brand logo

පාරෙන් අයින් වෙන්න කිව්වට මන්ත්‍රිගේ බෙල්ලට ගහලා

23 December 2021

පොහොට්ටුවේ මන්ත්‍රීට හදිසියේ එල්ල වූ ප්‍රහාරය

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු පහර කෑමට ලක්ව කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇත. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ හල්ලොලුව,පල්ලේගම ප්‍රදේශයේ පදිංචි කේ.ජී.එස්.ඩී.අලහකොන් නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාය. පසුගිය 20 වැනිදා පස්වරුවේ තම වෑන්රථයෙන් නිවෙස බලා යමින් සිටියදී ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරනු ලබන ගරාජයක් අසල පාර හරස්කරගෙන සිටි පිරිසකට පාරෙන් අයින්වන්නැයි කීවිට එහි සිටි සිව්දෙනෙක් තමාට පහර දුන් බව මන්ත්‍රිවරයා පැවැසීය. තමන්ට පහර දුන්නේ ත්‍රිරෝද රථයක රියැදුරු අසුන හා පිටුපස අසුන වෙන්කර ඇති කොටසේ සවිකර තිබුණු පටියකින් බවත් එම ප්‍රහාරයෙන් තමන්ගේ ගෙල පෙදෙස හා අත තැලීමට ලක්වූ බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය. පසුව මන්ත්‍රිවරයා විසින් මේ පිළිබඳව කටුගස්තොට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පහරදුන් බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනඇත. එම සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පෙරේදා(21)දින මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 2 හමාර බැගින්වූ ශරීර ඇප මත මුදාහැර ඇත. මෙම මන්ත්‍රිවරයා තම බල ප්‍රදේශය තුළ වසර 20 ක පමණ කාලයක සිට පුරන්ව තිබුණු කුඹුරු විශාල ප්‍රමාණයක් අස්වද්දා ඇති අයකු බවත් ප්‍රදේශයේ පවතින මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීමට ක්‍රියාකළ අයෙකු බවද පැවැසේ. විජේරත්න හල්ඔලුව-හාරිස්පත්තුව
 

More News..