කතුවැකි

පැළ කරන්නට පෙර සිතා බලමු

කොරෝනා වසංගතය කොතරම් විනාශකාරී වුවත්, කොතරම් ඛේදජනක වුවත්, එමගින් බොහෝ දේ ගැන අලුතින් හිතන්නට අපට අවස්ථාව උදාකර දී තිබේ. මිනිස් සම්බන්ධතාවල සිට ආර්ථිකය දක්වා පුළුල් පරාසයක් තුළ මෙම අවස්ථාවන් විසිර පවතී. ඉවසිල්ලෙන් සිතා බලා මෙම අවස්ථාවන් ප්‍රයෝජනයට ගතහොත් අපට වැරදුණු බොහෝ තැන් නිවැරදි කර ගන්නට හැකිවනු ඇත.

යැපුම් ආර්ථිකයකට හුරු වී සිටින අපට කොරෝනා වසංගතය පසක් කර දී ඇති එක් කාරණයක් වන්නේ නිෂ්පාදන ආර්ථිකයක වටිනාකමය. මේ නිසා බොහෝ දෙනා තමන්ගේ ප්‍රයෝජනයට අවශ්‍ය එළවළු, පලතුරු හෝ වගා කර ගැනීමේ අවශ්‍යතාව හා වැදගත්කම වටහාගෙන ඇත. කොළඹ සිට ඈත ගම් බිම් දක්වාම සෑම ගෙවත්තක්ම වගා කරන්නට සූදානම් වන හඬ අපට ඇසෙන බව අගමැතිවරයාද පසුගිය 07 වැනිදා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ය.

වටිනාම දේ වන්නේ අගමැතිවරයා මේ කියන වගා සූදානම වවන්නට බිම් අඟලක් නැති අයගේ පවා දකින්නට තිබීමය. වවන්නට බිමක් නැතත් මල් පෝච්චියක මිරිස් පැළයක් හෝ වවා ගන්නට මේ අය දක්වන උනන්දුව ඇත්තෙන්ම ඉතාමත් අපේක්ෂාසහගතය.

ජනතාව ගෙවතු වගාවට කොතරම් උනන්දුවක් දැක්වූවත්, ඒ බොහෝ දෙනකුට ඒ සූදානමින් පමණක් හිත සනසා ගන්නට සිදුව තිබීම කනගාටුදායකය. බොහෝ දෙනකු වගාවන්ට බිම් සකස් කර බලා සිටින්නේ බීජ හා පැළ ලැබෙනතුරුය.

ඇඳිරි නීතිය පැනවීමත් සමග කෘෂිකර්ම අමාත්‍යාංශය සෞභාග්‍යා ගෙවත්ත නමින් වැඩසටහනක් ආරම්භ කළේ අවශ්‍ය අයට උපදෙස් මෙන්ම බීජ හා පැළ ලබා දීමටය. අවශ්‍ය අයට අදාළ වැඩ සටහනේ වෙබ් අඩවිය හරහා බීජ හා පැළ ඇනවුම් කරන ලෙසත්, එම ඇණවුම් ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරින් මගින් ලබා දෙන බවත් ප්‍රකාශ විය.

දැන් මේ වෙබ් අඩවිය මගින් කුඩා ඉඩක වගා කරන්නේ කෙසේද? බිම් සකස් කර ගන්නේ කෙසේද? වැනි උපදෙස් ලබාගත හැකි නමුත් බීජ හා පැළ නම් ලබාගත නොහැකිය. ලබා ගැනීම තබා ඇනවුම් කිරීමටද නොහැකිය. එහි සඳහන් වන්නේ අපේක්ෂිත බීජ හා පැළ ඇනවුම් ප්‍රමාණය ඉක්මවා ඇති නිසා නව ඇනවුම් භාර ගැනීම නවතා දමා ඇති බවය. ඊට පෙර ඉල්ලූ බොහෝ දෙනකුටද බීජ හා පැළ ලැබී නැත. සීයක් ඉල්ලූ අයට ලැබී ඇත්තේ දහයකි.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන අන්දමට වෙබ් අඩවිය හරහා ඉල්ලුම් කළ නොහැකි වුවත්, ගොවිජන සේවා කාර්යාලවලට පැමිණ අවශ්‍ය බීජ හා පැළ ලබාගත හැකිය. අපේ කෘෂිකර්ම බලධාරින් ජීවත් වන්නේ මේ රටේ දැයි සිතෙන්නේ මේවා අසන විටය. ඔවුන් ජීවත් වන්නේ මේ රටේ නම් දැන් රටපුරා ඇඳිරි නීතියක් ක්‍රියාත්මක බවත්, බීජ හා පැළ ඇණවුම් කිරීමට වෙබ් අඩවියක් හඳුන්වා දී ඇත්තේ ජනතාවට එහා මෙහා යා නොහැකි නිසා බවත් ඔවුන් තේරුම් ගත යුතුය.

ගොවිජන සේවා කාර්යාලවලින් බීජ හා පැළ ලබාගත හැකි බව කියතත් ඇතැම් ගොවි ජන සේවා කාර්යාලයක එලෙස ලබා ගැනීමට හෝ බීජ හා පැළ නැත. මීට හේතු වී ඇත්තේ සැලසුම් කළ ප්‍රමාණයට හෝ බීජ හා පැළ නිෂ්පාදනය නොවීමය.

සෞභාග්‍යා ගෙවත්ත වැඩසටහන යටතේ ආණ්ඩුවේ සැලසුම වී තිබෙන්නේ රටපුරා නිවාස ඒකක ලක්ෂ 50 ක ගෙවතු වගා කරවීමටය. එහෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ හා පැළ සූදානම් කර ඇත්තේ නිවාස ඒකක ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයකටය. එසේ වීමට සාධාරණ හේතු තිබෙන්නට පුළුවන. පවතින තත්ත්වය මත සෞඛ්‍ය හා ආරක්ෂක අංශ හැරුණු විට බොහෝ රාජ්‍ය ආයතන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවීම, ඊට ප්‍රධාන හේතුව විය හැකිය.

එහෙත් ඒවා කල්පනා කළ යුතුව ඇත්තේ වැඩසටහනේ අතරමැද නොව එය ආරම්භ කිරීමට පෙරය. ජනතාව ගෙවතු වගාවට දක්වන උනන්දුව අනුව ඉල්ලුම කොතරම් වනු ඇත්දැයි අනුමාන කිරීමටද කෘෂිකර්ම බලධාරින්ට හැකියාවක් තිබිය යුතුය. සැලසුම් සකස් කළ යුතු වන්නේ අද ගැන සිතා නොව හෙට ගැන සිතා බැවිනි.

කෘෂිකර්මයේ ඉහළ බලධාරින් දුරදිග නොබලා කටයුතු කිරීමේ විපාක විඳින්න සිදුව ඇත්තේ ගමේ සිටින කෘෂිකර්ම නිලධාරින්ටය. ඔවුන්ට දැන් තමන්ගේ ගෙදර හෝ සිටින්නට නොහැකි තත්ත්වයක් උදා වී ඇත්තේ ගමේ ජනතාව බීජ හා පැළ ඉල්ලමින් ඔවුන් සොයා එන බැවිනි. මේ යන අන්දමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, පොලිසියට පමණක් නොව කෘෂිකර්ම නිලධාරින්ටද ජනතාව පහර දෙන්නට බැරි නැත.

ගෙවතු වගා වැඩපිළිවෙළ නිසා අනාගතයේ මතුවිය හැකි තවත් ප්‍රශ්නයක් තිබේ. එය සටහන් කර තබන්නට අදහස් කරන්නේ කෘෂිකර්ම බලධාරින් මේවා ගැන කල්පනා නොකරන බව හොඳින්ම දන්නා නිසාය. ආණ්ඩුව අපේක්ෂා කරන්නේ නිවාස ඒකක ලක්ෂ 50 ක ගෙවතු වගා කිරීමය. ඒ ඉලක්කයට ගියත් නැතත් ඉන් අඩක ගෙවතු වගාව සාර්ථකව සිදු වේ යැයි උපකල්පනය කළහොත් එමගින් මෙරට එළවළු නිෂ්පාදනය කොපමණ ප්‍රමාණයකින් ඉහළ යනු ඇතිද? ගෙවතු ලක්ෂ 25 ක කැරට්, බීට් නැතත් අමුමිරිස්, බණ්ඩක්කා, මෑකරල් වැනි එළවළු වවන විට ජීවනෝපායට මෙම භෝග වගා කරන ගොවියාගේ අස්වැන්නට ලැබෙන මිලට කුමක් වනු ඇත්ද? එහෙත් එසේ වුවත් ගෙවතු වගා වැඩපිළිවෙළ නවතා දැමිය යුතු යැයි අප කියන්නේ නැත.

අප මේ කියන්නේ මේ තත්ත්වය පුරෝකතනය කර ජීවනෝපාය සඳහා මහා පරිමාණයෙන් වගා කරන ගොවියා වෙනත් ආර්ථික භෝග සඳහා යොමු කළ යුතු බවය. එසේ නැතිනම් ඔවුනගේ අස්වැන්න කල් තබා ගැනීමට, අපනයනය කිරීමට හා ඒවායින් අදාළ නිෂ්පාදන කිරීමට ඇති හැකියාව ගැන දැන් සිටම සොයා බැලිය යුතු බවය. එසේ නොවුණහොත් ගෙවුතු වගා සාර්ථක වෙද්දී එළවළු ගොවියා වස බීමේ වගකීම ආණ්ඩුවට භාර ගැනීමට සිදුවනු ඇත.