News

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වාගන්න බැරි වුණේ ඇයි කියන එක හෙළිදරව් වෙමින් තියෙන්නේ

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කරුණු විමසීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජික
89 භීෂණ කාලෙ පවා ජවිපෙ එක්කත් පසුව ජානිපෙ එක්කත් හිටපු ඔබ 2015දී එකපාරටම එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු ‘‘පැරෂුට් ක්‍රමය’’ මොකක්ද කියලා කියන්න පුළුවන්ද?

මම මිනුවන්ගොඩ පාරම්පරික එජාප පවුලක කෙනෙක්. මැදගමුවේ ‘‘අලි නිළමේ’’ කියන්නෙ මගේ සීයා. ඉස්සර අලි හිටියෙ එජාප ගෙවල්වල විතරයි. දැන් නම් හොරා කාපු සල්ලිවලින් සමහරු අලිත් හොරකම් කරගෙන ඇවිත් ඇති දැඩි කරනවා. මගේ මව මියයනතෙක් එජාප පෝලිම් බූත් එකෙත් හිටියා. ඉස්කෝලෙ කාලෙම 89දි ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයට බැඳුණා. අපි නම් භීෂණ වැඩ කළේ නෑ. පස්සේ කොළඹ කැම්පස් ගිහිං අන්තරේ හරහා දේශපාලනය කළා. ඒ කාලෙ ඒකෙ කැඳවුම්කරු හඳුන්නෙත්තියි. මම කොළඹ සයන්ස් ෆැකල්ටි එකේ ශිෂ්‍ය සංගමයේ ඉහළම නිලතලත් දැරුවා.

මම වීරවංශ එක්ක නෙවෙයි කමල් දේශප්‍රිය මාන්නප්පෙරුම එක්කයි ඒ කාලෙ ජවිපෙ වැඩ කළේ. සෝමවංශ එංගලන්තෙ ඉන්න කාලෙ ‘‘සෙනෙවි’‘ කියන නමින් ජවිපෙ නායකයා වුණේ කමල්. සෙනෙවි කියන්නෙ පේරාදෙණිය වෛද්‍ය ශිෂ්‍යකම අතහැරලා ජවිපෙ වෙනුවෙන් ක්‍රියා කළ කෙනෙක්. විමල්ල, නන්දනල සෙනෙවි හදපු අයයි. 88-89 කාලෙත් සමහරු ජවිපෙ දාල යන කාලෙත් සෙනෙවියි නායකයා වගේ හිටියෙ. සෝමවංශ ආවම උපක්‍රමශීලීව සෙනෙවි පැත්තකට දැම්මම අපිත් අයින් වුණා. සෙනෙවි නන්දනලයි ජාතික නිදහස් පෙරමුණ හදන්නෙ එතැනට විමලුත් ආවා.

සෙනෙවිගෙ ආරාධනයෙන් 2010 දි මම ඉන්ජිනේරු සංස්ථාවෙ සභාපති වුණා. විමල් ඒ්කේ ඇමැතියි. මම එතැන හුඟක් වැඩ කළා. මහින්ද රාජපක්ෂ හා විමල්ගෙන් ආපු ප්‍රශ්නයක් නිසා මම තනතුර දාලා රට ගියා.

එදා ආපු ප්‍රශ්නය මොකක්ද කියලා කියන්න පුළුවන්ද?

දක්ෂිණ අධිවේගයේ පිවිසුම්වලට අදාළව මිලියන 1000කට වැඩි ටෙන්ඩරයක් ඉන්ජිනේරු සංස්ථාව තරග කරල ලබාගත්තා. ඒක ඓතිහාසික වැඩක්. ඒත් මහින්ද හා විමල් මහත්වරු බලපෑම් කළා ඒකෙන් ඉවත් වෙලා වෙන කෙනකුට අවස්ථාව දෙන්න කියලා. දූෂණවලට ඉඩ දෙන්න බැරි නිසා මම තනතුරෙන් ඉවත්වුණා. 2011 න් පස්සේ මම මගේ වැඩ කරගෙන ඉන්න කාලෙ 2013 දි මහින්ද ජනාධිපතිතුමා ජපානයට ආවාම ජපන් භාෂා පරිවර්තක ලෙස මාව තෝරාගත්තා. ඒ වෙලාවේ එතුමා ක්‍රියා කළ හැටි දැකපු මට පුදුම හිතුණා. මම කාගෙවත් පෞද්ගලික ජීවිත එළිකරන්නෙ නැහැ. එවැනි ජනපති කෙනෙක් රටට හරියන්නෙ නෑ කියලා හිතලා මම රනිල් මැතිතුමාගෙ සහෝදර නිරාජ් හරහා හමුවෙලා එජාප දේශපාලනය පටන් ගත්තා.

මහින්ද පෙරළිය යුතුම බවයි මම එදා කිව්වේ. රනිල් මැතිතුමාට ඒ කාලෙ එජාපය තුළම ලොකු අර්බුද තිබුණා. එදා ඉඳල 2015 වෙනතෙක් හැම සති 02කට වරක් මම 56 වතාවක් ජපානෙ ඉඳල ලංකාවට ඇවිත් වැඩ කළා. බිම් මට්ටමේ සිට ඡන්ද වැටීම දක්වා සියල්ල අපි අලුත් විදියට සැලසුම් කළා. මගේ තාක්ෂණ දැනුම ඊට යොදා ගත්තා. ඒ නිසා එජාප ජාතික ලැයිස්තුව මම වැඩ කරල මිසක් ‘‘පැරෂුට් එකකින්’’ බැහැලා ගත්තෙ නෑ.

විශේෂ තේරීම් කාරක සභාවක් පාර්ලිමේන්තුව පත් කරන්නේ කුමන පදනමකින්ද?

රටක සිදුවන සුවිශේෂී සිද්ධියක් ගැන මාස 03ක් තුළ කරුණු හොයල වාර්තාවක් හා නිර්දේශ ඉදිරිපත් කරන්නයි විශේෂ තේරීම් කාරක සභා පත් කරන්නෙ. අග්‍රවිනිශ්චයකාර ශිරානි මැතිනිය ගෙදර යවන පටු පරමාර්ථ මත වගේම පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන නිවැරදිම කරුණු සොයන්නයි සියලුදෙනා අපේක්ෂා කරන මේ කාරක සභාව පත් කළේ. මේ තේරීම් කාරක සභාව ඉල්ලලා පොහොට්ටුවේ ශ්‍රීලනිපයේ හා ජවිපෙ මන්ත්‍රීවරු 13ක් ඇතුළු මන්ත්‍රීවරු හතළිස් ගණනක් අත්සන් කරලයි මේක ඉල්ලල කතානායකතුමාට බාර දුන්නේ. සුසන්ත පුංචි නිලමේ තමයි මුලින්ම අත්සන් කරල තියෙන්නෙ. සුසිල් ප්‍රේමජයන්ත, ලාන්සා, ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිසකුත් අද කෑගැහුවට මේකට මුලින්ම අත්සන් කළා.

මේ තේරීම් කාරක සභාවට ජනාධිපතිතුමා කැමැති නැති හැඩයි.?

මේ කාරක සභාවේ අරමුණ ජනාධිපතිතුමා අමාරුවෙ දාන්න කියලා සමහරු හිතනවා. ජනාධිපතිතුමා මුලින්ම එය තේරුම් ගත යුතු බව මගේ විශ්වාසයයි. ආරක්ෂාවට අදාළ නිලධාරීන්ගෙ කට උත්තර අනුව ආරක්ෂාව බාර ඇමැතිවරයා දක්වා අදාළ තොරතුරු හා තීන්දු ගැනීමට අවශ්‍ය පසුබිම තෙක් ගෙන යාමේ ගැටලු තිබූ බවත් ඒ නිසා තොරතුරු ලැබුණත් ප්‍රහාරය වළකා ගැනීමට අවශ්‍ය තීන්දු නිලධාරීන්ට ගත නොහැකි අවාසනාවන්ත පසුබිමක් නිර්මාණය වූ බවයි එළිවේගෙන එන්නේ. ඒ නිසා ආරක්ෂක හා නීතිය සාමය ඇමැතිවරයා ගැන සාක්ෂිවල කියැවුණා. ඒ විෂයයන් භාර ඇමැති ජනාධිපතිතුමා නිසා… එතුමා මට කියන්න තේරෙන්නෙ නෑ කොහොමද ඉතිරි ටික කියන්නෙ කියලා.

අදාළ නිලධාරීන් විසින් ප්‍රහාරය ගැන නිසි තොරතුරු ජනාධිපතිතුමාට කලින්ම ලබා දුන්නා කියන එකද අදාළ සාක්ෂිවලින් එළිවෙන්නෙ?

ඒ වගේ තමයි කියලයි සාමාජිකයන් හැමෝටම වගේ හිතිල තියෙන්නේ. ඒත් සෘජුවම එහෙමයි කියලා කවුරුත් කියල නෑ. පෙබරවාරිවලින් පසු ජනාධිපතිතුමා ආරක්ෂක කවුන්සිලය රැස් කරලත් නැහැ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. තවම පරීක්ෂණ කරන නිසා වැඩිපුර තොරතුරු කතා කරන්න මම කැමැති නැහැ. මොකද අපි සියලු දෙනා රට වෙනුවෙන් ඉතා වගකීමෙනුයි මෙතැනදි වැඩ කරන්නෙ.

මේ තේරීම් කාරක සභාව ජාතික ආරක්ෂාව හා බුද්ධි අංශ සංවේදී තොරතුරුවලට අනතුරක් බවට නැගෙන චෝදනාව ගැන මොකද කියන්නේ?

විපක්ෂය කියන ඕනෑම බොරුවක් තව රස කරල කියන ජනමාධ්‍ය හා හාමුදුරුවරු පිරිසක් තමයි විපක්ෂය කියන දේම පුනරුච්චාරණය කරන්නෙ. අපි ප්‍රශ්න කරන්නෙ ප්‍රහාරයට පෙර එය වළකා නොගැනීමට බලපෑ කරුණු මිසක් ජාතික ආරක්ෂක හෝ බුද්ධි අංශ තොරතුරු නෙවෙයි. රාජපක්ෂ යුගයේදී බුද්ධි අංශවල අය ප්‍රවෘත්ති සාකච්ඡා පවා තියපු බව කෑගහන සමහරුන්ට අමතකයි.

වෙනත් රටවලත් ජාතික ප්‍රශ්න ආවාම ආරක්ෂක අංශ ප්‍රධානීන් හා බුද්ධි අංශවල අය ගෙනත් ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කරනවා. ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේදී රුසියාව ට්‍රම්ප්ට උදව් කළාද ආදී තොරතුරු විමසුවේ ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියා ගෙන්නලයි. ඒ ජනතාව හා සියලු දේශපාලකයින් ඇත්ත තොරතුරු දැනගන්න ඒ හරහා උත්සාහ කළා මිසක් ලංකාව වගේ පටු දේශපාලනය ගැන හිතල බාධා කළේ නෑ. බ්‍රිතාන්‍යයේ මෙවැනි දේ කරන්න වෙනමම පනතකුත් 2013 දී සම්මත කළා. ජපානෙත් එහෙමයි. මේ වගේ තේරීම් කාරක සභා පත් කරලා කරුණු විමසලා රටට ඇත්ත එළිකරනවා. මරණ පරීක්ෂණයක් වගේ දෙයක් මිසක් ආරක්ෂක හෝ බුද්ධි තොරතුරු මෙතැනදි කිසිසේත්ම මාධ්‍ය ඉදිරියේ එළි කරන්න එපා කියලා අපි ඒ සාක්ෂිකරුවන්ට මුලින්ම දන්වලයි සාක්ෂි පටන් ගන්නෙ.

පළමුවරට ජනමාධ්‍ය ඉදිරියේ තේරීම් කාරක සභාවක කටයුතු පැවැත්වීම තුළ තවත් චෝදනාවන් හා ගැටලු රැසක් ඇති වූ බවට එල්ල වෙන චෝදනාව මොකක්ද?

ඒක වෙනම කතාවක්. පාර්ලිමේන්තුවේ කාරක සභා 25 තියෙනවා. ඒ සියලු කාරක සභා හා විශේෂ සභා ජනමාධ්‍යයට විවෘත කළ යුතු බව මුල ඉඳලම මේ රජයේ ස්ථාවරයයි. අපි තොරතුරු දැනගැනීමේ පනතක් පවා මේ රජය යටතේ ඇති කළේ ඒකයි. ආණ්ඩුවට වැටෙන්න ගැහුවත් අපි මාධ්‍ය නිදහස තහවුරු කළා මිසක් ඉස්සර වගේ කිසිම මාධ්‍යකාරයෙක් ඉස්සුවේ හෝ මැරුවේ නැහැ. මාධ්‍ය ආයතන කිසි එකක් ගිනි තිබ්බෙත් නෑ. වෙනත් රටවල වගේ ජනතාවට මේ කාරක සභාවේ තොරතුරුත් දැනගන්න ඉඩ සලසන්නයි අපි ක්‍රියා කරන්නෙ. මේ වගේම අනිත් ඒවායේ තොරතුරුත් මින් ඉදිරියට ජනමාධ්‍යවලට විවෘත වේවි. අපි ඒ විනිවිද බව මෙතනින් පටන් ගත්තා. ඒක වැරදිද? පටු දේශපාලකයන් මිසක් බුද්ධිමත් කිසිම කෙනෙක් ඒක වැරදියි කියන්නේ නෑ. සාක්ෂිකරුවන් බොහෝ තොරතුරු මාධ්‍ය ඉදිරියේ කියන්නේ නැතිව පසුව අපට එළි කළා. අපි ඉතා වගකීමෙන් වැඩ කරන බවට එය කදිම සාක්ෂියක්. අපි ඒ තොරතුරු මාධ්‍යයට ලබා දුන්නේ නෑ.

අදාළ ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනාධිපතිවරයා ත්‍රිපුද්ගල කමිටුවක් නම් කර වාර්තාවක් කැඳවා තිබියදී මෙවැනි විශේෂ කාරක සභාවක් කුමකටදැයි අහන අයට ඔබට දෙන්න පිළිතුරක් තිබෙනවද?

ජනාධිපතිතුමා පත් කරන එකයි පාර්ලිමේන්තුව පත් කරන එකයි අතර වෙනසක් තියෙනවා. පාර්ලිමේන්තුව උත්තරීතර නිසා වැඩි බලතල තියෙන්නෙ පාර්ලිමේන්තුව පත් කරන ආයතනයකටයි. මොකද රටේම ජනතා නියෝජිතයින් ඉන්නේ පාර්ලිමේන්තුවේයි. පාර්ලිමේන්තුව හරහා ජනතාව ඇත්ත දැනගන්න ඕනෑ නිසයි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වුණේ. ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ වාර්තාව අනුව කිසිම කෙනකුට කිසි දෙයක් කරන්න බැහැ. ඒක සාමාන්‍ය වාර්තාවක් විතරයි. අනික ඒක විශේෂ එකකුත් නොවෙන නිසා ඒ ගැන ප්‍රශ්න තියෙනවා. ඒත් එතුමාට ඒක කරන්න අයිතිය තිබෙනවා. ඒත් පාර්ලිමේනතු කාරක සභාව ඉතා ස්වාධීනයි. මොකද පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙ මැදිහත්වීම හා ඉල්ලීම මතයි මේ කාරක සභාව පත් වුණේ. මේ සභාව දෙන නිර්දේශ අනුව පාර්ලිමේන්තුවට තීරණ ගන්න පුළුවන්. වෙනස එයයි.

ජනාධිපති කොමිසමට හා පාර්ලිමේන්තු කාරක සභාවට එකම සාක්ෂිකරුවා පරස්පර සාක්ෂි දීලා තිබුණොත් මොකද වෙන්නේ?

පාර්ලිමේන්තු කාරක සභාවට දිවුරලයි සාක්ෂි දෙන්නේ. ඒ නිසා බොරු කියන්න බෑ. ඒ සාක්ෂි උසාවියකදීත් වලංගු වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී දීපු සාක්ෂියි ඕනෑම කෙනෙක්ට උසාවියේදී දෙන්න වෙන්නේ.

ඔබ නොකියා කියන්නේ ජනාධිපති පත් කළ කොමිසමේදී බලපෑම් මත හෝ වෙනත් කරුණු මත යමෙකුට බොරු කියන්නත් ඉඩ තිබෙන බව නේද?

ඒ ගැන මට යමක් කියන්න අමාරුයි. යමෙක් දීපු සත්‍ය සාක්ෂිය බවට නීතිමය වටිනාකම තියෙන්නේ පාර්ලිමේන්තු කාරක සභාවේදී දුන් සාක්ෂියටයි.

බැඳුම්කරයට අදාළව ජනාධිපති පත්කළ කොමිසමට එකට එක කිරීමකට මේ කාරක සභාව පත් කළ බවට ඇති චෝදනාව ගැන මොකද කියන්නේ?

ඒක විහිළුකාරයින්ගෙ තර්කයක්. රට වනසපු ත්‍රස්ත ප්‍රහාරය ගැන නිවැරදි කරුණු සොයලා රටට එළි කරන්න එපා කියලද කියන්නෙ. 21 ප්‍රහාරය සිදුවුණේ නැත්නම් මේ කාරක සභාව එනවද ? නෑ නේද? ජනාධිපතිතුමාට පහරදීමට මේක කරනවා කියන පටු පූර්ව නිගමනවලට ඒම රටට ද්‍රෝහී වීමක්. හරි නම් අගමැති නීතිය හා සාමය මෙන්ම ආරක්ෂක ඇමැතිත් ප්‍රශ්න කළ යුතුයි. ඒ නිසා ඉදිරියේදී එවැනි අයත් කැඳවන්න වේවි.

මේ කාරක සභා සාමාජිකයන්ට ජනධිපති හමුවීමේ ආරාධනාව ඔබලා ප්‍රතික්ෂේප කරන්නෙ ඇයි?

අපට එහෙම ආරාධනාවක් ලැබිලා නෑ. මේ කාරක සභාව ඉදිරියට ගෙනයන්න කියලයි පාර්ලිමේන්තුව අපට දන්වල තියෙන්නේ. පාර්ලිමේන්තුවෙ උපදෙස් පිළිපැදීම අපේ වගකීම වෙනවා.

මේ කරක සභාව නතර නොකළොත් කැබිනට් එක රැස් නොකරන බවත් රාජ්‍ය උත්සව වර්ජනය කරන බවත් ජනපති කියනවා නේද? මේක ලොකු අවුලක් නේද?

ඒක සියලු පාර්ශ්ව එකතු වෙලා විසඳාගත යුතුයි. මොකද මේක රටක්. එහෙම බැරි නම් විකල්ප ක්‍රම තිබෙන බව මම අහල තිබෙනවා. තේරීම් කාරක සභා සාමාජිකයෙක් ලෙස මම ඒ ගැන වැඩිපුර කතා කිරීමත් නුසුදුසුයි.

එජාපය ජනපති සටනට සූදානම්ද? රනිල්, සජිත්, කරු, කිරිඇල්ල, නවීන් මෙන්ම ධම්මික පෙරේරාගේ නමත් පෝලිමේ තියෙනවා නේද?

එජාපයේ ඔබ කියපු නම් අතරින් කෙනෙක් ජනපතිවරණයට ඒවි. ඒත් කැසිනෝවලින් හම්බ කරපු අයට ඒ චාන්ස් එක යාවි කියල මම හිතන්නෙ නෑ. එජාපයේ සියලු දෙනා එක රොදකට බැඳුනාම ජනපතිවරණය ජය ගැනීම ස්ථිරයි.

අශෝක ජයතුංග