විශේෂාංග

පිටකොටුවෙන් කොල්ල කෑ ලංකාවේ කැසට් කලාව

අදින් දශක කිහිපයකට පෙර කැසට්පටය අපේ නිවෙස්වලට සංක්‍රමණය වූයේ අලුත් අවුරුදු කුමාරයකු මෙනි. ඒ 70 දශකයේ අග භාගයේය. ඒ විපර්යාසය සිදුවන විට ශබ්ද තාක්ෂණයේ අපේ ආදිවාසියා වූ ග්‍රැමෆෝනයට අත් වී තිබුණේ අතිශය ඛේදනීය ඉරණමකි.

වඩා හුරුබුහුටි, නවීන තාක්ෂණික මෙවලමක්, ලෙසට කැසට්පටය එසේ කරළියට සැපත්වන විට ග්‍රැමෆෝන් තැටියට සිදු වූයේ බිත්ති සැරසිල්ලක් වෙමින් ගෙයි මැද සාලයේ කොනක එල්ලී සිටීමටය. ඒ සමගම ග්‍රැමෆෝන් යන්ත්‍රයේ තේජසද හෙමින් සීරුවේ ඇඳ යටට තල්ලු වී ගියේය. ග්‍රැමෆෝන් තැටියට අභියෝගයක් වෙමින් පසු කලෙක තම ආධිපත්‍යය පතුරුවාගෙන සිටි එල්.පී. තැටියටද කරබාගෙන පල්ලම් බහින්නට සිදු විය.

1977 වසරේ ජෙරල්ඩ් වික්‍රමසූරිය නිෂ්පාදනය කළ ‘බයිලා සෙෂන් ශ්‍රී ලංකා’ සහ වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගය මෙරට පළමු කැසට් යුගලය ලෙස ඉතිහාසයට එක්ව තිබේ. එහෙත් එම කැසට්පට සඳහා ගීත ලබාගෙන තිබුණේ එල්. පී. තැටි මගිනි. එනිසා බොහෝ දෙනකු අපේ මුල්ම කැසට්පටය ලෙස සලකන්නේ මිල්ටන් මල්ලවාරච්චිගේ ‘සඳෙන් එහා’ය. මිල්ටන්ගේ ජනප්‍රිය ගීත දොළහකින් යුත් එම කැසට්පටය මුලින්ම එළිදක්වා ඇත්තේ ‘Anytime Anywhere” නමිනි. ‘තරංගා’ ලේබලය යටතේ එය නිෂ්පාදනය කරනු ලැබුවේ විජය රාමනායකයි.

80 දශකය එළඹෙන විට මෙරට ජනප්‍රියම හා සුලබම වෙළෙඳ භාණ්ඩය වූයේ කැසට්පටයයි. මේ කැසට් උන්මාදයේ තරම කෙතරම්දැයි කියතොත් එකල මැද පෙරදිග රැකියාවට ගොස් පෙරළා සිය රට බලා පැමිණි අපේ ඇත්තන්ගේ අතේ අනිවාර්යයෙන්ම තිබුණේ ‘ටූ ඉන් වන්’ නමැති කැසට් රෙකෝඩරයකි. (‘පළිඟු මැණිකේ’ සූරසේනරද එබඳු චරිතයකි.)

ගායක, ගායිකාවන් බොහෝ දෙනකුගේ කරල පැහුණේ මේ කාලයේය. ඔවුන්ගේ පමණක් නොව ගීත රචකයාගේද, සංගීතඥයාගේද වටිනාකම ඉහළ ගියේ ය. වාද්‍ය ශිල්පීන්ට ගජරාමෙට වැඩය. අලුතින් ශබ්දාගාර පවා ඉදිවූ අතර ඒවායේ දිවා රෑ නොබලා ගීත පටිගත කිරීම් සිදු කෙරිණ. කැසට්පට නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය වඩාත් ලාභදායී ව්‍යාපාරයක් වූ හෙයින් බොහෝ දෙනකු එය තම ජීවනෝපාය බවට පත් කරගත්හ. ඊට හොඳම නිදසුන පිටකොටුව මල්වත්ත පාරය. එකල එය හැඳින්වූයේ ‘මියුසික් රෝඩ්’ යනුවෙනි. ඒ තරමටම මල්වත්ත පාර සංගීත රසයෙන් ඔකඳව තිබුණේය.

කැසට් ව්‍යාපාරයට මුල් අඩිතාලම දැමූ ‘සූරිය’ රෙකෝඩ්බාර් සහ ‘තරංගා’ රෙකෝඩ්බාර් ගිය මග අනුව යමින් කැසට් ව්‍යාපාරික ආයතන රැසක් බිහි වූයේ වැඩිකල් ඉක්ම යන්නට මත්තෙනි. සිල්වර්ලයින් රෙකෝඩ්බාර්, සාරංගා, සින්කොබා, රන්සිළු, ප්‍රියංකා, රත්නසිරි රෙකෝඩ්බාර්, ඊගල් ඕඩියෝ, එන්.ආර්. එන්ටප්‍රයිසස්, ෆැල්බන් ඕඩියෝ, බෙග් මියුසික් සෙන්ටර්, නිසා එන්ටර්ටේන්මන්ට්, සෙත්සිරි මියුසික් සෙන්ටර්, එම්. එන්ටරටේන්ට්මන්ට්, සොනික් එන්ටර්ටේන්මන්ට්, ඉන්දික මියුසික් සෙන්ටර්, ජයනන්ද ස්ටෝර්ස්, විජිත ට්‍රේඩ් සෙන්ඉටර්, නිල්වලා කැසට්, සජින්ද්‍ර ඕඩියෝ, සවන රෙකෝඩ්බාර්, සී.එස්. ඕඩියෝ ක්‍රියේෂන්, සාගර ෆැන්සි පැලස්, සිතාරා මියුසික් සෙන්ටර් ආදී අපගේ මතකයේ රැඳුන මෙවන් කැසට් ව්‍යාපාරික ආයතනයන්ය.

මේ සම්පූර්ණ කැසට් ව්‍යාපාර නාමාවලිය නොවේ. ඊට තවත් නම් එකතු විය යුතුය. එහෙත් මෙම ආයතන වැඩිහරියක් අද වැසී ගොසිනි. 90 දශකයේ සී.ඩී. තාක්ෂණය පැමිණීමත් සමග මේ බොහෝ කැසට් ආයතන සී.ඩී. ව්‍යාපාරයට ද අවතීර්ණ විය. ඒ සමගම සංයුක්ත තැටි නිෂ්පාදනයට හා බෙදා හැරීමට මෙන්ම ඒවා අලෙවියටද නවීන පන්නයේ ව්‍යාපාරික ස්ථාන ගැන අලෙවි ජාලා ඇති විය. සී.ඩී. ව්‍යාපාරය හරහා අලුත් වෙළෙඳ ප්‍රජාවක්ද ක්ෂේත්‍රයට එක් වූයේ කැසට්පටය සිය ආයු කාලය නිමවා අවසන් ගමන් යන මොහොතේය.

සංයුක්ත තැටිය (සී.ඩී) කරළියට ආවේ 90 දශකයේ ආරම්භයත් සමගිනි. ශබ්ද තාක්ෂණයේ අග්‍රඵලයක් සේ සැලකුණු ‘සංයුක්ත තැටිය’ අපේ සංගීත ශ්‍රාවකයා වැලඳ ගත්තේ කැසට් පටයටත් වඩා සෙනෙහසකිනි. අපේ ප්‍රථම සංයුක්ත තැටිය පිළිබඳ තොරතුරු එතරම් ප්‍රකට නැත. එමෙන්ම එය විවාද සම්පන්නය.
සංයුක්ත තැටියක් සඳහා ගී ගැයූ ප්‍රථම ගායකයා තමා බව ‘ලාසිලෝනියන්ස්’ ගායක අනුර ජයසිංහ මා සමග කියා ඇත. ‘Best of the Sri lanka” නමින් එම සංයුක්ත තැටිය ලොවපුරා බෙදා හැර ඇත්තේ ප්‍රංශයේ ‘arion’ තැටි නිෂ්පාදක සමාගම මගිනි. ඒ 1990 වසරේය. එහෙත් ප්‍රවීණ ගායක සමන් ද සිල්වා වරක් පුවත්පත් සාකච්ඡාවකදී පැවසුවේ මෙරට ප්‍රථම සංයුක්ත තැටිය නිකුත් කළේ තමා බවය. තමන් ස්ටැන්ලි පීරිස් හා මහින්ද බණ්ඩාර සමග එම ගීත පටිගත කිරීම සඳහා එංගලන්තයට ගිය බවද සමන් එහිදී පැවසුවා මතකය. එයද නම් කර ඇත්තේ “Best of Sri Lanka” යනුවෙනි.

කෙසේ වෙතත් සී.ඩී. කර්මාන්තයේ වර්තමාන තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. නිෂ්පාදකයෝ ස්වකීය ව්‍යාපාර කටයුතු නවතා දමා බොහෝ කලකි. ඊට හේතුව නිර්මාණ කොල්ලයේ යෙදෙන හොර ජාවාරම්කරුවන්ය. එදා කැසට් නිෂ්පාදකයන්ගේ ‘රජදහනක්’ බඳුව තිබූ මල්වත්ත පාර සී.ඩී. කර්මාන්තය සශ්‍රීකත්වයත් සමග නිර්මාණ මංකොල්ලකරුවන්ගේ හොර තිප්පොළක් බවට පත් වූයේ නිරායාසයෙනි. ලක්ෂ ගණනින් මුදල් වැය කරමින් නිෂ්පාදකයන් විසින් වෙළෙඳපොළට එවන සංයුක්ත තැටි (සී.ඩී) මෙන්ම සංගත රූප තැටි (ඩී.වී.ඩී) ඉතා අඩු මුදලකට රැය පහන්වන විට පදික වේදිකාවේ ය.
ඔරිජිනල් එකට වඩා ඩුප්ලිකේට් එකේ මිල අඩුය. ඒ දෙතුන් ගුණයකින් නොව හත්අට ගුණයකිනි. තැටිය රත් වූ වෙලාවේ රොටිය පුච්චා ගැනීමට මේ හොර නඩය එක මොහොතක් හෝ පමා වූයේ නැත. නිෂ්පාදකවරුන් හෝ ගා ‘ගඟට ඉණිකපද්දී’ හොර නඩය කළේ ‘බොරදියේ මාළු බෑමය‘ මේ සූර චෞරයන් නිසා මහා පරිමාණයේ කැසට් හා සී.ඩී. ව්‍යාපාරික ආයතනවලටද ලැබුවේ නරක දසාවකි.

අපේ ගීතයට, සංගීත ක්ෂේත්‍රයට මෙහෙවරක් සිදු වී ඇත්තේ හුදෙක් නිර්මාණකරුවන්ගෙන් පමණක් නොවේ. මේ නිෂ්පාදකයන්ද ඒ මෙහෙවරට දායක වී ඇත. අභියෝග රැසක් මැද ඔවුන් දියත් කළ ඒ මහා මෙහෙවර කිසි විට මුදලින් තක්සේරු කළ නොහැකිය.

මේ අර්බුදය පිළිබඳ අප මුලින්ම අදහස් විමසා සිටියේ ‘සිංග්ලංකා’ ආයතනයේ අධිපති ආනන්ද ගනේගොඩ මහතාගෙනි.
මම ‘සිංග් ලංකා’ ආයතනය ආරම්භ කළේ 1981 දී. ව්‍යාපාරයක් හැටියට නෙවෙයි, මම මේකට අත ගැහුවේ. මට ඕනෑ වුණා හොඳ යහපත් ගීත කලාවකට අනුග්‍රහය දක්වන්න. විශේෂයෙන්ම ඒකට මාව උනන්දු කළේ සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවාරච්චි කියන මගේ මිත්‍රයෝ.
ඒ කාලේ තිබුණු අනෙක් කැසට් ආයතවලින්, ගායක ගායිකාවන්ට ගෙව්වේ අඩු මුදලක්. ඒ ගැන ඒ අය නොසතුටින් හිටියේ. ඉතින් මම ඒ මුදල දෙගුණ කරලා තමයි ‘සිංග්ලංකා’ එකට ඒ අය සම්බන්ධ කරගත්තේ. ඊට පස්සේ අපි එක පෙළට කැසට් පට 21 ක් ඉදිරිපත් කළා. ප්‍රබුද්ධයි කියා සම්මත වුණු ගායක ගායිකාවන් වගේම ජනප්‍රිය රැල්ලේ අයත් අපි එක්ක සම්බන්ධ වෙලා හිටියා.

මට මතකයි ඒ කාලේ වැඩියෙන්ම අලෙවි වුණු කැසට් එක තමයි මිල්ටන්ගේ ‘පියාපත් සලා.’ ‘සිංග්ලංකා’ කැසට් එකක් එනකල් එදා රසිකයෝ මග බලාගෙන හිටියා. මොකද එදා ගුවන්විදුලියෙන් තහනම් කරපු ගීතත් අපේ කැසට්වලින් රසිකයන්ට ඉදිරිපත් කළා. ඊළඟට ආපු සී.ඩී. තාක්ෂණයත්, එක්කත් අපි රැඳී සිටියා. වෙළෙඳපොළට අපි නිකුත් කරපු සී.ඩී.වලට තිබුණේ හොඳ ඉල්ලුමක්.

ඒත් මේ තත්ත්වය වෙනස් වුණේ බලාගෙන ඉන්දැද්දීයි. මාකට් එකට දාන, දාන ගීත හොරෙන් ගැහුවා. නඩුත් දැම්මා. හොරුත් ඇල්ලුවා. ඒත් කිසිම තැනකින් සහනයක් ලැබුණේ නෑ. ඔය අස්සේ MP3 එකත් ආවානේ. ඒකේ සිංදු තුන්සිය ගණනක් රෙකෝඩ් කරන්න පුළුවන්. ඒවා පේමන්ට් එකේ වික්කේ රුපියල් 100 ට, 80 ට වගේ. ඊට පස්සේ You Tube එකේ සිංදු ඩවුන්ලෝඩ් කරලා බලන්න පුරුදු වුණා. මේ වගේ හේතු නිසා අපේ සී.ඩී මාර්කට් එක සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.’’

සිංග් ලංකා ආයතනයේ සභාපති ආනන්ද ගනේගොඩ මහතා කීවේ තවමත් ‘ප්‍රබුද්ධ ගී’ ප්‍රිය කරන රසික රසිකාවන් එම ගී මිලට ගැනීමට උනන්දුවන බවයි.
විශේෂයෙන්ම විදෙස්ගතව ඉන්න අපේ රසිකයෝ තමයි අර Original ගීත අපෙන් මිලදී ගන්නේ. ඒ හැර අලුතෙන් නම් අපේ සී.ඩී. නිෂ්පාදනය කරන්නේ නෑ. අඩුම තරමින් මිලියන හතරක්වත් යනවා අලුත් සී.ඩී. එකක් නිකුත් කරන්න. ඒත් ඒ මුදල මේවා විකුණලා හොයන්න කොහොමවත්ම බෑ.’’
ශ්‍රීමාලි එන්ටප්‍රයිසස් කැසට් ලොවේ අමරණීය නාමයකි. සුජාතා අත්තනායකගේ ‘කදිර දේව සුරින්දේ’ සහ එච්. ආර්. ජෝතිපාලගේ ‘දීපශිකා’ කැසට් යුගළ එළි දක්වමින් ‘ශ්‍රීමාලි’ මෙරට කැසට් ක්ෂේත්‍රයට එක් විය. ඒ 1979 වසරේය.

ඔය කැසට්පට දෙක හරියට නිවුන් සහෝදරයෝ වගේ. එකටමයි වෙළෙඳපොළට ආවේ. ඒ දෙකම රසිකයෝ අතරේ ගොඩක් ජනප්‍රිය වුණා. මේ ගීත අපි කැසට්වලට ගත්තේ එල්. පී. තැටිවලින්. ඒ කැසට් තාක්ෂණය ලංකාවට ආපු අලුත. ඒක අපට විශ්මයක් වගේ වුණා. මම හිතන්නේ ඒ කාලේ අපේ කැසට් ක්ෂේත්‍රයේ ලොකු පිබිදීමක් ඇතිවුණා, මේ කැසට්පට දෙකෙන්.’’

ශ්‍රීමාලි එන්ටප්‍රයිසස් අධිපති ස්වර්ණාදාස හේරත් මහතාට ඒ ‘අතීත ශ්‍රී විභූතිය’ සිහිපත් කිරීම පවා සිතට සුවයක් සේය.
‘‘ඊට පස්සේ ‘දෙව් බැති ගී’ කැසට් පෙළක්ම අපි කළානේ. මොහිදින් බෙග් ගායනා කරපු ‘මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ’ ගීතය ලිව්වෙත් මමනේ. තාමත් ඒ ගීය ජනප්‍රියයි. එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ කැසට් පට 22 ක් මම කළා. ජෝතිගේ ගීත 540 ක් මා ළඟ සුරැකිව තියෙනවා.
මේ කැසට් කර්මාන්තය බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් වුණේ අපේ ඇතැම් කැසට් නිෂ්පාදකවරුමයි. ඔවුන් මේ ක්ෂේත්‍රය ජරාජීර්ණ කළා. මිනිස්සුන්ට අහන්න බැරි සින්දු දාලා කැසට් ගැහුවා. මේ ජරා කැසට් මාර්කට් කරන්න සමහර ආයතන, එෆ්.එම්. නාළිකා එක්ක කෝටි ගණන් ඇග්‍රිමන්ට් සයින් කළා. ඉට පස්සේ මොකද වුණේ හොරු කණ්ඩායමක් ඇවිත් ‘මරු වැඩේ’ කියලා මේවා හොරකම් කරන්න පටන් ගත්තා.

අද අමරදේවතුමන්ගේ ගීත 100 ක් ගන්න පුළුවන් රුපියල් 50 කට, එදා අපි රුපියල් 50,000 ක් වියදම් කරලා හදපු එක ගීතයක් අද සාමාන්‍යයෙන් මාකට් එකේ ශත 50යි. අපි දන්න තැන්වලට කිව්වා, සාකච්ඡා කලා, සම්මන්ත්‍රණ තිබ්බා. සත පහකට වැඩක් වුණේ නෑ. හොඳ ගීත රචනා කරලා, හොඳම සංගීත අධ්‍යක්ෂවරු ලවා තනු දමලා, අපේ ප්‍රසිද්ධ ගායක මහත්තුරුන්ට ඒවා ගයන්න දුන්නේ නිෂ්පාදකවරු. අපිට පාඩු වුණු අවස්ථා එමටයි. ඒත් අද කව්ද අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ.’’

මේ ප්‍රශ්නය නිසා කැසට් කර්මාන්තයේ නියැළි ලක්ෂ තුනක පමණ පිරිසක් පාරට වැටුණා. බොහෝ ශබ්දාගාර අද වැහිලා. එදා ලංකාව පුරා තිබුණු කැසට් අලෙවිසල් දැන් කෝ? මේක මහා ඛේදවාචකයක්. මුතුඇට පෙළක් වගේ ගීත ටිකක් අද ඉතිරිවෙලා තියෙනවා. ඒත් ඒ මුතු බිහි කරපු නිෂ්පාදන ආයතන අද මැරිලා.

ජනප්‍රිය ගී රැල්ලට පෙම්බැඳි රසික රසිකාවන්ගේ මනදොළ සපුරාලමින් එවැනි ගීත ශ්‍රවණය කිරීම සඳහා කදිම වටපිටාවක් සකස් කර දුන්නේ ‘ජිප්සි එන්ටප්‍රයිසස්’ ආයතනයයි. 80 දශකය පුරාවට ඔවුන් ඉදිරිපත් කළ කැසට්පට, ආදායම් වාර්තා තබමින් අලෙවි වූ බව රහසක් නොවේ. එම ආයතනයේ නියමුවා වූයේ ලාල් පෙරේරාය. ඔහු ‘ජිප්සීස්’ නායක සුනිල් පෙරේරාගේ සොහොයුරෙකි.

ජිප්සීස් – සොමිය 01 – ‘කුරුමිට්ටෝ’ කැසට් එකෙන් තමයි අපි මේ ෆීල්ඩ් එක ඇල්ලුවේ. ජිප්සීස්ලත් එක්ක ‘සොමිය‘ට එම්.එස්. ප්‍රනාන්දු, පෝල් ප්‍රනාන්දු, නවනන්දන විජේසිංහ, රන්ජිත් දේවාදිත්‍ය වගේ ගායකයොත් ගී ගැයුවා. ඊට පස්සේ අපි ‘සොමිය – 02’ කළා. ඒකත් පත්තු වුණා. ඒ වෙනකොට ‘ජිප්සි එන්ටප්‍රයිසස්’ නාමය ජනතාව අතරට ගිහින් ඉවරයි.

ඔය අතරේ තමයි අපිට රූකාන්ත ගුණතිලකගේ ‘බඹර පහස’ කරන්න ලැබුණේ. රූකා එතකොට ජනප්‍රිය ගායකයෙක් නෙවෙයි. ඔහු මේ කැසට් එකට රුපියල් ලක්ෂයක් ඉල්ලුවා, 1987 දී. ඒ කාලේ ලක්ෂයක් කියන්නේ අද රුපියල් ලක්ෂ විස්සක් වගේ මුදලක්. අන්තිමට රූකාට රුපියල් 25,000 ක් දීලා මම මාස්ටර් එක ගත්තා. කැසට් පටයේ ලාභයට හැටියට අපට ලැබෙන රුපියල් 20 න් රුපියල් 10 ක් එයාට දෙන පොරොන්දුව පිට. ඒ කාලේ කැසට් එකක මිල රුපියල් 70 යි.

ඉතිං අපි වැඩේට බැස්සා. රූකාන්ත මගෙන් ඉල්ලුවේ ලක්ෂයයිනේ. විශ්වාස කරයිද දන්නේ නෑ. අන්තිමට මම රූකාන්තට ලක්ෂ විස්සක්ද කොහෙද දීලයි නතර වුණේ. ඒ තරමටම කැසට් එක ගියා. මම හිතන්නේ ගායකයකුට කැසට් එකකට ඒ කාලේ ලැබුණු ලොකුම මුදල ඒක. අපිත් ඒකෙන් හැදුණා. රූකත් ගොඩගියා. ඔය වගේ සිද්ධි තව ගොඩක් තියෙනවා.

මේවා මම මතක් කළේ අපේ ෆීල්ඩ් එක කොයිතරම් සරුවට තිබ්බද කියලා කියන්න. ඊට පස්සේ අපි කැසට්වලින්, සී.ඩීවලට හැරුණා. හැබැයි අපි වැඩිය සී.ඩී. කළේ නෑ. අපි අවසානයට කලේ ‘ජිප්සීස්’ ඇයි…? කියන සී.ඩී එක. ඒ 2006 දී. එතනින් පස්සේ නැවත්තුවා. අද මම මුද්‍රණ කර්මාන්තයේ නියැළී ඉන්නවා. ඒ කාලේ කැසට්, සී.ඩී. ප්‍රින්ට් කළේත් අපිමනේ. දැන් ඒ මෙෂින්ස්වලින් පෝස්ටර්, කැලැන්ඩර්, දිනපොත්, හැන්ඩ් බිල් තමයි ප්‍රින්ට් කරන්නේ. ක්ෂේත්‍රයේ කඩාවැටීම කියන්න ඒ ටිකම මදැයි’’

‘ජයනන්ද ස්ටෝර්ස්’ කැසට් ව්‍යාපාරයට එක්වන්නේ මුල් අවධියේමය. පිටකොටුව මල්වත්ත පාරේ ආරම්භ කළ මුල්ම කැසට් අලෙවිසල් දෙක තුනෙන් එයද එකකි. ජයනන්ද ස්ටෝර්ස්, ‘ජයනන්ද සී.ඩී. මියුසික් වර්ල්ඩ්’ බවට පත් වූයේ සංයුක්ත තැටි නිෂ්පාදනයට පිවිසි පසුය. එහි අධිපති ජයනන්ද ද අල්විස් මහතාද කැසට් ගැන කතා කරද්දී අමතක කළ නොහැකි චරිතයකි.

ජෝති අයියගේ රසිකයෝ තමයි වැඩිදුර මෙහෙට එන්නේ. සමහරු පරණ කැසට් ඉල්ලනවා. ගීත පටිගත කරගෙන යනවා. අදත් ජෝති අයියට තියෙන්නේ පුදුම ඉල්ලුමක්. කර්මාන්තය කඩා වැටුණයි කිව්වට මට නම් එක දැනුණේ නෑ. සී.ඩී. ආවට පස්සේ සමහර කැසට් ආයතන වැහුණා. අපි ඒ පරිවර්තනය එක්ක ඉදිරියට ගියා.

සංගීත ක්ෂේත්‍රය හැමදාම තියෙනවා. නමුත් කර්මාන්තය තමයි අද යම් පසුබෑමකට ලක්වෙලා තියෙන්නේ. ඒක නගා සිටුවන්න ඕනැත් අපිමයි. මොකද ගීත අහන ශ්‍රාවකයාට ඕවා ප්‍රශ්න නෙවෙයි. ඒගොල්ලන්ට ඕනෑ ගීත. දැන් බලන්නකෝ වික්ටර් රත්නායක මහත්තයා අර සංඛ දිනෙත් එක්ක කරපු ‘සිතින් යන අය’ කියන ගීතය. ඒකට ලොකු රසික ප්‍රතිචාරයක් ලැබුණනේ. මම කියන්නේ ගායක ගායිකාවෝ අලුතෙන් හොඳ නිර්මාණ කරන්න ඕනෑ. හොරට ගහනවා, අරකයි, මේකයි කියලා නිෂ්පාදකයොත් මේක නතර කරන්න නරකයි.

නිෂ්පාදකයාට අද තියෙන ලොකුම ගැටලුව තමයි ඔවුන්ට නීතියක්, පිළිසරණක් නැතිකම. බුද්ධිමය දේපොළ පනත තිබුණත් ඒවා අද හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වගකිවයුත්තෝ මේවාට විසඳුම්, යෝජනා ඉදිරිපත් කරන්න ඕනෑ. ඒත් ඒක වෙන්නෙත් නෑ. මගේ පුතා තමයි සී.ඩී. ව්‍යාපාරය කරගෙන අාවේ. අපටත් ගැටලු නැතුවා නෙවෙයි. ඒත් පසුබහින්නේ නැතිව කොහොම හරි කරගෙන යනවා. මේ ගැටලුවලට විසඳුම් ලැබුණත්, නොලැබුණත් අපි මේකෙන් අයින් වෙන්නේ නෑ. ඉදිරියේදී පෙන්ඩ්‍රයිව්වල ගීත පටිගත කර රසිකයන්ට සහන මිලට දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

‘ටොරානා’ මියුසික් බොක්ස් සංයුක්ත තැටි නිෂ්පාදන කාර්යයේ ඉහළින්ම කැපී පෙනුණු නාමයකි. එවකට වෙළෙඳපොළේ අලෙවි වූ සෙසු සංයුක්ත තැටිවලට වඩා ‘ටොරානා’ නිෂ්පාදන මිල අධික විය. මධ්‍යම පාන්තිකයන් හා ඉහළ මධ්‍යම පාන්තිකයන් අතර වැඩිපුරම එකල අලෙවි වූයේ ‘ටොරානා’ ගී තැටිය. ‘ටොරානා’ මියුසික් බොක්ස් අධිපති සරත් කොතලාවල සූර ව්‍යාපාරිකයකු වූ කලාකාමී සහෘදයෙකි.

‘ටොරානා’ ආයතනය ආරම්භ කළේ 1994 දී. ඇත්තටම ඒ වෙනකොට කැසට්පටය භාවිතයෙන් ගිලිහිලා. ඒ සංගීත ක්ෂේත්‍රයට සංයුක්ත තැටිය ආපු මුල් අවධිය. මුලින්ම අපි නිෂ්පාදනය කළේ ක්ලැරන්ස් විජේවර්ධන සිහිවටන අංක 01. ඊළඟට සිහිවටන 11 ක් අපි නිෂ්පාදනය කළා. ඇත්තෙන්ම ඒ සී.ඩී.වලට වෙළෙඳපොළේ ලොකු ඉල්ලුමක් තිබුණා. විදෙස්ගතව සිටිනා ශ්‍රී ලාංකික රසිකයන්ගෙන් ලැබුණු ඉල්ලුමත් විශාලයි.

මම හිතන්නේ අපි ව්‍යාපාරයක් කරනකොට එක් මාර්ගයක් ඇහිරුණාම එතැනින් ඒ වැඩේ නවත්වන්න හොඳ නෑ. ඒ නිසා අවුරුදු දෙකකට විතර කලින් අපි අලුත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි එල්.පී. තැටි නිෂ්පාදනය. අලුත් කිව්වට කැසට්පටය එන්න කලින් මාකට් එකේ තිුබණේ මේ තැටි. ඒත් කැසට්පටය ආවායින් පසු ඒවා භාවිතයෙන් ඉවත් වුණා. දැන් ලෝකයේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි මේ එල්.පී. තැටිය.

ලංකාවේ ඉස්සර ඔය තැටි නිෂ්පාදනය කළේ පෙපිටෝන්, සූරිය, ලෝටස්, නිව් සවුන්ඩ්, තරංගා, ලුවික් බ්‍රවුන් වගේ ආයතන. දැන් ඒ අය කවුරුත් එල්.පී. තැටි නිෂ්පාදනය කරන්නේ නැ. ගොඩක් අය ළඟ ‘මාස්ටර්ස්’ නෑ. සමහරු ළඟ ඇති. ඒත් ඇයි දන්නේ නෑ. ඒ අය කරන්නේ නෑ. නමුත් ලොකු රිස්ක් එකක් අරගෙන මම ඒක පටන් ගත්තා. අනෙක් ව්‍යාපාරිකයන්ටත් මම ආරාධනා කරනවා අායේ මේකට එකතු වෙන්න කියලා. මොකද කම්පෙටිෂන් එකක් තිබ්බොත් තමයි හොඳ දේ රසිකයන්ට ලැබෙන්නේ.

මේ වන විටත් ‘ටොරානා’ ආයතනය එල්.පී. තැටි හතක් වෙළෙඳපොළට නිකුත් කර තිබේ. අමරදේව, වික්ටර් රත්නායක, ක්ලැරන්ස් විජයවර්ධන, මිල්ටන් මල්ලවාරච්චි, සී. ටී. ප්‍රනාන්දු, එච්.අාර්. ජෝතිපාල වැනි ගායකයන්ගේ ජනප්‍රිය ගීත සහ තවත් ජනප්‍රිය ගීත එකතුවක් ටොප් හිට්ස් නමින් එසේ වෙළෙඳපොළට නිකුත්ව ඇත.

එල්.පී. තැටිය මුලින්ම මෙරටට ආවේ 1971 වසරේය. විනාඩියකට පරිභ්‍රමණ 33 1/2 ක වේගයෙන් යුත් එල්.පී. තැටියේ එක් පැත්තක ධාවන කාලය විනාඩි 30 කි. උපරිම වශයෙන් දෙපැත්තෙහි ගීත 14 ක් පටිගත කළ හැකිය. කුඩා එල්.පී. තැටි විශේෂයක්ද වන අතර එහි තැටිගත කළ හැක්කේ ගීත 02 ක් පමණි.
එල්.පී. තැටි වාදනය කරන්න වෙනම තැටි වාදන යන්ත්‍ර අවශ්‍යයි. ඒ යන්ත්‍ර දැන් චීනයෙන් අඩුමිලට ගෙන්වනවා. සෝනි, යමහා, ටෙක්නික් වගේ උසස් වෙලෙඳ නාම තියෙන යන්ත්‍ර ටිකක් මිල අධිකයි. සාමාන්‍යයෙන් රුපියල් තිස්දහසේ ඉඳලා රුපියල් ලක්ෂ දෙක, තුන දක්වා මිලට ඒවා තියෙනවා.‘එල්.පී. තැටිය වාදනය කෙරෙන්නේද ග්‍රැමෆෝන් තාක්ෂණයට සමාන අයුරකින්.

අපි සී.ඩී. එකක් කරනවා වගේ මේ තැටියක් නිෂ්පාදනය කරන්න බැහැ. විශේෂයෙන්ම මේකේ තත්ත්වය හොඳ වෙන්න ඕනෑ. ඒ තත්ත්වය තියෙන්නේ අර මම මුලින් කියපු ආයතනවලින් එදා නිෂ්පාදනය කරපු ඔරිජිනල් තැටිවල විතරයි. ඇත්තටම කිව්වොත් 70, 80 දශකවල ආපු ගීතවලට තමයි තාම ඉල්ලුම තියෙන්නේ. වැඩිපුරම මේ තැටි අලෙවි වෙන්නේ කොළඹ. ඒ වගේම මීගමුව, හලවාත, රත්නපුරය, මහනුවර, මාතලේ, අනුරාධපුරය වගේ පළාත්වලත් මේ තැටිවලට ඉල්ලුමක් තියෙනවා.

සරත් කොතලාවල මහතා එසේ කරුණු පැහැදිලි කරදෙන අතරේ එම තැටියක මිල මම ඔහුගෙන් විමසා සිටියෙමි. එහි මිල රුපියල් 3950 කි. දුප්පත් සංගීත රසිකයාට නම් එම මුදල කොහෙත්ම ඔරොත්තු නොදෙන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් උසස් මට්ටමේ සංගීත රසාස්වාදයක් එමගින් අත්විඳිය හැකි බවද ඒ තරමටම සත්‍යයකි.

රටේ තොටේ අද සිදුවන දේවල් අනුව බලන කල මේවා ප්‍රශ්න දැයි කෙනකුට සිතන්නට පුළුවන. එහෙත් දියුණු සමාජයක රසාස්වාදය, විනෝදාස්වාදය යනු එලෙස කෙවිටෙන් තලා පිටමං කළ යුතු කාරණා නොවේ. මන්ද කලාවෙන් ශික්ෂිත වූ හදවත හා මනස වඩාත් සංවේදී, ප්‍රඥා සම්පන්න, රසවත් මිනිසකු තනන්නට උපකාරී වන බැවිනි. අතීතයේ මෙන්ම වර්තමානයේද අපේ රටේ වඩාත්ම ජනප්‍රිය කලාගෙය වූයේ ගීතයයි. ඊට නිදසුන් ඕනෑ තරම්ය. සිනමාහල් කඩා බිඳ දමා එතැන සුපිරි සාප්පු සංකීර්ණ ඉදිකරන රටක, ගීතය උදෙසා ජනතාවාදී මාධ්‍යයක් නොමැති වීම පුදුමයට කරුණක් නොවේ.

අසංක දේවමිත්‍ර පෙරේරා