විශේෂාංග

පාරේ යන කෙනෙක් බිමට කෙළ ගැහුවොත් ළමා නිවාසේ අඳුරු කාලය මතක් වෙනවා

සෙල්ලම් බඩුවක් කඩාගත් වරදට තම දස වසරැති පුතා ගහක එල්ලා පැයක් තිස්සේ කෝටුවකින් ගසා මරා දැමූ ලංකාවේ කුරිරු පියකු ගැන මම මෙයට කලකට පෙර පුවත්පත්වලින් කියෙව්වෙමි. අංගවිකල දරුවකු ගඟට​ තල්ලු කොට මැරූ මව්පිය දෙපලක් ගැනත් පුවත්පත්වල පළවූයේ මෑතකදීයි.

අම්මලා, තාත්තලා දරුවන්ට ගහන්නේ හදන්න යයි අපේ වැඩිහිටියන් ඉස්සර කීව කතා නම් වත්මන් යුගයට කිසිසේත්ම ගැළපෙන්නේ නැති බව මගේ කල්පනාවය. ඉතා සුළු වරදකට හෝ තමන්ගේ මවට දුවට හෝ තමන් උගන්වන පාසල් ළමයාට ඉතා කෲර ලෙස ඔවුන් පහර දෙන්නේ ආදරයටද. තමන්ගේ දරුවා අතින් සුළු වරදක් වූ විට ඔහු ගසක බැඳ දිමි ගොටු ඇඟට දමා පහර ගසා ඔහු දවසක් බඩගින්නේ තබන අති දුෂ්ට දෙමව්පියන් ඒ දරුවාට අනුකම්පා කරුණාව පෙන්වන හැටිද?

එතකුදු වුවත් දෙමව්පියකුට තමන්ගේ දුවට හා පුතාට ඕනෑම අන්දමකට පහර දීමට අයිතියක් ඇතැයි සිතන පරම්පරාවක්ද ඇට්ටර කොල්ලන්ට හම යනකං ගහන්නේ නැතුව උන් හදන්න බැහැ කියන ආකල්පයේ සිටින නරුමයන් පිරිසක්ද අද ශ්‍රී ලංකා සමාජයේ සිටීම කොතරම් ඛේදජනකද?

වාසනාවකට නවීන සමාජ මාධ්‍ය ජාලා, ස්මාර්ට් ෆෝන්, වීඩියෝ කැමරාවලට පින්සිදු වන්නට මෙයට වසර දහයකට, පහළොවකට කලින්ට වඩා නාගරික හා ගම්බද නිවෙස්වල හා ළමා නිවාසවල සිදුවන වධ හිංසා ළමා අපරාධ සමාජයේ කරලියට පැමිණෙන්නට පටන්ගෙන ඇත.

රටේ අපරාධ අඩු කිරීමටත්, ළමා පරපුර රැකගැනීමටත් ප්‍රතිඥා දී සේවයට බැඳෙන ඇතැම් පොලිස් නිලධාරීන් රටපුරා සිදුවන ලිංගික හා ශාරීරික ළමා හිංසන එතරම් ගණන් ගත යුතු ඒවා නොවන ලෙස කටයුතු කිරීම ජාතියේ මල් කැකුළු වන අපේ දූ දරුවන්ගේ අවාසනාව නොවේද?

බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල දරුවන්ට වයස 14 වන විට පාසලේදී ලිංගික අධ්‍යාපනයක් නියත වශයෙන් ලැබේ. එනිසාම හරි වැරැද්ද කුමක්ද කියා දැනගැනීමටත් තමන්ට වධ හිංසා කරන දෙමව්පියන්ට පවුලේ අයකු පූජකවරයාට හෝ ගුරුවරයාට විරුද්ධව පොලිසියට පැමිණිලි කිරීමට හෝ ඒ වෙනුවෙන් පිහිටුවා ඇති Child Line නමැති දුරකථන අංකයට කතා කරන්නට ඔවුනට පුළුවනි. නමුත් මීට දශක ගණනාවකට පෙර බ්‍රිතාන්‍යයේ පැවැතියේ වෙනස් තත්ත්වයකි.

මෙයට වසර තිහ හතළිහකට පෙර මහා බ්‍රිතාන්‍යයේ කුඩා ළමුන් විශාල සංඛ්‍යාවක් සමාජයේ ප්‍රබුද්ධයන්, නළු නිළියන් හා පූජකවරුන් හා ගුරුවරුන් අතින් ලිංගික අපයෝජනයට ලක්වීම, ශාරීරික හා මානසික වධ හිංසාවන්ට පත්වීම ඉතා සුලබ දෙයක් විය. එයට ප්‍රධානතම හේතුව වූයේ මෙවැනි වධ හිංසාවලට ලක්වන දරුවන් කල්තියාම හඳුනා ගැනීමට පුළුවන් අන්දමේ පුහුණුවක් බ්‍රිතාන්‍යයේ රජයේ හෝ පළාත්පාලන ආයතනවල සමාජසේවා නිලධාරීන්ට, පාසල් ගුරුවරුන්ට එකල නොදීමයි.

නමුත් මෙයට වසර 10 කට පෙර මුළු බ්‍රිතාන්‍යයම කම්පා කළ Baby P ගේ මරණයෙන් පසු ළමා හිංසනයට විරුද්ධව විශාල කතිකාවක් රට තුළ ඇති විය. මව, සුළු පියා හා ඔහුගේ සහෝදරයා විසින් දිනපතා අනේකවිධ බන්ධනයට ලක් කරන ලද Baby P මාස 17 දී ඔවුන් අතින් මිය යනවිට ඔහුගේ ඉළ ඇට 8 ක් බිඳී තිබුණ අතර සිරුරේ තවත් දරුණු තුවාල 5 ක් තිබුණි. එවැනි දරුණු මරණයක් ඉන්පසු බ්‍රිතාන්‍යයේ කිසිම දරුවකුට සිදුනොවිය යුතු යයි කියූ අගමැති ගෝඩන් බ්‍රවුන් ළමා ලිංගික ශාරීරික හා මානසික වධහිංසාවන්ට පත්වන දරුවන් හැකි ඉක්මනට හඳුනා ගැනීමට හැකි ක්‍රමවේදයක් දෙපාර්තමේන්තු පාසල් හා පොලිසි තුළ ඇති කළේය. දරුණුතම ළමා වධකයන්ට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලැබෙන අන්දමට නීති පද්ධතියද වෙනස් කළේය.

බ්‍රිතාන්‍යයේ පාසල්වල අවිනීත ලෙස හැසිරෙන ළමුන්ට විරුද්ධ විනය ක්‍රියාමාර්ග ගත හැකිය. වාචික හෝ ලිඛිතව අවවාද කිරීම, පන්තියේ රඳවා ගැනීම, පන්ති තහනම් කිරීම, අකුරු පේලි ලියන්නට කීම වැනි දඬුවම් දීමට පාසල් ගුරුවරුන්ට හැකිය. නමුත් බ්‍රිතාන්‍යයේ කිසිම ළමයකුට දඬුවම් වශයෙන් අතින් පයින් හෝ වේවැලෙන් පහරදීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීය. එවැන්නක් කොට අසුවන ගුරුවරයකුට පිය පදවිය අහිමි වනවා පමණක් නොව වසර පහක හිර දඬුවමක්ද ලැබේ. දෙමව්පියන් නැති හෝ දෙමව්පියන්ගෙන් ඉවත් කරගන්නා ලද ළමුන් 239,000 ක් පමණ අද බ්‍රිතාන්‍යයේ ළමා නිවාසවල සිටිති.

මෙයට දශක කිහිපයකට පෙර සමහර බ්‍රිතාන්‍යයේ ළමා නිවාසවල බරපතළ ලිංගික හා ශාරීරික වධ හිංසා වූ බවට වැඩිහිටියන් විසින් පසුව කරන ලද පැමිණිලි අනුව ළමා නිවාස පාලකවරු හා ගුරුවරු විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්වී සිරයට නියම වුණි. මෙම පොලිස් විමර්ශනවල අවසාන ප්‍රතිඵලය වූයේ ළමා නිවාසවල නිසිසේ පාලනය කිරීමට සෝදිසි කිරීමට හා රෑ දවල් ඕනෑම වෙලාවක නොදන්වා කඩා පැනීමට සමාජසේවා නිලධාරීන්ට නීතියේ බලයන් ලැබීමයි. නමුත් ශ්‍රී ලංකාවේ රජයේ හා පෞද්ගලික ළමා නිවාසවල එදිනෙදා පාලනය බලධාරීන්ගේ නිසි නිරීක්ෂණයට ලක්වන්නේ නැත.

අද ලංකාවේ බොහෝ ළමා නිවාසවල ජීවත් වන්නේ දෙමව්පියන් මියගිය දරුවන්ය. ඒත් නැතිනම් දෙමව්පියන් විදෙස් ගතවීම හේතුවෙන් හව්හරණක් නැතිව ගිය දරුවන්ය. දෙමාපියන් හිරගතවීම නිසා හෝ දරිද්‍රතාවය දරුවෝ ළමා නිවාසවල සිටිති.

එහෙත් ඔවුන් ගැන සොයන්න බ්‍රිතාන්‍යයේ මෙන් ළමා නිවාස ගැන නිතර සෝදිසියෙන් සිටීමට හෝ මහ රෑ ඒවාට කඩා පැන ළමුන්ගේ ශාරීරික මානසික ඕනෑ එපාකම්, ළමා නිවාස තුළ ඉටුවෙනවාදැයි සොයා බැලීමට නීති පද්ධතියක් නැත. එනිසාම මේ ඇතැම් ළමා නිවාස තුළ සිදුවන ශාරීරික හා ලිංගික වධහිංසා කිසිවක් ගැන බාහිර ලෝකයේ කිසිවකුට දැනගන්නට ලැබෙන්නේ නැත. මෙවැනි ප්‍රශ්න රැසක් ලංකාවේ ළමා නිවාසවල දක්නට ලැබෙද්දී ඒ ගැන අලුත් කතාබහක් ඇතිවූයේ නිකවැරටියේදී බැට් පිත්තෙන් අසරණ දැරියකට පහරදීමේ වීඩියෝව සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වීමෙන් පසුය. ඒ සිද්ධියත් සමග ළමා හිංසනය ගැන විශාල කතිකාවක් රටපුරා ගොඩනැගෙමින් පවතී.

ළමා නිවාසවලදී තිරශ්චීන වධ බන්ධනවලට ලක්වී එම චෝදනාව අවුරුදු 20 ක්, 30 ක් තිස්සේ තම හිත තුළ සඟවාගෙන මානසිකව දුක් විඳින තරුණයෝ බොහෝ දෙනෙක් දැන් මුහුණු පොතෙන් තමන්ගේ ශෝකජනක ළමා කාලය එළි කරමින් සිටිති. අපිට කුඩා කාලයේ වූ දේවල් මේ රටේ වත්මන් කුඩා ළමුන්ට කිසිසේත් වන්නට ඉඩ දෙන්නට එපා යයි ඔවුහු හද පිරි වේදනාවෙන් රජයට ආයාචනා කරති. ඓතිහාසික නගරයක ඇති ළමා නිවාසයකදී අතිශයින් කෲර වධ බන්ධනවලට ලක්වූ සුමීර නමැති තරුණයකු ගැන විස්තර මුහුණු පොතින් දකින්නට ලැබී මම ඔහු සමග කතා කළෙමි. ඔහුගේ සම්පූර්ණ නම හෝ ඔහු වැඩිහිටියකු වනතුරුම ළමා නිවාසය මම මෙහි නොලියමි. නමුත් එහි සිටින වත්මන් අහිංසක ළමුන් බේරාගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හෝ පොලිසිය ඉල්ලුවොත් මේ ළමා නිවස කුමක්දැයි ඔවුනට කියන්නෙමි. ශ්‍රී ලංකාවේ මතු ළමා පරපුරවත් ශාරීරික හා ලිංගික වධහිංසාවලින් රැකගැනීමට රජයට කරන ආයාචනයක් වශයෙන් මම සුමීරගේ වචනවලින්ම ඔහුගේ කතාව මෙලෙස ලියන්නෙමි.

‘‘අවුරුදු 15 ක අහිංසක ගැහැනු ළමයකුට පෙරළගෙන ගහන වීඩියෝව දුටු මට එය ඉතාමත් සරල දෙයක් වුණේ මං පුංචි කාලේ ඉඳන්ම මා ඇසුරු කරපු පරිසරය එය මට සුළු දෙයක් බවට පත්කර හමාර කර තිබූ නිසා. ඉපදිලා මාස ගණනකින් ළමා නිවාස ගතවුණු මට එම දරදඬු පරිසරය එවැනි ක්‍රියාවන් මාගේ ඇසට හුරු කළා. මං පුංචි කාලේ මගේ අම්මා මාව දාලා ගියාට පස්සේ මම ළමා නිවාසයක තනි වුණා. එතැන් පටන් මට ඔය ගුටිකෑම්, බෙලි මිරිකීම්, කෙළ ගැසීම් වැනි කාරණා සරල දේවල් වුණා.

විසි වසරක් පුරා මා විඳි අඳුරු මතකය ඒ ප්‍රසිද්ධ වූ වීඩියෝව දුටු විට නැවත නැවත මට මතක් වුණා. ඇත්තම කාරණය එම වීඩියෝව බලලා අවසන් වන විට මම මටම කියාගත්ත එකම දේ ඔය කෙල්ලට වඩා මං අම්බානකට ගුටි කාලා තියෙනවා කියලා විතරයි. මම ගුටි කාලා තියෙන සමහර හේතු ඇහුවොත් ඕවට ළමයෙක්ට ගහන්න ඕනද කියලත් හිතෙයි.

එක්තරා සැන්දෑ යාමෙක වැහැපු නිසා මම ,මගේ මිත්‍ර කසුන් මල් පැලවලට වතුර දැම්මේ නැහැ. සවස 7 ට විතර ‘‘මෙහෙ වරෙන් වතුර දැම්මද කියලා බලන්න යන්න’’ කියා ලොකු සර් අපි දෙන්නා අල්ලා ගත්තා. කකුළෙන් මල් පැළ අවට පාගමින් තොපි එකෙක්වත් වතුර දැම්මේ නෑ නේද? ආවා මෙතන බොරු කියන්න. මෙහෙ වරෙල්ලා. ගලවපියව් ඔය ඇඳුම්. අල්ල ගනින් ඔය කණුව කියලා කිව්වා.

ඔහු අපිට ගැසීමට යොදා ගන්නේ ඔහුගේ කලිසම වටා එතුණු ලෙදර් බෙල්ට් එක. අදටත් මගේ පිට හරියට බලන කෙනෙක්ට දැකගන්ඩ පුළුවන් බෙල්ට් පාරවල්. තවමත් ඒ රිදුම් මගේ මනසට වද දෙනවා. මං පුංචි කාලයේ ඉඳන් මං ඉගෙන ගන්න අදක්ෂයෙක් වුණාට විෂය බාහිර ක්‍රියාකාරකම්වලදී පාසලේ ඉදිරියෙන්ම හිටියා. කථික තරගවලින් පිට පිට පස් වතාවක්ම ප්‍රථමයා වීමේ වරමත්, ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමේ අවස්ථාව, විවාද කණ්ඩායමේ නායකයා වීමේ අවස්ථාව මට ලැබුණා.

ඒ නිසාම ගෑනු ළමයිගේ ආකර්ෂණය ලැබුණ එම හේතුව නිසාම ප්‍රේම පලහිලව් කීපයක වරදකරු වීමට වුණා. ළමා නිවාසයේ මට දුන් දඬුවම වන්නේ ඇඳුම් සියල්ලම ගලවා නිරුවත් වී හැම කෙනා ළඟටම ගොස් ‘‘මං ආයේ ගෑනු ළමයි එක්ක යාළු වෙන්නේ නෑ’’ යන වාක්‍යය කීමටයි. එවිට ඊට ප්‍රතිචාර ලෙස ඔවුන්ට කිරීමට අණ ලැබී තිබුණේ මා හට කෙළ ගැසීමයි. අදටත් මට පාරේ යන යමෙක් බිමට කෙළ ගසන්නේ නම් මට ඒ අඳුරු මතකය මතක් වෙයි.

තවත් එක්තරා දිනයක උදෑසන අවදි වීමට විනාඩි කීපයක් පරක්කු වූ නිසා දඬුවම වශයෙන් ලැබුණේ එදා රාත්‍රියේ මටත් නොකියා කහඹිලියා කොළ මගේ බෙඩ් සීට්වල ඇතිල්ලීමය. එදා රාත්‍රිය මට කිසිදා අමතක නොවන රාත්‍රියකි. කහඹිලියා ගෑවී ඇතිවූ කැසීම හේතුවෙන් වේදනාවට පත්වූ මම මුළු රාත්‍රියම නිදි වර්ජිතව ගත කළෙමි. එම අතීතයේ හැමදාම මට සිදුවූයේ ගුටි කෑමට පමණය. පසුව මට ගුටි කෑම කියන එක හරිම සරල දෙයක් වූයේ ඔබ එදා නරඹපු වීඩියෝ එකේ ඉන්න දරුවා ගුටි කනකොට කිසිවක් නොකර ඉන්නා ආකාරයටමය. සමහර දවස් තිබුණා කොච්චර වේදනාවක් ආවත් එය නොපෙන්වා සිටීමට තරම් මා දරදඬු වුණා.

සමහර දවස්වලට මට මේ වේදනාව කීමට කෙනෙක් සිටියේ නැත. අම්මා නෑ කිය කියා දැන දැනත් මං අම්මට ලියුම් ලීවා. ඒත් කාට හරි හමුවෙලා කියෙව්වොත් මට පිස්සු කියලා හිතයි කියන බයට ලියපු ගමන්ම අනිත් පැත්තට පොඩි කර කටට ඔබා ගත්තේ කටේ දත්වලින් හැපී ඉතිරි වන කොළ කෑලි කාටවත් එකතු කර ​හෝ කියවීමට නොහැකි වන පරිදිය.

කුඩා කල වධ හිංසාවට ලක්වන ළමයි ලොකු වෙන්නේ සමාජෙත් එක්ක ඇරියස් තියාගෙන. මාත් එහෙමයි. මට මේ පවතින සමාජ තත්ත්වයන් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා. ටිකක් ලොකු වෙනකොට සමාජය අපට කියලා දෙනවා වැඩිහිටියන් අපට ගහන්නේ අපිට තියෙන ආදරේට කියලා. එතකොට මම ඒක කියවගන්නේ ඔයාලා ඒක කියවගන්න තැනින් නෙමෙයි. හරි අමුතුම තැනකින්. මම ඒක කියවගන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ මං වගේ ළමයි මේ ලංකාවේ තව කොච්චර ඇත්ද? ඒ තමයි මගේ කියවා ගැනීම. ඇත්තටම මං වගේ ළමයි දහස් ගාණක් මේ ලංකාවේ ළමා නිවාසවල, පිරිවෙන්වල ඉන්නවා. මට ඒක අත තියලා කියන්න පුළුවන් ෂුවර් එකකුත් තියෙනවා.

මම හිතාගෙන හිටියේ ළමයි හොඳට හැදෙන්නෙ උන්ට ගැහුවොත් කියලා. මොකද මම හැදුණේ එහෙම නිසා. පසුව ලොකු වෙද්දි මට තේරුණා මගේ අදහස වැරදියි කියලා. ළමයින්ට හොඳින් ඉගැන්නුවම උන් ඒක හරියට ඉගෙන ගන්නවා. ගහනකොට තවත් මුරණ්ඩු වෙනවා. මං හිතන් හිටියට ළමා නිවාසේ තමයි දරුණුම ජීවිතේ තියෙන්නේ කියලා සමාජයට ආවාම තේරෙනවා සමාජයත් කොයිතරම් නම් දරුණු, කෲරතරද තුච්ඡද කියලා. අපිට ජීවත් වෙන්ඩ කියලා හරියට බැලුවොත් තැනක් නැහැ. ඒ තරම් මේ පවතින තත්ත්වය හරිම අප්‍රසන්නයි, ගඳ ගහනසුලුයි… කුණුවලින් පිරිලා.

කවදාවත් ළමයින්ට ගහලා හදන්නෙපා. ගේ අතුගානකොට කොතන හරි දූවිලි තිබුණා කියලා මරාගෙන කන්න හදන්නෙපා. උන් ලොකු වෙලා ෆේස්බුක් ඇවිත් මම මේ කියන දේවල්ම ලියනවා. මොකද උන් කැමති නෑ තව එක ළමයෙක්වත් එක එකාගෙන් පොඩිම පාරක්වත් කනවට.

සමහර විට සුමීරගේ මේ දුක්බර කතාව ඔබේ කතාව විය හැකිය. සමහරවිට මේ කියවන ඔබත් පුංචි කාලයේ අමානුෂික ලෙස හිංසනයට ලක්වූවා නම් මීට වඩා ඔබේ කතාව ඛේදනීය විය හැකිය. දුක්බර විය හැකිය. වගකිවයුත්තන් දැන් කළ යුත්තේ මෙවැනි කෲර වද හිංසන මතු කිසිදිනක එම ළමා නිවාසයේ හෝ අනිකුත් ළමා නිවාසවල සිදු නොවීමට ඉඩක් නොතැබීමය.

පවුලේ සාමාජිකයන්, ගුරුවරුන්, පූජකවරුන් හැරුණු විට කුඩා ළමුන් ලිංගික අපරාධවලට වැඩිපුරම ලක්වන්නේ වෛද්‍යවරුන් අතිනි. ශාරීරික යෝග්‍යතා පරීක්ෂා කරගැනීමට අම්පාර රෝහලට ගිය අහිංසක දැරියන් තිදෙනකු රෝහලේ වෛද්‍යවරයකු විසින් ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබූ බවට වාර්තා වූයේ සතියකට පෙරය. වැටත් නියරත් ගොයම් කනවා කියන්නේ ළමුන් රැකගැනීමට බැඳී සිටින උතුම් වෛද්‍ය සේවය තුළත් මෙවැනි නරුමයන් සිටින නිසාය. ලෙඩුන් ලිංගික අපයෝජනය කරන වෛද්‍යවරුනට බ්‍රිතාන්‍යයේ අධිකරණයෙන් නම් කිසිම සමාවක් නැත. වරද ඔප්පු වූ වහාම ඔවුන් සේවයෙන්ද පහ කෙරේ. අවුරුදු 10 ක් පමණ හිරේ ලගින්නටද ඔවුන්ට සිදුවේ.

ලංකාවේ සිදුවන්නේ මෙයට අනික් පැත්තය. සති දෙක තුනක් හිරේ ඉන්නා දොස්තරවරයා ඇප පිට මුදා හැර ගෙදර එයි. මාස දෙක තුනකට පසු කාටත් ඔහු කළ වැරැද්ද අමතක වේ. ඉන් ටික කලකට පසු ඈත රෝහලකටම මාරුවක් ඉල්ලා යන මොහු පරණ වැඩ නැවතත් කරන්නට පටන් ගනී.

බ්‍රිතාන්‍යයේ අලුත් නීති රීති අනුව ලිංගික හා ශාරීරික වධ හිංසා කොයි අතීත කාලයේ සිදුවුවත් වරදකරුවන්ට නීතියෙන් මිදී සිටීමට නොහැකිය. ඕවා අවුරුදු 40 කට කලින් කරපු වැරදිනේ කියා බ්‍රිතාන්‍යයේ පොලිසියට නිකං සිටීමට බැරිය. ළමා නිවාසවල හා පූජ්‍ය ආයතන හෝ පාසල්වලදී මෙයට අවුරුදු 40 කට, 50 කට කලින් තමන්ට වූ ශාරීරික හා ලිංගික වධහිංසා තම හිත්වල දශක ගණන් සඟවාගෙන සිටි වැඩිහිටියන් සිය ගණනක් පොලිසියට පැමිණිලි කරන්නට පටන් ගත්තේ මෑත කාලයේදීය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දැන් වයස 80 හෝ 90 පසුවන ප්‍රසිද්ධ පූජකවරු, රූපවාහිනී නිවේදකවරු, ගුරුවරු 50 ක් පමණ වසර 20, 30 වැනි දීර්ඝකාලීන හිර දඬුවම් විඳිති. මේ වයස්ගත වධකයන් කවදා හරි මිය යන්නේත් බන්ධනාගාරයේදීය.

අවාසනාවකට ලංකාවේ එහෙම ක්‍රමයක් නැත. ඊයේ පෙරේදා දැරියකට බැට් පිත්තෙන් පහරදීම ගැන පැමිණිලි කරන්න ගිය විට ළමයා මැරුණේ නැහැනේ, අපට වද නොදී ගෙදර යනවකෝ කියපු පොලිසිය, මෙයට වසර 30 කට 40 කට පෙර ලංකාවේ ගෙදරක, පාසලක, ආගමික ස්ථානයක හෝ ළමා නිවාසයක වූ ශාරීරික වධබන්ධන තුට්ටුවකටවත් ගණන් ගනීවිද? අතීතයේ වින්දිතයන්ට වත්මන් සමාජයෙන් සාධාරණයක් ඉටු නොවීම ඉතාමත්ම ඛේදජනකය. පාසලට එන දරුවකු හිටපු ගමන් කල්පනාවේ යෙදෙනවා නම්, නිශ්ශබ්දව සිටී නම්, පාඩම අමතක වෙනවා නම්, නිතර නිතර පාසලට එන්නේ සුළු සුළු තුවාල සමග හෝ පිච්චීමේ ලකුණු සමග නම් ඔවුන් ගෙදරදී ශාරීරික හෝ ලිංගික අතවරවලට ලක්වන ළමයි විය හැකිය. ඔවුනට ආදරය, කරුණාව දක්වමින් ඇත්ත කතාව කෙසේ හෝ හෙළි කරගෙන ළමයා බේරා ගත යුතු බවත් බ්‍රිතාන්‍යයේ ගුරු පුහුණුව ලබන අලුත් ගුරුවරුනට උගන්වනු ලැබේ. නමුත් ශ්‍රී ලංකාවේ ගුරුවරියන්ට හෝ විදුහල්පතිවරුනට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් එවැනි මගපෙන්වීමක් හෝ පුහුණුවක් ලැබෙන්නේ නැත.

අපේ මතු පරම්පරාව මේ කුරිරු වධකයන්ගෙන් බේරා ගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනට වඩා කාර්යක්ෂම හා විධිමත් ලෙස ක්‍රියා කළ යුතු යැයි මට හැඟේ.

බ්‍රිතාන්‍ය ඉංජිනේරු, ගාල්ලේ

දෙව්සිරි පී. හේවාවිදාන

ලන්ඩන් නුවර සිට