොළඹගේ ගැන ගුණදාස ලියනගේ ලංකාදීපයට ලියූ ලිපියේ ශීර්ෂපාඨයයි. ගුවන්විදුලියත්, ගුවන්විදුලියේ ඩී.ඇම්. කොළඹගේත් දෙකක් නොව, මෙරට ගුවන්විදුලියේ එකම ඉතිහාසයකි.

ගුවන්විදුලිය මෙරට ජනතාවට වඩාත් සමීප වූයේ විවෘත ආර්ථිකයත් සමගය. විවෘත ආර්ථිකයත් සමග හවුස් මේඩ්ලා ඩුබායි යාමත් සමග ඔවුන් ආවේ අනර්ඝ වර්ගයේ රේඩියෝද රැගෙනය. ඒ ඩුබායිවලින් ගෙනා රේඩියෝවලට ඒ සන්දියේ කිව්වේ ‘ත්‍රී ඉන් වන්’ කියාය. විජය රාමනායක නම් චිත්‍රපට නිෂ්පාදකවරයා වරක් ඩුබායි සිට ලංකාවට එන විට දැකගත හැකි දසුනක් වූයේ ලංකාවට ආ කාන්තාවන් අත රේඩියෝ කැසට් දකින්නට ලැබීමය. ඒ කාලේ ඒවායේ ඇසීමට සිංහල කැසට් නොවීය. තිබුණේ හින්දි කැසට්ය. මේ වෙළෙඳපොළ රික්තය ගැන සිතූ විජය රාමනායක සිංහල කැසට් ව්‍යාපාරයට අත ගැසුවේ මිල්ටන් මල්ලවආරච්චිගේ ‘ඔරුවක පාවී’ කැසට් පටය වෙළෙඳපොළට නිකුත් කරමිනි. මේ කැසට් ව්‍යාපාරය විජය රාමනායක කෝටිපතියකු බවට පත්කළ අතර ඒ නිසාම සිංහල කැසට් ව්‍යාපාරිකයන් බොහෝදෙනා බිහිවූයේ හතු පිපෙන්නාක් මෙනි.

අසූව දශකයේ ලංකාවේ රූපවාහිනිය ප්‍රචලිත වීමත් සමග බොහෝ ගෙවල්වල තිබුණ රේඩියෝ කුස්සියට හෝ ගබඩා කාමරයට වඩම්මන ලද්දේ නොවැදගත් උපකරණයක් ලෙසය. රේඩියෝ එකක් ඉඳහිට ඉතිරි වුණේ ගුණදාස අමරසේකර වැනි ගෙදර කිසිදු ‌ටෙලිවිෂන් සැට් එකක් භාවිත නොකළ ගෙදරක පමණි.

ප්‍රේමදාස ජනපති යුගයේ රේඩියෝ සහ ටීවී ප්‍රවෘත්තිවලින් ජනතාව ක්‍රමයෙන් ඈත් වන්නට වුණේ උන්නාන්සේගේ පැටිකිරිය හා ආ ගිය තැන්, ඒවායේ මුළුමනින්ම අන්තර්ගත වීම නිසාය. එකල රූපවාහිනිය හා ගුවන්විදුලි සේවා මුළුමනින්ම හසුරුවන ලද්දේ රාජ්‍ය දේපොළක් ලෙස රාජ්‍ය අණසක යටතේය. එකල බොහෝ දෙනකු රේඩියෝව හැඳින්වූයේ ‘පච පෙට්ටිය’ කියාය.

ඉන්පසු බිහිවන්නේ පෞද්ගලික රූපවාහිනී හා රේඩියෝ චැනල් බිහිවන යුගයයි. මේ අතරින් නිවෙස්වල මකුළුදැල් බැඳ තිබූ රේඩියෝ නැවතත් සාලයට එන්නේ විනෝදාස්වාද මාධ්‍යයක් ලෙසය. මුල් කාලේ මේ පෞද්ගලික රේඩියෝවලට ප්‍රවෘත්ති බලපත්‍රයක් ලබාදුන්නේ නැත. ඒ නිසාම සම්ප්‍රදායික ගුවන්විදුලි සාම්ප්‍රදායන් කඩමින් ජනප්‍රිය ගීත දිනකට කිහිප වර වාදනය කරමින් අතොරක් නැතිව කතා කරන වාචාල නිවේදකයන් ලවා කෙසේ හෝ අසන්නන් ඇද බැඳ තබාගන්නට පෞද්ගලික රේඩියෝ සේවාවලට සිදුවිය.

හැත්තෑව දශකයේ ජනප්‍රියව තිබූ බෙල්බොටම් කලිසම මෑත කාලයක නැවතත් ජනප්‍රිය විය. කැමරාව ආවා කියා චිත්‍ර ශිල්පය නැතිවුණේ නැත. එමෙන්ම රූපවාහිනිය ආවා කියා ගුවන්විදුලිය නැතිවුණේද නැත. ඊටත් වඩා ස්මාට් ෆෝන් එ​කත් ටීවී එකත්. රේඩියෝ එකත් දෙකම තිබුණද රේඩියෝව නැතිවුණේ නැත.

ලංකාවේ බෙල්බොටම් කලිසම් නැවත ​‘ට්‍රෙන්ඩ්’ එකක් වුණා මෙන් දැන් නැවතත් මෙරට ‘රේඩියෝ ට්‍රෙන්ඩ්’ එකක් ඇතිවෙමින් ඇති බව කිවහොත් ඔබ මවිතයට පත්වනු ඇත. මේ රේඩියෝ පුනර්ජීවය ඔබට හොඳින් අත්විඳිය හැක්කේ පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන තොග කඩවල කරක් ගැසීමෙනි. අපි වැඩේට බැස්සේ මේන් ස්ට්‍රීට් එකෙන්, ටයිටස් ​ගොඩනැගිල්ල අසලින් හැරෙන පළවැනි හරස් වීදියෙනි. පාරේ ටික දුරක් යන විට ප්‍රින්ස් ස්ට්‍රීට් පාර කැපෙන හන්දියේ ගොඩගසා තිබුණේ පරණ පුරුදු කැසට් දෙකක් දාන ඩබල් කැසට් දැමිය හැකි ජපන් රේඩියෝය. එම රේඩියෝවක් අතට ගත් අපට එය කිලෝ දෙක තුනක් නම් බර බව පෙනී ගිය කරුණකි.

‘‘මේවත් ඒ කාලේ දහ පහළොස් දාහකට විකුණපු ඔරිජිනල් ජපන් ඩබල් කැසට් රේඩියෝ. පෙන් ඩ්‍රයිව් ගහන්න බැරි නිසා දැන් පැකින් පිටින් රුපියල් දෙදහට දෙනවා. මේකක් ගත්තොත් ඉතින් පරම්පරාවටම එකයි.’’

පිටකොටුවේ ප්‍රධාන වශයෙන් රේඩියෝ වැනි ඉලෙක්ට්‍රොනික් බඩු ඇත්තේ ප්‍රින්ස් ස්ට්‍රීට් (කුමාර වීදිය) හා කෙයිසර් වීදියේය. මල්වත්ත පාර, පළමු, දෙවැනි, තෙවැනි වීදිවල මෙන්ම වේල්ල වීදිය ආශ්‍රිත තොග කඩවලද රේඩියෝ තොග අලෙවිය සිදු වේ. කුමාරවීදියේ උඩු මහලක වූ තොග කඩයක ඇතුළු වන තැනම සෝකේසයේ ගසා තිබුණේ ‘තොග වෙළෙඳාම පමණයි’ යනුවෙනි. වායු සමනය කළ මේ වෙළෙඳ කුටිවලට ඇතුළු වන දොරටුවේ ඉහළ සිට පහළට කර්ටන් මෙන් එල්ලෙමින් ඇති ට්‍රාන්ස්පර්ට් පටි දොර මෑත් කළ යුතුය. පිටකොටුවේ හැම රේඩියෝ කඩයකටම රිංගූ අපට දැකගත හැකි වූයේ මේ අලුත් රේඩියෝ විප්ලවය ඇති වී ඇත්තේ ‘පොකට් රේඩියෝ’ ලෙසය. මේ බොහෝ කඩවල ප්‍රමාණයෙන් විශාල රේඩියෝ දැකගත නොහැකිය. මේ සමහර රේඩියෝ කුඩා මොබයිල් එකක් තරම්ය. ඒවාට බැටරි දැමිය නොහැක. ඒවායේ ඇත්තේ ෆෝන් බැටරියකි. ජංගම දුරකථනය මෙන් චාර්ජ් කර රේඩියෝව ඇසිය යුතුය. රේඩියෝව නොහොත් ගුවන්විදුලිය දැන් නිකම්ම නිකම් රේඩියෝ ලෙස ​නොව, අමතර උපාංගයක් සමග එන රේඩියෝවලට ඇත්තේ වැඩි ඉල්ලුමකි.

අප මුලින්ම අතට ගත් රේඩියෝවේ දාරයක දිගට තිබුණේ දිග නිල් පැහැති ආලෝක ධාරාවකි. කඩහිමියා එම ආලෝක ධාරාව රු. 5000 කොළයකට අල්ලා කීවේ, ‘‘මේ රේඩියෝ එකේ ලයිට් එකෙන් සල්ලි කොළ ඔරිජිනල්ද බලන්න පුළුවන්. සමහර රේඩියෝවල දැන් ටෝච් තියෙනවා, සමහර රේඩියෝවල පොඩි ෆෑන් එකක් තියෙනවා. ඒවා නම් ගොඩක් ගන්නේ සිකියුරිටි ජොබ් කරන අය. දැන් පෙන් ඩ්‍රයිව් ගහන්න බැරි රේඩියෝ නම් විකුණන්න අමාරුයි. ඔය කොච්චර මොබයිල්වල රේඩියෝ ආවත් පොකට් රේඩියෝ බිස්නස් අඩු වෙන්නේ නැහැ.’’

අප ගිය එක ඉලෙක්ට්‍රොනික් කඩයක තිබුණේ කස්ටම් එකෙන් ගත් වෙන්දේසියක බඩුය. එහි තිබුණ රේඩියෝ ප්‍රැක්ටිකා, කෙන්වුඩ්, ජේ.වී.සී, සෝනි, සැන්යෝ, ෆිලිප්ස්, එකෝ, නැෂනල්, පැනසොනික් වැනි ඔරිජිනල් රේඩියෝය. මේ කිසිවකට නවීනතම පෙන් ඩ්‍රයිව් ගැසිය නොහැකි නිසා අලෙවි මිල වූයේ රු. 900කි. මෙහි කැරොකේ සඳහා මයික් ගැසිය හැකි රේඩියෝ නම් ටිකක් මිල වැඩි විය. ඉස්සර නම් පාරේ දුවන බස් එකක රේඩියෝවක් තිබුණේ එහෙමත් එකකය. එහෙත් දැන් රේඩියෝවක් නැති බස් රථයක් සොයා ගැනීමත් අපහසුය.

‘‘බස්වල හයි කරන්නෙත් කාර් කැසට්ම තමයි. ඉස්සර දහ පහළොස් දාහේ සෙට් එකක් දැන් රුපියල් 1500 ඉඳන් ගන්න පුළුවන්. පෙන් එකක් ගැහුවම දවසෙම වැඩ කරනවා.’’

රේඩියෝ වෙළෙන්දන් කියන්නේ මේ රේඩියෝ රැල්ලට ප්‍රධාන හේතුවක් වන්නේ එෆ්.එම්. සේවා ශ්‍රාවකයන්ට මුදල් පරිත්‍යාග ලබාදීමයි. මේ රේඩියෝවලින් 95%ක්ම චීනයේ නිෂ්පාදිත ඒවාය. එක් පොකට් රේඩියෝවක් අපට විකුණන්න හැදුවේ ඕලන්දයෙන් ගෙනා ඔරිජිනල් පිලිප්ස් රේඩියෝවක් කියාය. එහි තිබුණේ ‘Made in ROC’ කියාය. කඩහිමියා අපට කීවේ ‘O’ අකුරෙන් කියන්නේ ඕලන්දය කියාය. ඒත් අපි ඔහුට එහි තේරුම Republic of Chine’ (චීන සමූහාණ්ඩුවේ නිෂ්පාදිතය) යනුවෙන් පැහැදිලි කර දුන්නෙමු. චීනයේ නිෂ්පාදිත රේඩියෝ රුපියල් 500 සිට 7000 දක්වා ඇති අතර ඔරිජිනල් ජපන් රේඩියෝවක මිල පටන් ගන්නේම රුපියල් 10,000කට ආසන්නවය.

‘‘පාස්කු ප්‍රහාරය වෙලේ ගොඩක් පැතිවල ලයිට් නැතිවුණා. ඊට පස්සේ බැටරි දාන පොකට් රේඩියෝ ෆුල් ඩිමාන්ඩ් වුණා. සුනාමි අවදානම තියෙන පැතිවල අනිවාර්යයෙන්ම බැටරි දාන රේඩියෝවක් ගෙනියනවා. තනි බැටරියෙන් මාස ගාණක් වැඩ කරන ජපන් රේඩියෝවක් තියෙනවා, රු. 6000ක් වෙනවා. ජපානේ, ඉන්දුනීසියාවේ සුනාමි ප්‍රදේශවල ජනප්‍රිය ඒ රේඩියෝ එක තමයි.’’

අපට අවසන ඒත්තු ගියේ දැන් එන කුඩා රේඩියෝ විසිතුරු හැඩයෙන් යුතු ඒවා බවය. ඒ ඇතැම් කුඩා රේඩියෝ, පරණ වෑල් රේඩියෝ සහ ග්‍රැමෆෝන් යන්ත්‍ර සිහියට නංවයි. මේ තොග කඩවල ගොඩගසා ඇති රේඩියෝ කන්දරාව අපට නොකියා කියන්නේ ගුවන්විදුලි මාධ්‍ය කිසිදා මැරිය නොහැකි බව නොවේද?

වජිර ලියනගේ

ඡායාරූප- සමන් අබේසිරිවර්ධන