Uncategorized

පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශණය 12 වන වරටත් මෙවර කොළඹදී

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ එක්ව 12වන වරට පවත්වන ශ්‍රී ලංකාවේ පළමුවන පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය මෙවර ද පැවැත්වේ.

පෙබරවාරි මස 7, 8 සහ 9 යන යන තෙදින පුරා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී මෙම ප්‍රදර්ශනය පැවැත් වේ.

දිවයිනේ ප්‍රමුඛපෙලේ පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන් සියලු දෙනා සහභාගි වන මෙම ප්‍රදර්ශනයේදී මෙම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ඉමහත් දායකත්වයක් සැපයූ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ පහසුව සදහා අපනයන තත්වයේ පාවහන් සහ සම්භාණ්ඩ ඉතා පහසු මිලට ලබාගැනීමටද පාරිභෝගික ඔබ සැමට අවස්ථාව සලසා ඇත.

2007 වසරේ ආරම්භ කළ මෙම ප්‍රදර්ශනයේ අරමුණු අතර පාවහන් සහ සම්භාණ්ඩ වලට දේශීය සහ අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ලබාදීම , අන්තර්ජාතික ගැණුම්කරුවන් අතර ශ්‍රී ලාංකීය අපනයන හැකියාවන් ප්‍රවර්ධනය කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දක්ෂතාවයන් සහ හැකියාවන් එළි දැක්වීම මෙන්ම අපනයන ශක්‍යතාවයෙන් යුත් නිෂ්පාදකයින් සඳහා අපනයන අවස්ථාවන් උදාකර දීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තාක්ෂණික හැකියාවන් වර්ධනය කර ගැනීම සහ අන්තර්ජාතික වෙළඳපල සඳහා අගය එකතු කළ නිෂ්පාදනයන් නිපදවීමට දිරිමත් කිරීමද වේ.

2007 වසරේ ප්‍රදර්ශන කුටි 122 ක සහභාගීත්වයකින් ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය මෙම වසර වනවිට ප්‍රදර්ශන කුටි 230 දක්වා වර්ධනය කර ගැනීමට සමත්වී ඇත.

මෙහිදී දේශිය ප්‍රදර්ශකයින්ට අමතරව විදේශිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත. 2007 වසරේ පැවති ප්‍රදර්ශනයේදී එහි නියමිත අරමුණු සාක්ෂාත් කරගත හැකිවූ බැවින් මෙම ප්‍රදර්ශනය නොකඩවා පැවැත්වීම වැදගත් වූ අතර මෙවර පැවැත්වෙන්නේ මෙහි 12 වැනි ප්‍රදර්ශනයයි. මෙතෙක් පැවැති මෙම ප්‍රදර්ශනය මගින් දේශිය හා විදේශියව ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අතිවිශාල දායකත්වයක් සපයන ලදී.