විශේෂාංග

පාස්කු ප්‍රහාරයෙන් හෙල්ලුන මුස්ලිම් ජාතිකයන්ගේ ව්‍යාපාරය

සිසිර කුමාර මානික්කආරච්චි මෙරට සිටි ප්‍රකට ලේඛකයෙකි. ඔහු, වරක් කොස්ගස් හන්දියේ ඉදිකර තිබූ තොරණක් බැලූ මුස්ලිම් නානා කෙනකු ගැන අපූරු සටහනක් තබා තිබුණි.

මානික්කආරච්චි සටහන් කළ ‘නානා’ ඊට පෙර වෙසක් තොරණක් දැක තිබුණේ නැත. එම තොරණේ විදුලි බුබුළු නිවෙමින්, පත්තුවෙමින් නෙක විලාසිතා ගමන් කිරීම ගැන ‘සයිබු නානා’ මවිතයට පත්විය. සයිබු නානා අවසානයේ මෙසේ කියූ බව මානික්කආරච්චි සටහන් කරන්නේ,

‘‘අඩෝ බුද්ධාගමත් ලේසි පහසු කෙලියක් නෙමෙයි නේද ඩෝ?’’
අපේ වෙසක් උත්සවයට නැතිවම බැරි මුස්ලිම් ජාතිකයකු වෙයි. ඒ අල්හාජ් මොහිදීන් බෙග්ය. ඒ. ජේ. කරීම් නම් ගුවන්විදුලි ශිල්පියාද බුදුගුණ ගී ගැයූවද, බෙග් මාස්ටර් තරම් මෙරට ජන හදවත් තුළට කා වැදුනේ නැත. මොහිදීන් බෙග්ගේ බෞද්ධ ගී රාවයක් නොඇසෙන දන්සලක්, පින්කමක්, තොරණක් සොයා ගැනීම පරිප්පු නැති හෝටලයක් හොයා ගන්නවාටත් වැඩිය අමාරු කාරියකි.

වෙසක් උත්සව සමග බද්ධ වී ඇති සව්කොළ, බකට්, කූඩු, බෞද්ධ කොඩි, බල්බ් වැල් ආදී විවිධ විසිතුරු අයිතමයන් වෙළෙඳපොළට සැපයීමේ දැවැන්තම ව්‍යාපාරිකයන් පිරිස මුස්ලිම් ජාතිකයන් බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත. පසුගියදා කොළොම්පුරේ කරක් ගැසූ අපට සොයාගත නොහැකි වූයේ මුස්ලිම් ජාතිකයකු සතු වෙසක් කාඩ් ව්‍යාපාරයක් පමණි.

විසිතුරු වෙසක් සැරසිලි නිපදවන හා ආනයනය කරන මුස්ලිම් ව්‍යාපාරිකයන් ප්‍රධාන වශයෙන් ස්ථානගත වී ඇත්තේ පිටකොටුව ආශ්‍රිතවය. මෙයිනුත් මේවා තොග වෙළෙන්දන් සිටින්නේ පරණ යොන් වීදිය, සෙන්ට්‍රල් පාර, දෙවැනි හරස් වීදිය හෙට්ටි වීදිය, මැලිබන් වීදිය, රැජින වීදිය, පියර් සයිබු වීදිය ආදී වීදිවලය. අපි මුලින්ම ගියේ පරණ යොන් වීදියේ විසිතුරු බල්බ් වැල් තොග ආනයනකරුවන් සොයාය. පරණ යොන් වීදියේ අප හමු වූ මෙම තොග ආනයනකරුවන් සියල්ල මුස්ලිම් ජාතිකයන් විය. අප සමග මුලින්ම කතාවට එක්වූයේ නව්ෂාඩ් නමැති මුස්ලිම් තොග වෙළෙන්දාය.

‘‘මේ සැරේ අපි කවදාවත් නැතිව බල්බ් තොග අලෙවියට තියෙනවා කියලා ප්‍රෙස් ඇඩ් පවා දැම්මා. මේ අයිඑස් කේස් එකෙන් පස්සේ දුර පළාත්වලින් බල්බ් වැල් ගෙනියන්න එන තොග වෙළෙන්දෝ එන්නැතුව ගියා. ඒ අය අවුරුදු දහය, විස්ස අපිත් එක්ක ඩීල් කරපු අය. ඩේට් චෙක් එකකට හරි අරන් යන්න කිව්වට පැත්ත පළාතේ එන්නේ නෑ. ගෙනාපු බල්බ් වැල් තොග පිටින් තියෙනවා. මෙහෙම ගියොත් මේ බල්බ් වැල් වෙඩින් ඩෙකරේෂන්වලට තමයි ගන්න වෙන්නේ. කොස්ට් එකට අරන් යන්න කිව්වත් සමහරු ගෙනියන්නේ නැහැ!’’

වෙසක් බඩු නිෂ්පාදන ආයතනවල ද වෙනදාට තිබුණු ප්‍රබෝධය අපට දකින්නට තිබුණේ නැත. මේ බොහෝ නිෂ්පාදන ආයතනවල දොරවල් තිබුණේ අඩවල්කොටය. ඇතැම් තැන්වල තවමත් වැඩ නිම නොකෙරෙනු බකට්, වෙසක් කූඩු සහ සිටුවා තබන බුද්ධ රූප දැකගත හැකි විය.අප ඊළඟට ගියේ වෙසක් විදුලි සැරසිලිවලට නම් දරාපු පළවැනි හරස් වීදියටය. එහි ගොඩ ගසා තිබුණ ‘සීරියල් බල්බ්’ තොග අපට නිහඬව කියා පෑවේ මෙරට ආර්ථිකයේ කඩාවැටීමේ පැතිකඩකි. එම වීදියේ තිබූ බල්බ්වැල්, විදුලි බුදුරැස් මාලා, බල්බයෙන් නිමවූ නිවී පත්තුවෙන වෙසක් කොඩි අලෙවිකරුවන් වූයේ මුස්ලිම් ජාතිකයන්ය.
‘‘අද උදේ නම් ටිකක් සෙනඟ හිටියා. ගොඩක් අය ගණන් අහලා ගියා. රුපියල් 180 ට දුන්න බල්බ් වැලක් රුපියල් 100 ටත් විකුණගන්න බැරි සයිස් එකක් තියෙන්නේ. වෙනදට මේ වෙනකොට බල්බ්වැල් මදිවෙලා බැගේජ් දාලත් ගේනවා. ඔය ඉස්සර තොරණ වලට දාපු වොට් පහේ කලර් බල්බ් දැන්නම් යනවා අඩුයි. මේ බල්බ් වැල් බිස්නස් අඩුවෙන්න ප්‍රධාන හේතුවක් ඉස්කෝල වැහීම’’’ පළවන හරස් වීදියෙන් පසු පිටකොටුවේ වෙසක් සැරසිලි ඇත්තේ මැලිබන් පාරේ හා රැජින වීදියේය. එම කඩවලද කියන්නට තරම් ප්‍රබෝධයක් නැති තැන අපි ගියේ ‘පීපල්ස් පාක්’ වෙළෙඳ සංකීර්ණයටය. එහි නම් වෙසක් සැරසිලි ඉස්මුරුත්තාවට යන තරම් ගොඩගසා තිබුණි.

පීපල්ස් පාක් සංකීර්ණයේ ඇතුළුවන තැනම ඇති වෙළෙඳ කුටියට පිවිසුණෙමු. එම වෙළෙඳසලේ හිමිකරු වූයේ ‘බෂීර්’ය. ‘‘ගියසැරේ වගේ නෙමෙයි මේ සැරේ බිස්නස් ෆුල් අනාථයි බොසා. මේ බඩු එන්න පටන් ගත්තේ සිංහල අවුරුද්ද ඉවර වෙච්ච ගමන්. අප්‍රේල් 21 වැනිදා බෝම්බ එක්ස්පේලෝෂන් එක වෙනකම් හොඳ බිස්නස් තමා තිබුණා. ඊට පස්සේ තැන්තටම නැති වුණා. දැන් ඔන්න ආයේ අද සෙනගක් ආවා. ඒත් හවස 3 වෙනකොට කට්ටිය නැත්තටම නැති වෙනවා.’’ පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයේ ඇති වෙසක් සැරසිලි අලෙවිසල් එකින් එකට ගිය අපට පෙනී ගියේ එහි දැන් වෙසක් සැරසිලි අලෙවිසල් 6 ක්ම මුස්ලිම් ජාතිකයන් සතු බවය. එහි ප්‍රධාන අලෙවිසල් දෙකක් සිංහල ජාතිකයන් සතු වූ අතර තවත් වෙසක් සැරසිලි වෙළෙඳසල් තුනක හිමිකරුවන් ද්‍රවිඩ ජාතිකයන්ය.

පීපල්ස් පාක් සංකීර්ණයේ වෙසක් සැරසිලි විකුණන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් බොහෝමයක් අපට ඔවුන්ගේ පින්තූර ගන්නට ඉඩ දුන්නද ඔවුන්ගේ නම් පළ නොකරන ලෙස ඉල්ලීය. ඇතැම් මුස්ලිම් ව්‍යාපාරිකයන් මා සමග ගිය කැමරා ශිල්පියා දුටු විටම මුහුණ වසා ගන්නේ ‘‘මීඩියා… මීඩියා…!! මීඩියා…!!’’ කියමිනි. කැමරා ශිල්පියා වෙනත් දෙයකට යැවූ මා ඔහු සමග කතාවට එක්විය.

‘‘මේ සැරේ සෑහෙන්න බිස්නස් තිබ්බේ ක්‍රිස්තියානි පල්ලිවලින්. ගොඩක් කට්ටිය මීගමුවෙන් ආවේ. හලාවතින් ආවා. මේ සැරේ දකුණේ නම් ආවා අඩුයි. අද බිස්නස් එකකට කියලා තිබුණේ එච්චරයි.’’
අප මේ පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයේ සැරිසරන විට මුස්ලිම් ව්‍යාපාරිකයන් පවසා සිටියේ ගියවර වෙසක් බිස්නස් ‘සිරාවාටම’ සිදු වූ බවය. ‘‘ගියසැරේ අවුරුදු ඉඳන් දවස් දහයයි වෙසක් එකට තිබ්බේ. ඒත් අප්‍රේල් අවුරුදු කාපු ගමන් පුදුම බිස්නස් එකක් තිබුණේ. ඒත් ගංවතුරක් ඇවිල්ලා බිස්නස් වැටුණා. ඒත් එතකොට අපි කෝටි ගාණක් බිස්නස් කරලා ඉවරයි. මේ පාර නම් අපේ ඉස්ටෝරු පිරෙන්න බඩු තියෙනවා. අන්තිම සුමානෙවත් හරියයි කියලා හිතනවා.

මුස්ලිම් ජාතිකයකුගේ වෙසක් සැරසිලි සාප්පුවක බෞද්ධ කොඩි ප්‍රමාණයේ අනු පිළිවෙළින් මනාව සකසා මාකර් එකකින් කිසියම් රහසිගත සංඥා ක්‍රමයකින් මිල සඳහන්කොට තිබුණි. එහි වූ බෞද්ධ කොඩි වර්ග ප්‍රමාණ 8 ක් තිබුණි. කුඩාම රෙදි කොඩිය අඟල් 6×4 ප්‍රමාණයේ වූ අතර එහි හෝල්සේල් මිල නොහොත් තොග මිල එක කොඩියක් රුපියල් 12 ක් විය. අඟල් 72×39 විශාලතම බෞද්ධ කොඩියක තොග මිල රුපියල් 430 ක් වූ අතර පීපල් පාක් සංකීර්ණයෙන් අප පිටතට ආ වෙලේ නට්ටාමි කරත්තයක තබාගෙන එම කොඩි විකුණූ පුද්ගලයා මුස්ලිම් ජාතිකයකු විය. ඔහු ලොකු කොඩියක් වික්කේ රුපියල් 750 කටය. කුඩා කොඩියක් රුපියල් 20 කටය. මෙහි වූ කූඩු අතර චීනයෙන් ආනයනය කළ වෙසක් කූඩුද දක්නට ලැබුණි.

එහෙත් ඒ ඉතා අඩු වශයෙනි. එම කූඩුවක තොග මිල වූයේ රුපියල් 350 කි. නුගේගොඩ වැනි ප්‍රදේශවල එවැනි චීනයේ නිෂ්පාදිත කූඩුවක් අලෙවි වන්නේ රුපියල් 700 ත්, 800 ත් අතර මිලකය. මෙවර චීන කූඩු සැපයුම අඩුවීමට හේතුව අපි එක් මුස්ලිම් ව්‍යාපාරිකයකුගෙන් විමසා සිටියෙමු.

‘‘බෝම්බ එක්ස්ප්​ෙලා්ෂන් එකට පස්සේ ඒ චයිනීස් කූඩු ඉම්පෝට් කරබු බායි කස්ටම් එකෙන් තාම කන්ටේනර් රිලීස් කරගෙන නෑ. ලබන සඳුදා වෙනකොටවත් බඩු හම්බවුණේ නැත්නම් විකුණ ගන්න අමාරුයි.’’

අප වෙළෙඳසලට යනවිට එහි සිටි අයකු දෙමළ පුවත්පතක් බලමින් මූණට අත තබාගෙන සිටියේ කල්පනා කරමිනි.

‘‘ඕගොල්ලෝ මීඩියා නේද? මේ වගේ නිව්ස් පත්තරවල ගියාම වෙසක් බඩු ගන්න මිනිස්සු කොළඹ එයිද?’ එම ප්‍රවෘත්තියේ වූයේ සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයකි. මම එය සිංහලයෙන් කියවන ලෙස ඉල්ලා සිටිමි.

‘‘මැයි 13 වැනිදා වැලිකඩට, නාවලට සහ පංචිකාවත්තට අයිඑස්එයිඑස් ප්‍රහාරයක් එල්ලවන බව සරත් ෆොන්සේකා කියයි’’ යනුවෙන් ඔහු කීවේ කලකිරීමෙනි.

අවසානයේ අපට ඒත්තු ගියේ 21 වැනි දා බෝම්බ ප්‍රහාරයත් සමගම මෙරට වෙසක් සැරසිලි වෙළෙඳපොළ, දැවැන්ත අර්බුදයකට මුහුණ දී ඇති බවය. මේ වෙසක් සැරසිලි අලෙවිකරුවන් සිංහල වුවද, දෙමළ වුවද, ඒ ජාතීන් කවුරුත් බලාපොරොත්තු අතින් නම් එක සමානය. ඔවුන් සැමගේ එකම බලාපොරොත්තුව වෙසක් පෝය ළංවන්නට පැයකට කලියෙන් හෝ තම වෙසක් සැරසිලි තොග අලෙවි කර ගැනීමය.

වජිර ලියනගේ