විශේෂාංග

පාහියංගල දුනු හී කතා කරයි

පාහියංගල ප්‍රාග් ඓතිහාසික ගුහාවෙන් වසර 48000 පෙර දින නීර්ණය කර ඇති පස් ස්ථරයකින් ශ්‍රී ලංකාවේ ආදි මානවයන් භාවිත කරන ලද දුනු ඊතල තාක්ෂණයට අදාළ සාක්ෂි හමුවීම පිළිබඳ පුවත ඉකුත් සතියේ දෙස් විදෙස් අවධානය දිනාගත් පුවතක් විය. එමෙන් ම එය ආදි මානවයාගේ දුනු හා ඊතල භාවිතය පිළිබඳ අප්‍රිකාවෙන් පිටත හමුවූ පැරණිම සාක්ෂිය වශයෙන් ද සැලකීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ සදාහරිත තෙත්කලාපීය වානාන්තර ප්‍රදේශයක් වන බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, බුලත්සිංහල – යටිගම්පිටිය ග්‍රාමයේ පිහිටි පාහියංගල ලෙනින් හමුවූ මෙකී සාධක අතර ශිලා පතුරුවලින් තැනූ ඉතා කුඩා ජ්‍යාමිතික මෙවලම්, සත්ව අස්ථි සහ දත්වලින් කළ මෙවලම් මෙන්ම සත්ව අස්ථිවලින් සැකසූ කුඩා ඊතල තුඩු ද විය. මෙම පර්‌යේෂණ කරන ලද්දේ ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් ආයතනයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පර්‌යේෂකයන් පිරිසකි. මේ ඒ පිළිබඳ කෙරෙන විමසුමකි.

ප්‍රාග්ඓතිහාසික දඩයක්කරුවන්ට (අන්නගවේෂකයන්) කිසියම් දුරක සිටින සතෙකු පහසුවෙන් දඩයම් කරගැනීමට අවස්ථාව සැලසෙන්නේ දුනු-හී තාක්ෂණය සොයා ගැනුමත් සමගය. මෙසේ තම පූර්වජයන් කළාක් මෙන් ගලකින් ගසා හෝ හෙල්ලයකින් විද සතෙකු දඩයම් කරනවාට වඩා යම් නිශ්චිත එල්ලයක් ගෙන සතෙකුගේ මර්මස්ථානයකට එල්ල කළ හී පහරකින් එම සතා පහසුවෙන් දඩයම් කිරීමට පටන් ගැනීම නිසා මානවයා භූමිය මත ඇවිද යන ගෝනුන් මුවන් මෙන්ම ගස්වල ජීවත් වන වඳුරන් ලේනුන් මෙන් ම අහසේ පියාඹා යන පක්ෂීන් ද දඩයම් කර ආහාරයට ගැනීමට පටන් ගත්තේ ය. එපමණක් නොව දුනු හී භාවිතයට හුරු වූ පසුව මානවයින්ට ළඟාවීමට අපහසු නපුරු වනමෘගයන් ද දුර ඈත සිට දඩයම් කිරීමට හැකිවිය. එනම් කිපුණු වල්ඌරෙකු හෝ මීමෙකුගේ පහරකට ලක්නොවෙමින් සාර්ථක ලෙස උන්ව දඩයම් කරගැනීමට හැකි විය.

මේ ආකාරයට අපගේ ආදිතම හෝමෝසේපියානු මුතුන්මිත්තන් දඩයම සඳහා මුලින් ම භාවිත කළේ, යම් තැනක සිට විසිකර දමා පහර එල්ල කළ හැකි දැව දඬුමය ‘හෙල්ල’ ය. එය ඉතා සරල තාක්ෂණයකින් නිපදවා උල්කොට සකසාගත් ලී දඬුවකි. ඔවුන් විසින් මෙවැනි මෙවලම් අදින් වසර ලක්ෂ පහකට පෙර සිටම භාවිත කොට තිබුණු බවට සාධක ඕනෑ තරම් හමු වී ඇත.

මානවයා සිය පරිණාමික ක්‍රියාවලියේ වැදගත් ම සන්ධිස්ථාන කිහිපයක් සනිටුහන් කළ පසුගිය වසර ලක්ෂය ඉතාම සුවිශේෂී වන්නේ එකී වකවානුව තුළ ඔවුන්ගේ බුද්ධි මට්ටම මෙන්ම තාක්ෂණ භාවිතයද බෙහෙවින් දියුණුවට පත්වී තිබෙන නිසා ය. මෙහිදී ත්, දුන්නක් තනා ගැනීම සහ එයට අවශ්‍ය හීයක් නිර්මාණය කරගැනීම සඳහාවූ කුසලතාව අප මුතුන් මිත්තන් විසින් එක රැයකින් අත්පත්කරගත්තක් යැයි සිතිය නොහැකි ය. එය දිගින් දිගටම කළ අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් වන්නා සේම එය මානවයා විසින් කාලාන්තරයක් තිස්සේ සිදු කරන ලද තාක්ෂණික සොයාගැනීම්වල වඩාත් දියුණු ම අවස්ථාවක් වශයෙන් ද සැලකිය යුතු ය. එමෙන් ම මෙම දුනු-හී තාක්ෂණය එකල පෘථිවියේ විවිධ කොන්වල ජීවත් වූ ප්‍රාග් මානවයින් විසින් විවිධාකාරයෙන් පෝෂණය කරන ලද්දක් බව ද සඳහන් කළ යුතු ය. මෙහිදී ඔවු’නොවුන් මෙම තාක්ෂණය දියුණු කරන ලද්දේ තමන් එදිනෙදා ජීවිතයේ කටයුතුවලට භාවිත කරන අමුද්‍රව්‍ය ඇසුරින් වීම ද විශේෂ ය.

නැගෙනහිර අප්‍රිකාවේ විසූ හොමෝහැබිලිස් මානවයා විසින් ශිලා පතුරකට තවත් දෘඪ ගලකින් ගසා විධිමත් මෙවලමක් සැකසීමේ සිට දියුණු වූ ශිලා මෙවලම් තාක්ෂණය මගින් ආදි මානවයා විසින් සැකසූ මෙවලම් වඩ වඩාත් කාර්යක්ෂම සහ කුඩා මෙවලම් තැනීම දක්වා ක්‍රම ක්‍රමයෙන් දියුණු වූ අතර මෙසලොතික හෙවත් මධ්‍යම ශිලා යුගය ලෙස හඳුන්වන කාල පරිච්ඡේදයේදී එම මෙවලම් ජ්‍යාමිතික ශිලා මෙවලම් තැනීම නම් සම්මත සම්ප්‍රදායක් වශයෙන් ලොව විවිධ කාලාපවල දියුණුවට පත්විය. එලෙස සැකසූ කුඩා ශිලා පතුරු මගින් වඩාත් තියුණු හී හිස් තනා ගැනීමට පෙලඹීම මගින් දුනු හී තාක්ෂණයද එයට සමාන්තරව වර්ධනය විය.

දුන්නක් නම් තාක්ෂණික නිමවුම සඳහා ලොව සිටි බොහෝ ප්‍රාග්ඓතිහාසික මානවයන් විසින් භාවිත කළ atlatl නම් මෙවලම පදනම් කරගන්නට ඇති බව ප්‍රාග්ඓතිහාසික දුනුකර්මාන්තය පිළිබඳ විශේෂඥයන්ගේ අදහසය. එය හෙල්ලයක් හෝ යම් ශරයක් (dart) විදීම සඳහා අමතර බලයක් ලබාදුන් දැවයෙන් තැනූ ලීවරයකි.

සැබවින්ම යම් ගසක අත්තක් හෝ සිහින් කඳක් ඇති ශාකයක් නවා එය පෙර පැවති තත්ත්වයට නැවතත් පත්වන බව නිරීක්ෂණය කළ ආදි මානවයන් එකී අත්ත හෝ ශාකය ගසින් වෙන්කොට මැනවින් හැඩගන්වා සමමිතික හැඩයක් ලැබෙන අයුරින් සකස් කිරීම දක්වාද, ශාක කෙඳි හෝ සත්ව සමින් ඒ සඳහා අවශ්‍ය දුනුදිය සකසා ගැනීම සඳහා පමණක් නොව වඩා සෘජු දැව දඬු භාවිත කොට හී සකසා ගැනීම සහ එහි තුඩ වශයෙන් ජ්‍යාමිතිකව සැකසූ ශිලා මෙවලමක් හෝ අස්ථි මෙවලමක් සවිකර ගැනීම සඳහා අවශ්‍ය බන්දකය සඳහා වඩාත් සුදුසු මැලියම් සකසා ගැනීම යන තාක්ෂණික තීරණ පමණක් නොව අවසන් වශයෙන් එය ඉතා වේගයෙන් ගුවනේ පා කළ හැකි පරිදි එම හීයේ වායුගතිකභාවය (aerodynamic) ආරක්ෂාකර ගැනීම යන සමස්ත නිමැවුම් ක්‍රියාවලියම හුදු අහම්බයක් නොව මැනවින් සිතා බලා සැලසුම් කළ යුතු ක්‍රියාවලියක් වන්නේය. එහෙයින් දුනුහී භාවිතයට පෙලඹීම මෙන්ම එහි ඇති තාක්ෂණික වශයෙන් උසස් බව අප වර්ගයාගේ බුද්ධි මට්ටම වර්ධනය වීම පිළිබඳ සංඥාවක්ද වන්නේය. ශ්‍රී ලංකාව තුළින් හමුවූ මෙම සාධක අප රටට හෝ කලාපයට පමණක් නොව සමස්ත ලෝකයටම වැදගත් වන්නේ එම කරුණ නිසාය. පෙරදී නූතන හෝමෝ සේපියන් මානවයාගේ බුද්ධි මට්ටම පිළිබඳ නිදර්ශක සැපයුවේ යුරෝපයෙන් සොයාගත් අල්ටමීරා, ලැස්කෝ ආදී ගුහාවල ඇඳ ඇති ගිරිසිත්තම් හෝ යුරෝපයේ නොයෙක් ස්ථානවලින් හමුවූ ප්‍රාග්ඓතිහාසික වීනස් ප්‍රතිමා ඇතුළු වෙනත් නිර්මාණ මගිනි. එහෙත් පසුගිය දශකය තුළදී දකුණු සහ අග්නිදිග ආසියාව මූලිකකොට සිදුකරන පුරාවිද්‍යාත්මක පර්‌යේෂණ මගින් අප වර්ගයාගේ ප්‍රජානනය සහ සංකේතීය චර්යාව පිළිබඳ ඉතා විශිෂ්ට සාක්ෂි හෙළිකළ සොයාගැනීම් ගණනාවක් පුරාවිද්‍යාඥයන් විසින් සිදු කර ඇත. එම සොයාගැනීම් ගොන්නට අභිනවයෙන් එකතුවන සාධක වශයෙන් මෙම පර්‌යේෂණය මගින් සොයාගත් ශක්තිමක් අස්ථි කොටස්වලින් තනාගත් හී තුඩු සහ අනෙකුත් විශිෂ්ට මෙවලම් සමුච්චය හඳුන්වාදිය හැකිය.

මේ වන විට දුනු හී භාවිතය පිළිබඳ ඉතා පැරණිම සාධක දකුණු අප්‍රිකාවේ සිබුදු ගුහාවෙන් සොයාගෙන ඇති අතර එම කලාවකවානුව අදින් වසර 64000 කි. මේවන තෙක් අප්‍රිකාවෙන් පිටත දුනු හී භාවිත කළ බවට පැරණිම සාක්ෂි වශයෙන් සලකනු ලැබුවේ අදින් වසර 18000කට වඩා පැරණි නොවන ජර්මනියේ ස්ටෙල්මුවර් (stellmoor) නම් ස්ථානයෙන් සොයාගෙන තිබුණු සාධකය. එහෙත් මෙම සොයා ගැනීම් මගින් එකී සියලුම වාර්තා යාවත්කාලීන වන බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසය.

කුමන ප්‍රාග්ඓතිහාසික සන්දර්භයකදී වුවද මෙවැනි සාධක ඉතා දුලබ සොයාගැනීම් වන අතර නුපුහුණු ඇසකින් ගිලිහීයාමට බෙහෙවින්ම ඉඩකඩ ඇති සාධක වෙති. පුරාවිද්‍යාත්මක තැන්පතුවලින් මෙවැනි දුනු හී අවශේෂ හමුනොවීමට හේතුවන අනිත් ප්‍රධාන කාරණය නම් ඒවා තනන්නේ වඩා ඉක්මනින් ඛාදනය වන දැව, ගස්වල පට්ටා සහ, තන්තු ආදිය භාවිත කරමින් නිසාය. එහෙත් හී සඳහා භාවිත කරන කුඩා ශිලා සහ අස්ථි හීතුඩු බොහෝවිට එම තැන්පතු වලින් හමුවෙයි.

පාහියංගල ගුහාවෙන් සොයාගත් අස්ථි මෙවලම් වඩා විශේෂ වන්නේ මෙම හේතුව නිසාය. පර්‌යේෂකයන් දක්වන ආකාරයට මෙම අස්ථි මෙවලම් කුඩා හී දඬුවලට සවිකොට ඉතා වේගයකින් ගොදුර වෙත විදීමට හැකිවන පරිදි තනා ඇති බවට සාධක දක්නට ලැබෙන බව දක්වා ඇත. මෙම දුනු හී භාවිත කළ දඩයක්කරුවන් එමගින් කුඩා වඳුරන් සහ දඬුලේනුන් බහුලව දඩයම් කළ බව ලෙන තුළින් හමුවූ ඔවුන් ට අයත් විශාල අස්ථි කොටස් සංචිතය මගින් පැහැදිලි වෙයි.

සැබවින්ම පාහියංගල ගුහාවෙන් හමුවූයේ එවැනි කුඩා ප්‍රමාණයේ අස්ථි හී තුඩු පමණක් නොවේ. පර්‌යේෂණ කණ්ඩායම් විසින් අප වර්ගයාගේ මුල්කාලීන සමාජිකයන්ගේ ජීවන රටාව පිළිබඳ ඉතා වැදගත් කරුණු හෙළිකරන ඉතා දුලබ සාධක ගණනාකවක් එහිදී සොයාගැනීමට හැකිවිය. මේ අතරින් වඳුරන්ගේ සහ මුවන්ගේ අස්ථි සහ දත්වලින් සැකසූ සීරුම් ආයුධ, උල් ආයුධ සහ කැපුම් මෙවලම් වැදගත් තැනක් ගනී. ඔවුන් විශ්වාස කරන ආකාරයට මෙම මෙවලම් සම් සහ ශාක ආදී ද්‍රව්‍ය සැකසීමට භාවිත කරන්නට ඇත. ඉන් එක් මෙවලමක් ඉතාමත් සුවිශේෂය. හාපුනයක් සේ සකස්කොට ඇති එහි දෙපස දාර එකිනෙකට සමාන දුරින් කඩතොලුකොට ඇත. කෙඳිවලින් වියන ලද දැල් සකස් කිරීම සඳහා සකස්කොට ගත් නඩාවක් (shuttle) ලෙස එය භාවිත කරන්නට ඇති බව පර්යේෂකයන්ගේ අදහසය. සැබවින්ම එවැනි කෙඳිවලින් සැකසූ දැල් වෘක්ෂජ සතුන් දඩයම් කිරීම සඳහා පාහියංගල සිටි දඩයක්කරුවන් විසින් නිසැකයෙන්ම භාවිත කරන්නට ඇත. එමෙන්ම පහළින් ගලා ගිය ඔයවල මසුන් ඇල්ලීමටද එම දැල් භාවිත කරන්නට ඇත.

එම ගුහාව තුළ තිබෙන්නට ඇති සත්ව සමින් සහ ශාකමය ද්‍රව්‍යවලින් කළ ඇඳුම් පැලඳුම්, මලු සහ දැල් හෝ බහාලුම් වැනි නිර්මාණ ඉතා පහසුවෙන් දිරායන නිසා අපට එවැනි දේ තිබුණාය යන්න ප්‍රත්‍යක්ෂ කරගත හැක්කේ මෙම මෙවලම් හරහා පමණි. සැබවින්ම අපරට තුළ පවතින ආර්ද්‍රතාවයෙන් ඉහළ නිවර්තන කලාපීය දේශගුණ තත්ත්වයන් තුළ පෙර කී දෑ වසර 48000 ක් තරම් කාලයක් තුළ නිරුපද්‍රිතව අවශේෂ වීමට කිසිදු අවස්ථාවක් නොමැත.

ගුහාවෙන් හමුවී ඇත්තේ මෙම තෙත්කලාපීය ප්‍රාග්ඓතිහාසික වනාන්තර විශේෂඥයන්ගේ දඩයම්චාරය පිළිබඳ සාධක පමණක් නොවේ. එම ගුහා තැන්පතුවෙන් ඔවුන්ගේ සංකේතීය ජීවන පැවැත්ම එනම් ඔවුන් ගත කළ සමාජීය ජීවිතය පිළිබඳ කරුණු කාරණාද මතු කර ගැනීමට පර්‌යේෂකයන්ට හැකිවිය. පෙර සඳහන් කාලයටම දිනනීර්ණය කළ පස් ස්ථරවලින් සුදුපැහැති මුහුදු බෙල්ලන්ගෙන් සෑදූ පබළු මෙන්ම ඔවුන්ගේ ශරීරාලේපනය සඳහා භාවිත කළ රතු සහ කහ ගුරු ගල් ආදියෙහි කොටස්ද මිනිරන් කැබලිද සොයාගැනීමට ඔවුනට හැකි වී ඇත. මෙම සෑම ගලකම මැනවින් උරච්චි කළ පෘෂ්ට හඳුනාගැනීමට හැකිවීම මගින් ඒවා ඔවුන් විසින් නිබඳවම භාවිත කරන්නට ඇති බව මැනවින් තහවුරු වෙයි. එමෙන්ම මෙම ගුරු ගල් පාෂාණවලින් රතු ගුරු ගල් පාෂාණයෙන් සකසූ පබළු ද සොයාගෙන ඇති අතර එවැනි සාධකයක් එතෙක් මෙතෙක් ලොව කිසිදු ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයකින් මතු කරගෙන නැත. ශ්වේතවර්ණ කුඩා පබළු අප්‍රිකාවෙන් සහ යුරේසියාවෙන් හමුවන පබළුවලට සමානත්වයක් දක්වන අතර මෙම පබළු කිලෝ මීටර් 20ක් 30ක් පමණ දුරින් ඇති වෙරළබඩ ප්‍රදේශයෙන් එකතුකළ ඒවා හෝ හුවමාරු මාධ්‍යයක් වශයෙන් භාවිත කළ ඒවා විය හැකිය.

අන් කාරණය නම් ආදී හොමෝ සේපියන් මානවයින් විසින් දියුණුවට පත්කළ තාක්ෂණික විධික්‍රමයන් ඔවුන් විසූ පාරිසරික කලාපයන්ට සාපේක්ෂව වෙනස් වූ බවය. අදින් වසර අසූ දහසකට පෙර අප්‍රිකාවෙන් පිටත් වූ මානවයා ආරාබි අර්ධද්වීපය හරහා ආසියාවට සංක්‍රමණය වෙමින් වයඹ දිග ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට පැමිණි බව, අප්‍රිකාවෙන් පිටතට මානවයා විසිර යාම පිළිබඳ වූ ප්‍රධාන න්‍යායන් දෙකෙන් එකක් වන දකුණුදිග ව්‍යාප්ති න්‍යාය මගින් (Southern dispersal theory ) පැහැදිලි කරන අතර එම මානව කණ්ඩායම් අදින් වසර එක්ලක්ෂ විසිපන්දහසකට , වසර හැත්තෑපන්දහසකට සහ වසර හතළිස් අටදහසකට පෙර යන අවස්ථා තුනකදී සිදුවූ සංක්‍රමණ තරංග හරහා මෙරටට පැමිණ පදිංචි වූ බවට පුරාවිද්‍යාත්මක සාධක මගින් හෙළිවී ඇත. එලෙස පැමිණි ආදි මානවයන් නිත්‍ය වශයෙන්ම පෙරදී බුන්දල ආදී මුහුදු බඩ ප්‍රදේශ ජනාවාස කරමින් ජීවත් වෙමින් පසුව ක්‍රමක්‍රමයෙන් රට අභ්‍යන්තරයට පැමිණ තෙත් කලාපීය පරිසර තත්ත්වයන්ට අනුගත වෙමින් දිවිගෙවීමට හුරුවී ඇත. එලෙස තෙවන වරට සංක්‍රමණය වූ මානව කණ්ඩායම අදින් වසර හතළිස් අටදහසක සිට අඛණ්ඩව මෙරට තුළ දිවි ගෙවූ බවට රට පුරා සිදු කළ නොයෙක් ප්‍රාග්ඓතිහාසික පර්‌යේෂණ මගින් පැහිදිලි වෙයි.

අප්‍රිකාවේ වියළි සාවානා භූමිවල දඩයම් කරමින් දිවිගෙවූ දඩකරු අන්නගවේෂකයන්ට පෙරදී ශ්‍රීලංකාවේ සදාහරිත නිවර්තන තෙත්කලාපීය වනගුල්වල දිවිගෙවීම සැබවින්ම දුෂ්කර කටයුත්තක් වන්නට ඇත. ඝණ යටිරෝපණය නිසා දඩයම් කළ යුතු ගොදුරු මැනවින් නිරීක්ෂණය කළ නොහැකි වීම මෙන්ම සාපේක්ෂව විශාල සතුන් බහුල නොවීම යන කාරණය මත ඔවුන් ගස්මත දිවිගෙවන වඳුරන් දඬුලේනුන් වැනි සතුන් දඩයම් කිරීමට තම තාක්ෂණය අලුත් කරගන්නට ඇත. පාහියංගලින් හමුවූ ප්‍රාග්ඓතිහාසික දුනු කර්මාන්තය පිළිබඳ සාධක ඔවුන් විසින් කළ එකී අත්හදා බැලීම්වලට විශිෂ්ට නිදර්ශනයන් ලෙස සැලකිය හැකිය.

දිනේෂ් දේවගේ