කතුවැකි

පාසල් විවෘත කිරීම කොරෝනාට අත වැනීමක්ද?

බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් අද (23 වැනිදා) සිට විවෘත කෙරේ. පාසල් විවෘත වුවද පංති පැවැත්වෙන්නේ හයවැනි ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා පමණකි. රටේ පවතින තත්ත්වය මත පාසල් යළි විවෘත කිරීම අවදානමක් සහිත තීරණයකි. හයවැනි ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා පමණක් පාසල් විවෘත කිරීමට තීරණය කර ඇත්තේ එම අවදානමේ බර තරමක් හෝ දුරට අඩු කර ගැනීමට විය හැකිය. කොරෝනා වයිරසය විසින් නිර්මාණය කර ඇති තත්ත්වයට අනුව අවදානමක් නොමැතිව කිසිදු තීරණයක් ගත නොහැකිය.

කෙසේ වුවත් පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැත. ඔවුන් කියන්නේ මේ තීරණය තවත් කොරෝනා පොකුරක් නිර්මාණය කිරීමට අවස්ථාව සැලසීමක් බවය. විෂබීජ හරණයට හෝ අවස්ථාවක් නොදී පාසල් යළි විවෘත කිරීමට තීරණය කිරීම නිසාය. වෘත්තීය සංගම් කියන ආකාරයට ආණ්ඩුව ගෙන ඇත්තේ අත්තනෝමතික තීරණයකි.

විෂබීජහරණය කිරීමකින් හෝ තොරව පාසල් යළි විවෘත කිරීමට පියවර ගැනීම අනුමත කළ නොහැකිය. වෘත්තීය සංගම් කියන ආකාරයට පාසල් අද විවෘත කෙරෙන බව නිවේදනය කෙරුණේ පසුගිය බ්‍රහස්පතින්දා (19 වැනිදා) ය. පාසල් විෂබීජහරණයට දින හතරක කාලයක් ප්‍රමාණවත් නැත.

වෘත්තීය සමිති එසේ කීවත් – පාසල් අද (23 වැනිදා) යළි විවෘත කෙරෙන බව තීරණය වී තිබුණේ ඔක්තෝබර් මස මුල පාසල් වසා දමන විටම වාගේය. පසුගිය 19දා සිදුවූයේ එම තීරණය තහවුරු කිරීම පමණය. එසේ නම් පාසල් විෂබීජහරණයට ඇති තරම් කාලය තිබූ බව පැහැදිලිය. එමෙන්ම ආණ්ඩුව අත්තනෝමතිකව පාසල් විවෘත කිරීමට තීරණය කළ බව කියන වෘත්තීය සමිති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු යෝජනාවක් ඉදිරිපත් කළ බවක් හෝ අපට මතක නැත. එවැනි හෝ යෝජනාවක් නොකර පාසල් යළි විවෘත කිරීමට ආණ්ඩුව තීරණය කළ පසු ඒ තීරණය අත්තනෝමතික යැයි කීම එතරම් සාධාරණ යැයි පිළිගැනීමට නොහැකිය.

දිගින් දිගටම පාසල් වසා තැබීමෙන් වැඩි පාඩුවක් සිදුවන්නේ ප්‍රාථමික අංශයේ සිසුන්ට බව ගුරු- විදුහල්පති මතය වී තිබේ. එම කාරණය ඇත්තය. ප්‍රාථමික පංතිවල දරුවන්ට අන්තර්ජාලය හරහා හෝ රූපවාහිනිය මගින් ඉගැන්වීම ප්‍රායෝගික නොවන නිසාය. ඒ වයසේ දරුවන්ට විද්‍යුත් මාධ්‍ය හරහා ඉගැන්වීම තවත් ප්‍රශ්න ගණනකට ඉඩ විවර කිරීමක් බව අපිද මීට පෙර සඳහන් කර ඇත්තෙමු. එසේ වුවත් මේ සම්බන්ධයෙන්ද ගුරු- විදුහල්පති සංගම් විසින් කිසිදු වැඩපිළිවෙළක් යෝජනා කර නැත. මේ අවස්ථාවේදී හෝ වෘත්තීය සංගම් තමන්ට සුපුරුදු දතට දත න්‍යායෙන් බැහැරව – වගකීම් සහගත වන්නට කල්පනා කිරීම වැදගත් බව සිහිපත් කිරීමට කැමැත්තෙමු.

මේ වන විට කොරෝනා වයිරසය පැතිරීමේ වැඩිම අවදානම ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ පමණක් නොව බස්නාහිර පළාතේම පාසල් යළි විවෘත කිරීමේ තීරණයක් නැත. එසේ නම් රෝගය පැතිර යෑමේ අවදානමක් ගැන එතරම් බිය වීමට දෙයක් ඇතැයි සිතිය නොහැකිය. කොරෝනා පළමු රැල්ලෙන් පසුවද මේ ආකාරයටම පාසල් විවෘත වූ නමුත් පාසල් තුළින් කොරෝනා රෝගීන් වාර්තා වූයේ නැත. අවශ්‍ය වන්නේ උපරිමයෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම පමණය. ගුරු විදුහල්පතිවරුන් පාසල් යළි විවෘත කිරීම ගැන මේ තරම් වදවෙන්නේම ඒ නිසාද විය හැකිය. පාසල් විවෘත කළ පසු දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමේ වගකීම ඔවුන්ට පැවරෙන නිසාය. එසේ වුවත් වෘත්තීය සමිති කුමක් කීවත් මේ රටේ බහුතර ගුරුවරුන් මෙම මතය නොදරන බව අපට විශ්වාසය.

කුමන හේතුවක් නිසා හෝ රටක දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම රටේම අනාගතයට බලපාන කාරණයකි. අන්තර්ජාලය හරහා ඉගෙනුම් ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට උත්සාහ කළද එය සියයට සියයක්ම සාර්ථක යැයි කිව නොහැකිය. විශේෂයෙන්ම එහිදී දිළිඳු දෙමාපියන්ගේ දරුවන්ට බලවත් අසාධාරණයකට මුහුණපෑමට සිදුව ඇති බව රටේ හැම තැනකින්ම වාර්තා වී තිබේ.

මේ කාරණා හැරුණු විට අවදානමක් දරමින් හෝ පාසල් යළි විවෘත කළ යුත්තේ මන්දැයි යන ප්‍රශ්නයට පිළිතුරක් අද අප පුවත්පතේ හයවැනි පිටුවේ පුවතක සඳහන්ව තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ පාසල් කටයුතු අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා බාලසූරිය එහි සඳහන් කර ඇති අන්දමට පාසල් වසා තැබීම නිසා පාසල් දරුවන් අතර මානසික රෝග ඉහළ යෑමේ ප්‍රවණතාවක් දක්නට තිබේ.

වර්තමානයේ පාසල් අධ්‍යාපනය විභාග සමත්වීමට ඌනනය වී ඇතත් දරුවකු පාසලකට යෑම බුද්ධියෙන් පමණක් නොව කයින් මෙන්ම මනසින්ද යුතු පුරවැසියකු නිර්මාණය කිරීමට හේතුවන කාරණයකි. අප කාටත් වඩා මේ කාරණ දත යුත්තේ ගුරුවරුන්ය. මේ නිසා ගුරුවරුන් කළ යුත්තේ පාසල් විවෘත කිරීම ගැන ආණ්ඩුවට දොස් කීම නොව සියලුම පංති සඳහා පාසල් විවෘත කරන ලෙස ආණ්ඩුවට බලකිරීමය. එසේම යළිත් වරක් පාසල් වසා දැමීමට හේතු නොවන ලෙස පාසල් කටයුතු පවත්වාගෙන යෑමය.

මේ වගකීම හුදෙක් ගුරු විදුහල්පතිවරුන් හා දෙමාපියන් මත පටවා අධ්‍යාපන අමාත්‍යාංශයට අත පිසදා ගැනීමට නොහැකිය. ඒ නිසා පාසල් යළි විවෘත කිරීමට ගත් තීරණය පාරාවළල්ලක් කර නොගැනීමේ වගකීම ඔවුන් සතුය. ඒ නිසා පාසල් ප්‍රජාව තුළින් කොරෝනා පොකුරක් නිර්මාණය වීමට ඇති ඉඩ අසුරාලන සියලු පියවර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

මේ අතර පාසල් වසා දමා තිබූ දිනවල රූපවාහිනිය තුළින් ඉගැන්වීම සඳහා වෙන්කළ රුපියල් කෝටි දහය ගඟට කැපූ ඉනිමෙන් නොවීමට වග බලා ගැනීමද අමාත්‍යාංශයේ වගකීමකි. අද සිට බස්නාහිර හැර අනෙකුත් පළාත් සියල්ලේම පාසල් විවෘත වන අතර මෙම රූපවාහිනී පාඩම් මාලා විකාශය වන්නේද පාසල් පැවැත්වෙන දිවා කාලයේදීම නිසාය.