විශේෂාංග

පැරකුම්බා සංකල්පයෙන් අහස් දිය එක්කරන වැහි ජල ටැංකි

අහසින් වැටෙන එකදු දිය බිඳක් හෝ මුහුදට යා නොදී රැකගන්නට වෙහෙසුණේ මහා පැරකුම්බා රජුය. ඒ නිසාම එදා පරාක්‍රම සමුද්‍රය වැනි විසල් වැව් ඉදිවූ අතර ඒවායේ ජලය පිරී ඉතිරී මිනිස් දිවියට මනා අස්වැසිල්ලක් උදා කළේය. එමෙන්ම ඉස්සර වැසි වැස්සේ කලටය. ඒ නිසා මිනිසුන්ට කලට වේලාවට ගොවිතැන් කරගන්නට හැකි විය. මහා නියං ඇතිවී වැව් හිඳුනෙත් නැත.

ඒත් අද සියල්ල සිදුවන්නේ අකලටය. වහින්නට ගත් විට එක දිගට වහියි. පායන්නට ගත් කල එක දිගට පායයි. ගහකොළ කරවී යන ලෙසත්, වැව් හිඳී යන තරමටත් පායන්නට ගනියි. මේ දෙකින්ම බොහෝ විට පීඩා විඳින්නෙත් අහස් දියෙන් ජීවිකාව කරගන්නා මිනිසුන්මය. වතුර ඒ ලෙසට මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් කෙරෙමින් තිබෙන නිසා හිඳෙන වැව් පතුල්, ළිං පතුල් දෙස බලා සුසුම්ලමින් බොන්නට වතුර සොයා ඔවුන්ට සැතපුම් බොහෝ ගණන් ඈත යන්නටත් සිදුවෙයි. ඒ මදිවට මේ ජලයේ ඇති බැර ලෝහයන් නිසා වකුගඩු රෝගයට ගොදුරු වන්නටත් සිදුවීම අද ස්වභාවිකය.

ඒත් මෑතක සිට වියළි කලාපයේ වතුර හිඟ කාලයට පුංචි පුංචි විසඳුම් ලැබෙන අතර තවත් පහසුවෙන් කෙටි කාලයක් හෝ පිරිසුදු වැසි ජලය එක්රැස් කර තබාගැනීමේ ක්‍රමයක් ලංකා වැසි ජලය එක්රැස් කරන්නන්ගේ සංගමය වියළි කලාපයට හඳුන්වා දී ඇත. 1999 වසරේ නුවර, පුත්තලම, හම්බන්තොට හා මොනරාගල යන දිස්ත්‍රික්ක ආවරණය කරමින්ය.
මේ දිස්ත්‍රික්ක ආවරණය කරමින් ඔවුන් වැසි ජල ටැංකි දහයක් ලබාදුන්නේ මුලින් එහි සාර්ථකත්වය මනිනු සඳහාය. ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වූයේ නැත. අත්හදා බැලීමට දුන් වැසි ජල ටැංකි දහයට පිරුණ අහස් දිය ඔවුන්ට සැබෑ ප්‍රයෝජනයක් ගෙනදුන් අයුරු පෙනුණි. තවමත් ඒ පළාත්වල දැඩි ලෙස මේ ක්‍රමය ව්‍යාප්ත වී නැත්තේ වැසි ජලය එක්කරන්නන්ගේ සංගමයද ඒ ඒ ප්‍රදේශ සඳහා මේ ක්‍රමය අත්හදා බලමින් ගිය නිසාය.

ඒත් අද වනවිට ඔවුන් බොහෝදුරට සාර්ථක වී සිටිති. ඒ නිසාම මෙය අද සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි සමාජ සේවා ආයතනයක් වී ඇත. එමෙන්ම 2016 වසරේ සිට ඔවුන්ට මේ වැසි ජල ටැංකි ක්‍රමය ලංකාවේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන්නටත් පුළුවන් විය. ඒ තුන් අවුරුදු ව්‍යාපෘතියක් ලෙසිනි. කිලිනොච්චිය, බදුල්ල, මොනරාගල හා මඩකලපුව යන ප්‍රදේශවල ගොවි ජනතාවට වැසි ජල ටැංකි ඔවුන් ඒ ලෙසින් හඳුන්වා දුන්හ.

‘‘මේ ව්‍යාපෘතියෙන් නිවාස 391ක මිනිසුන් 17900කට ආසන්න පිරිසකට පානීය සහ විවිධ වුවමනාවන් සඳහා ජල අවශ්‍යතා ඉටු කර දෙන්න අපට පුළුවන් වුණා. ඒ වගේම මේ ප්‍ර‍දේශ තුළ පානීය ජලය හිඟ වියළි කලාපීය පාසල් 48කට සහ ග්‍රාමීය රෝහල් 10කටත් වැසි ජල ටැංකි නිර්මාණය කර දෙන්න අපට පුළුවන් වුණා. අද වනවිට වැසි ජලය එක්රැස් කරන්නන්ගේ සංසදය විසින් මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහකත්, ග්‍රාම නිලධාරී කොට්ඨාස විසි පහකත් පවුල් 4200කට මේ ලෙස ආරක්ෂිත පානීය ජලය දීලා තියෙනවා. ඒ අතරේ රජයේ පාසල් 54ක් සඳහා මේ ජල පහසුකම් ලබාදීලා තියෙනවා. ඒ නිසා සිසුන් දස දහසක් පමණ මේ ප්‍රතිලාභය භුක්ති විඳිනවා. මේ විදිහට අද වෙනකොට අපි කිලිනොච්චිය, මොනරාගල, බදුල්ල හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල වැසි ජල ටැංකි 500ක් හදවලා තියෙනවා.’’

ඔවුන් ව්‍යාපෘතියක් ලෙස 2016දී ඇරඹූ වැසි ජල ටැංකි ක්‍රමය ගැන එසේ කීවේ ශ්‍රී ලංකා වැසි ජලය රැස් කරන්නන්ගේ සංසදයේ ප්‍රධාන විධායක නිලධාරිනී ආචාර්ය තනූජා ආරියනන්දයි.
ඔවුන් මුලින්ම මේ කාර්යයට අත තබන්නේ වැසි ජල ටැංකි නිර්මාණකරුවන්ගේ සංගමය ලෙසිනි. අනතුරුව 1997 වසරේදී ශ්‍රී ලංකා වැසි ජලය එක්රැස් කරන්නන්ගේ සංගමය ලෙස වෙනස් විය. එදවස ඔවුන්ගේ මූලික අරමුණ වූයේ වැසි ජලය එක්රැස් කිරීම හා ප්‍රවර්ධනය කිරීමට වෘත්තිකයන් එක්රැස් කිරීමයි. ඒත් අද වනවිට ඒ අරමුණු ඊට වඩා බොහෝය.
‘‘ලංකාවේ ගංවතුර හා නියඟයට ලක්වන ප්‍රවණතා ඇති ප්‍රදේශවලට ගොස් ඔවුන්ට මේ ක්‍රමයෙන් සුරක්ෂිත පානීය ජල ව්‍යාපෘති ආරම්භ කිරීමත් අපේ අරමුණක්. අපේ මීළඟ පියවර තමයි ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලට ගැළපෙන ආකාරයේ වැසි ජලය රැස් කිරීම සඳහා පද්ධතීන් නිර්මාණය කිරීම.

ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමට අපි විවිධ වැඩසටහන් පවත්වනවා. ඊට අමතරව ජල තත්ත්වය පරීක්ෂා කිරීමට හා පෙදරේරුවන් හා කාර්ය මණ්ඩලය සඳහා පුහුණු කිරීමේ වැඩසටහන්ද මේ දිනවල පවත්වනවා.’’

තනූජා ආරියනන්ද වැඩිදුරටත් කියන්නේ මේ ජලය වියළි කලාපයේ ජනයාට නම් සෞඛ්‍ය අතින් හොඳ බවයි. මන්ද වියළි කලාපයේ ජනයා ජල හිඟයෙන් මෙන්ම වකුගඩු රෝගයෙන්ද පීඩා විඳින්නෝය. වකුගඩු රෝගයට හේතුකාරක වන ජලයේ පවතින බැර ලෝහ මේ ආකාරයට එක්කර ගන්නා වැසි ජලය නොවීමත් විශේෂත්වයකි.

මේ ආකාරයට වැසි ජල ටැංකි තැනවීම තුළින් වකුගඩු රෝගයේද යම්කිසි අඩුවීමක් දක්නට ලැබුණු බව වැසි ජල ටැංකි හිමිකරුවෙක් මෙන්ම වෙද මහතෙක්ද වන බදුල්​ලේ පදිංචි කේ.ජී. විද්‍යාරත්න සඳහන් කළේය.

‘‘මගේ නෝනත් මැරුණේ වකුගඩු අමාරුව හැදිලා. ඒ නිසා අපි තීරණය කළා වැසි ජල ටැංකි පාවිච්චි කරන්න. ඒත් අපි කලින් බිව්වේ ළිං වතුර. ඒවා හරිම කිවුල් රහයි. ඒ වතුර උතුරුවන කොට ඒකේ තියෙන දේවල් අඩියේ බැඳෙනවා. ඒත් වැහි වතුර ඒ භාජනේම දාලා රත් කරනකොට අර කලින් බැඳිලා තිබුණු ඒවා කැඩිලා යනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වැහි වතුර රත් කරලා බොන එකෙන් අපේ ඇඟට කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. අපි අවුරුදු තුනක් තිස්සේ බොන්නේ මේ වතුර. තාම අපිට කිසිම ලෙඩක් දුකක් නැතුව හොඳින් ඉන්නවා,’’ ඔවුන් විශ්වාස කරන ආකාරයට කලින් පානය කළ කිවුල් ජලයට වඩා මේ වැසි වතුර ගුණාත්මක තත්ත්වයෙන් වගේම සෞඛ්‍යයට වඩාත් හිතකර වන්නේය. ගෙවතු වගාව හා කිරි හරක් පාලනය තුළින් තම ජීවිකාව ගෙනයන මහියංගණයේ කේ.එම්. සාමාවතී කියා සිටියේ මේ වැසි ජල ටැංකි පද්දතිය මගින් තමන්ගේ වගාවන්ට වගේම නිවසේ පරිභෝජනයටත් බොහෝ ප්‍රයෝජන රාශියක් ඇති බවයි.

‘‘මේ වැසි ජලය අපට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ මෙහෙ වතුරවල බැර ලෝහ වැඩියි. ඒ නිසා වකුගඩු රෝගය ගොඩක්ම මෙහෙ තියෙනවා. අපේ අම්මටත් වකුගඩු රෝගය තියෙනවා. ඒත් මේ වැසි ජල ටැංකි පාවිච්චි කරන්න පටන් ගත්ත දවසේ ඉඳලම අම්මගේ වකුගඩු රෝගය ගොඩක් දුරට අඩුවෙලා තියෙන්නේ. අනික අපිට වහින්නෙත් මාස හයකට පාරක්. ඒ නිසාම මේ වතුරවල වැදගත්කම ගොඩක් අපිට තේරෙනවා.’’
වකුගඩු රෝගයට වගේම පානීය ජල ගැටලුව නිසාම පීඩා විඳින වියළි කලාපයේ වැසියන්ට අද වනවිට වැසි ජල ටැංකි යනු දෙවියන් විසින් ලබාදුන් තිළිණයක් වැනිය.

අගනුවර නිවෙස්වලට වුවද එසේ වැසි ජල ටැංකි හදාගතහොත් ඒ ජලයෙන් වාහන සේදීම්, ගෙමිදුල් සේදීම්, මල්වලට වතුර දැමීම, රෙදි සේදීම්ද, සතුන් නෑවීම වැනි විවිධ අවශ්‍යතා වෙනුවෙන් යොදවන්නට පුළුවන. එයින් වටිනා ජලය අපතේ යාම වැළකෙනවා සේම ජල බිල්පත්ද අඩුවනු ඇත.

මේ වැසි ජල ටැංකිය සාදන්නේ සිමෙන්ති වැලි මිශ්‍රණයකිනි. කුකුල් කූඩු තැනීමට යොදාගන්නා දැල් පාවිච්චි කොට සාදාගන්නා අච්චුවක තබා දෙපැත්තේ බදාම ගල්වා ඇතිරීමෙන් වැසි ජල ටැංකිය නිම කරනු ලබයි. මේ වැසි ජල ටැංකි සාදා නිම කිරීමෙන් පසු දිස්වන්නේ සුවිසල් කළගෙඩියක් විලසටය. මේ හැඩය නිසාම විශාල ජල පරිමාවක් ටැංකියට හානියකින් තොරව ගබඩා කිරීමේ හැකියාවක් තිබේ. මෙසේ නිර්මාණය කරගන්නා වැසි ජල ටැංකි විවිධ ධාරිතාවන්ගෙන් යුක්තය. ඒ අතර ලීටර් 8000ක ධාරිතාවකින් යුතු වැසි ජල ටැංකිය නිපදවා ඇත්තේද නිවෙස්වල පරිභෝජනය වෙනුවෙනි. මේ අතර රෝහල් සඳහා ලීටර් දස දහසේ සිට දාසය දහස දක්වා ධාරිතාවකින් යුත් ටැංකිද සාදාගත හැකි අතර පාසල් සඳහා ලීටර් තිස් දහසක ධාරිතාවකින් යුත් ටැංකිද සවිකර ගත හැක.

වැසි ජලය මෙලෙස එක්රැස් කිරීමේදී අපට පැන නැගෙන ගැටලුව වන්නේ මෙයින් ඩෙංගු මදුරු අවදානමක් ඇතිවනවාද යන්නයි. නමුත් තනූජා ආරියනන්ද මහත්මිය පවසන ආකාරයට මේ වැසි ජල ටැංකි පද්ධතිය තුළින් කිසිදු ඩෙංගු මදුරු ව්‍යාප්තියක් සිදු නොවේ. එසේ සිදු නොවීමට හේතුව ලෙස ඇය පවසන්නේ වහලින් පීල්ලට වැටෙන ජලය නෙට් කැබැල්ලකින් පෙරී ගිය පසු ටැංකිය හොඳින් වසා තැබීමට නිවැසියන් කටයුතු කරනු ලැබීමයි. මේ නිසා හිරු එළිය හෝ සතුන්ට හෝ මේ ටැංකිය තුළට ඇතුළු විය නොහැක. ඒ නිසාම වැඩි කාලයක් පුරාවට ජලය සාර්ථකව ගබඩාකොට තබාගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන්ද බෝ නොවන ආකාරයට පවත්වාගෙන යෑමට හැකියාව ලැබේ.

මෙහි පළමු අදියර ලෙස මේ වැසි ජල ටැංකි පද්ධතිය කොළඹ රාජකීය විද්‍යාලයේත්, කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේත් නිර්මාණය කළේය. මේ සඳහා ඔබට උදව් උපකාර හා උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් ලංකා වැසි ජලය එක්රැස් කරන්නන්ගේ සංගමය හා සම්බන්ධ විය හැක. එපමණක් නොව, ලෝකයේ බොහෝ රටවල් අද වනවිට පානීය ජල ගැටලුව නිසා බොහෝ සේ පීඩාවට ලක්වේ.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත පෙන්වා දෙන ආකාරයට 2040 වසරේදී සියලුම ලෝකවාසීන්ට පානීය ජල ගැටලුවකට මුහුණ පෑමට සිදුවේ. 2020 වසර වනවිටත් ලෝකයේ ජනගහනයෙන් 30%ක් හෝ 40%ක් අතර ප්‍රමාණයකට පමණ පානීය ජල ගැටලුවට මුහුණ දීමට සිදුවේ. ඒ නිසාම අද පටන් අපත් වැසි ජල ටැංකි පරිහරණයට පෙලඹෙන්නේ නම් අගනේය.

හර්ෂණී දිසානායක